ශ්‍රී ලාංකේය පක්ෂ දේශපාලනයේ භූමි කම්පා දෙකක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භූමි කම්පා අවදානමක් ඇති බවට මේ දිනවල පැතිර යන මතයේ කිසිදු සත්‍යතාවක් නැතැයි විද්‍යාත්මක අංශ අනාවරණය කරයි.එහෙත්, අප රටේ භූමිය සම්බන්ධයෙන් එම තත්වය එසේ වුවද අප රටේ පක්ෂ දේශපාලනය සම්බන්ධ “භූමි කම්පා” තත්වයක් පෙන්නුම් කෙරෙන සිදුවීම් දෙකක්ම පසුගිය 22 දා වාර්තා විය. 1935 වසරේ අරඹන ලද ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ වෙනම මැයි දින රැලියක් පවත්වා ආණ්ඩුවට සම්බන්ධ වීමේ උත්සහයක යෙදී සිටීම හේතුවෙන් ඔහු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් නෙරපා හරින ලද බව ලංකා සමසමාජ පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබිණ.ලංකා සමසමාජ පක්ෂය ද ඇතුළත් වාමාංශික දේශපාලන පක්ෂ එක්ව සමාජවාදී ජනතා පෙරමුණ වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන මැයි දින රැලියෙන් මෙසේ සමසමාජ පක්ෂය ඉවත්කර වෙනම මැයි දින රැලියක් පැවැත්වීමට තිස්ස විතාරණට අවශ්‍ය වී තිබුණු අතර පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊට එරෙහිව මෙම ක්‍රියා මාර්ගයට පිවිසි බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය..ඒ අනුව, පක්ෂයේ මධ්‍ය කාරක සභාව අප්‍රේල් 22 දා රැස් වී තිස්ස විතාරණ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කොට කර එම තනතුරට වේලප්පුලිගේ අබේසේන පත්කළ බව ද පක්ෂ අභ්‍යයන්තර ආරංචි මාර්ග සඳහන් කොට තිබිණ.එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ මහාචාර්ය තිස්ස විතාරණ ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත්කිරීම සහ වෙලප්පුලිගේ අබේසේන එම තනතුරට පත්කිරීම මධ්‍යම කාරක සභාව ඒකමතිකව ගනු ලැබූ තීරණයක් අනුව සිදුවූ බවකි.

නමුත් තමන් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉවත් කළ බවට යම් කණ්ඩායමක් ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම සාවද්‍ය හා පදනම් විරහිත එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ අවධාරණය කරයි.තමන් වෙත දැනුම් දීමකින් තොරව 16 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මධ්‍යම කාරක සභාව බව කියමින් රැස් වී තමා ධූරයෙන් ඉවත් කළ බවට දැනගන්නට ලැබුණු මුත් පක්ෂ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාව රැස්කළ හැක්කේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාට පමණක් බව අවධාරණය කරන මහාචාර්ය තිස්ස විතාරණ මෙම රැස්වීම නීති විරෝධී එකක් බව ද අවධාරණය කොට සිටියි.ඒ අනුව මෙම ක්‍රියාවලියට එරෙහිව පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තමා නීතිමය පියවර ගන්නේ යැයි ද මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියි.

මේ අතර පසුගිය අප්‍රේල් 22 දාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර පක්ෂය නව සභාපති ලෙස මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබුණි.ශ්‍රී ලංකාවේ භික්ෂු ප්‍රජාව මහ ජනතාව අතරේ දැඩි අප්‍රසාදයට ලක් වීමට කොතෙකුත් කරුණු යෙදී ඇති වර්තමානයේ එම හිමියන් දේශපාලන පක්ෂයක සභාපති පුටුව අරා අසුන් ගැනීමේ යෝග්‍යතාව වෙනම විමසීමට බඳුන් කළ යුත්තකි. එම රැස්වීම අවසන් කර පිටත්ව යන අවස්ථාවේ පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් මාධ්‍යවේදීන් නව නිලධාරී මණඩලය පිළිබඳව විමසීමේ දී ඔහු පක්ෂයේ නව සභාපති ලෙස මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීම ගැන සඳහන් නොකොට “හිටපු අයම පත් වුණා” යැයි කීවේ මන්ද යන්න බොහෝ දෙනකු තුළ පැන නැඟී තිබූ ගැටළුවක් විය.එහිදී පක්ෂයේ නව සභාපති කවුරුන්ද? යන්න විමසූ විට ද ඔහු කියා සිටියේ “මේ ඉන්නෙ ලේකම් තුමා එයාගෙන් අහන්න” යනුවෙනි. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් පිළිබඳව ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කොට තිබිණ.මෙහිදී මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ ගෙන් විමසා සිටියේ පක්ෂයට එලෙස නව සභාපතිවරයෙක් පත්කර ගැනීමට නීතිමය හැකියාවක් නොමැති බව ජී.එල්.පීරිස් පවසන බවකි.එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ කියා සිටියේ කියා සිටියේ “පිස්සෙක් නෙ”යන්න පමණි.

එමෙන්ම ඕනෑම අවස්ථාවක තම පක්ෂය ඕනෑම මැතිවරණයකට සූදානම් බව ද ඔහු කියා සිටියේය. නමුත් 22 පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීම කිසිසේත් නීත්‍යානුකූල නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි.නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, එම රැස්වීමේ ගන්නා ලද සියලු තීරණ ශුන්‍ය හා ක්‍රියා විරහිත වන අතර, ඒවාට කිසිම වලංගු භාවයක් අයත් නොවන බව ය.මේ අතර එම තීරණ නීති විරෝධී බවට ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීරණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් වැඩිදුරටත් සඳහන් කරයි.මෙහි දී මහින්ද රාජපක්ෂ තමන් “පිස්සෙක්” යනුවෙන් හැඳින්වීම පිළිබඳව අදහස් දැක්වීමෙන් වැලකී සිටි මහාචාර්ය ජී.එල්. පීරිස් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කළ එක් අනුමානයක් විය.ඒනම් මේ වන විට මහින්ද රාජපක්ෂගේ මානසික ශක්තිය බරපතල පිරිහීමකට ලක් ව ඇති බවකි.එබැවින් තමන් පවසන දේ පිළිබඳ ඔහුට වැටහීමක් නොමැති බවකි ඒ අනුව අප රටේ පක්ෂ දේශපාලනය සම්බන්ධ මෙම”භූමි කම්පා” ඉදිරියේ දී මොන මොන අතට හැරේ දැයි කිසිවකුටත් කිව නොහැක.මන්ද භූමි කම්පා යනු කෙසේ වත් අනාවැකි පළ නොහැකි තත්වයන් බැවිනි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර