බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ දියණිය වන සුහානා ඛාන් ද සිය පියාගේ අඩි පාරේ යමින් සිනමා රංගනයට එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ වනවිට 22 වැනි වියෙහි පසුවන සුහානා ෂාරුක්ගේ දරුවන් තිදෙනා අතරින් දෙවැනියා යි. ඇයට ආර්යන් නමින් අයියා කෙනෙකුත්, අබ්රාම් නමින් මල්ලි කෙනෙකුත් සිටිනවා. ආර්යන් පසුගිය කාලයේ මත් ද්‍රව්‍ය පිලිබඳ චෝදනාවකට පැටලීම නිසා විශාල වශයෙන් කතා බහට ලක් වුණා.
සුහානා සිය කුළුදුල් සිනමා රංගනය ඉදිරිපත් කරන්නේ The Archies නැමැති සිනමාපටයක යි. සොයා අක්තාර් නැමැති ප්‍රකට අධ්‍යක්ෂවරියගේ නිර්මාණයක් වන මෙය ඉදිරියේ දී තිරගත වීමට නියමිත අතර එහි නිශ්පාදන කටයුතු මේ වනවිට ඉදිරියට යමින් තිබෙනවා. මෙම සිනමාපටය තරුණ වියේ චරිත කිහිපයක් පසුබිම් කරගත් නිර්මාණයක් බවයි සඳහන් වන්නේ.
සුහානා ඛාන් කාලයක් සිටියේ විදෙස්ගතව යි. ඇය බි්රතාන්යයේ සහ ඇමරිකාවේ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ ආයතනවල නාට්‍ය කලාව, රංගනය, අධ්‍යක්ෂණය යන විෂයයන් හදාරමින් සිටියා. ඇමරිකාවේ සිට ඇය නැවත ඉන්දියාවට පැමිණියේ මෙයට මාස කිහිපයකට පෙර යි. සුහානාගේ පාඨමාලාවට අදාළව නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපටයකත් ඇය මෙයට පෙර චරිතයක් නිරූපනය කර තිබුණා. එම චිත්‍රපටය නම් කර තිබුණේ The Grey Part of Blue යනුවෙන්. එහි ඇයගේ රංගනය ගැන බොහෝ දෙනා ඉහළින් කතා කර තිබෙනු ද දැකිය හැකි වුණා.
සිය දියණිය සිනමා රංගනයට පිවිසීම ගැන ෂාරුක් ද මහත් සතුටින් සහ බලාපොරොත්තු සහගතව අදහස් දක්වා තිබුණා. මේ ගැන ඔහු තම සමාජ මාධ්‍ය පිටුවල ද සටහනක් තබා තිබෙනු දැකිය හැකි වුණා. ‘මතක තබාගන්න, ඔබට කිසි විටෙක සියයට සියයක් පරිසමාප්තියට පත්වීමට නොහැකි වේවි. නමුත් යම් පමණකට හෝ ඒ වෙත ළඟා විය හැකි වන්නේ ඔබ ඔබ හැටියට අව්‍යාජව කටයුතු කළහොත් පමණයි. නිළියක හැටියට කරුණාවන්ත සිතින්, කැපවීමෙන් වැඩ කරන්න. දුවේ, ඔබ ඉතා දිගු ගමනක් ආ කෙනෙක්. නමුත් ජනතාවගේ හදවත් තුළට යන ගමන කවදාවත් ඉවර වෙන එකක් නොවෙයි’ ෂාරුක් සිය සටහනේ එසේ ලියා තිබෙනවා.
සුහානා රඟපාන The Archies චිත්‍රපටය මේ වසර තුළ තිරගත වන එකක් නැහැ. එය ලබන වසරේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙනු ඇති බවයි මාධ්‍ය සඳහන් කර තිබුණේ. ඉන්දියාවේ ප්‍රකට සිනමා පවුල් කිහිපයක දරුවන් මෙම සිනමාපටයට එක්ව සිටින බවත් පැවසෙනවා. කලක් බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක වූ ශ්‍රී දේවි ගේ බාලම දියණිය වන කුෂි ද The Archies චිත්‍රපටයේ චරිතයක් නිරූපනය කරනවා. ඇයගේ වයසත් අවුරුදු 22 ක්. ශ්‍රී දේවි සහ බොනි කපූර් දෙදෙනාගේ වැඩිමල් දියණිය වන ජන්වි ද මේ වනවිට ඉතා ජනප්‍රිය නිළියක්. අමිතාභ් බච්චන්ගේ මුනුපුරෙකු වන අගස්ත්‍යා ද The Archies හි රඟපානවා. ඔහු අමිතාභ්ගේ දියණිය වන ශ්වේතා ගේ පුතෙක්. ශ්වේතා විවාහ වී සිටින්නේ ව්‍යාපාරිකයකු වන නිකිල් නන්ද සමග යි.
ෂාරුක් ගේ වැඩිමල් පුතු ආර්යන් ද සිනමා රංගනයට එක් වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔහුව තමාගේ සිනමාපටයකට සම්බන්ධ කර ගැනීමට බොලිවුඩයේ ඉතා සාර්ථක අධ්යක්ෂවරයකු සහ නිශ්පාදකයකු වන කරන් ජොහාර් කිහිප වරක් උත්සාහ ගත් බවටත් කතාවක් තිබෙනවා. නමුත් නළුවකු වීමට ආර්යන් තුළ වැඩි කැමැත්තක් නැති බවයි පැවසෙන්නේ. ඔහුගේ වැඩි කැමැත්ත ඇත්තේ චිත්‍රපට අධ්යක්ෂණයට බව පැවසෙනවා. මේ වනවිට 25 වැනි වියෙහි පසුවන ඔහු නළු පෙනුම ඇති කඩවසම් තරුණයකු බව රහසක් නොවෙයි.
මේ අතර ෂාරුක් ඛාන් පසුගිය කාලයේ රඟපෑ චිත්‍රපට කිහිපයක් ද ලබන වසරේ ප්‍රේක්ෂකයන් හමුවට පැමිණීමට නියමිතයි. ‘පතාන්, ‘ජවන්’ සහ ‘දුන්කි’ නම් චිත්‍රපට තුනක ඔහු පසුගිය දිනවල රඟපෑවා. ෂාරුක්ගේ චිත්‍රපටයක් මේ ආකාරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ වසර හතරක පමණ කාලයකට පසුවයි. 2018 වසරේ තිරගත වූ ‘සීරෝ’ චිත්‍රපටයෙන් පසු ඔහුගේ චිත්‍රපටයක් දැක ගැනීමට රසික රසිකාවියන්ට හැකි වුණේ නැහැ. ෂාරුක් රඟපෑ අවසන් චිත්‍රපට සිතූ තරම් සාර්ථක නොවූ නිසා ඔහු තරමක කණස්සල්ලකින් පසු වූ බවටත්, ඔහු යම් විරාමයක් ගත්තේ ඒ නිසා බවටත් කතන්දර පැතිරුණා.
නිහාල් පීරිස්