ඊයේ පෙරේදා දවසක මම ප්‍රවෘත්තියක් දැක්කා;විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ආකාරය. එම ප්‍රවෘත්තියේ සඳහන් වූ අන්දමට පෝලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සංචාරකයින් පැමිණියා.
ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටට විදේශ විනිමය ලබාගත හැකි මාර්ග තුනක් තිබෙනවා. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය. එයින් හැකි විගසින් පළමුව අස්වැන්න නෙළගත හැක්කේ සංචාරක ව්‍යාපාරයෙන්. රට තුළ නිදහසක්, ආරක්ෂාවක් තිබෙනවා නම් සංචාරකයන් ඕනෑම රටකට පැමිණෙනවා. ඒ මහඟු අවස්ථාවයි දැන් උදාවී තිබෙන්නේ.
විශේෂයෙන් යමක් මෙහිදී මට පෙනෙනවා; එනම් ලංකාවේ මැතිවරණයක් කට ළඟ තියෙද්දී සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමයි. ඒකට හේතු ගණනාවක්ම බලපානවා. ඒ හේතු අතරින් විශේෂම තැනක් ගන්නේ පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳවයි. සංචාරකයන් කැමති නැහැ ඡන්දයක් පවතින අවස්ථාවක දී ශ්‍රී ලංකාවට පැමිණ ජීවිත අවදානමක් ලබාගන්න. (අපට ඕනෑ තරම් අමිහිරි අත්දැකීම් තිබෙනවානේ) නමුත් ශ්‍රී ලංකාව එවැනි අවදානමකින් මිදී තිබෙන බවක් ජාත්‍යන්තරයට පෙනී ගොස් තිබෙන බවක් තමයි මෙයින් හැඟෙන්නේ. ඒ නිසානේ සංචාරකයෝ එන්නේ.ඒ අස්වැන්න නෙලා ගත යුතු සුන්දර අවස්ථාවක් මේක.
දැන් රජය විශේෂ අවධානයක් යොමු කළ අවස්ථාවක් මේක. පැමිණෙන සංචාරකයින් ගුවන් තොටුපොලේ දී පිළිගැනීමේ උත්සව ඉතා හොඳයි. හැබැයි ඒක පමණක් ප්‍රමාණවත් නෑ. පිළිගැනීම් සමග සංචාරකයින්ගේ හිත් තුළ හැඟීමක් ඇතිවෙන්නට ඕනෑ. ඒ ඔවුන්ට රට තුළ තිබෙන ආරක්ෂාවේ ස්ථාවරය පිළිබඳ. ඒ නිසා ‘සංචාරක ආරක්ෂාව’ පිළිබඳ රට තුළ වැඩපිළිවෙලක් හදාගන්න ඕනනේ. එනම් පැමිණෙන සංචාරකයන්ට රට තුළ නිදහසේ සැරිසැරීමට ආරක්ෂාව සලසා දීමයි. එබඳු ආරක්ෂාවක් නොමැතිකම පිළිබඳ කටුක, අමිහිරි අත්දැකීම් රැසක් අප කා තුළත් තිබෙනවා.
අපේ රට තුළ මොන තරම් වටිනා ස්ථාන නරඹන්නට යන්න තිබෙනවාද? වනාන්තර, දියඇලි, ගහකොළ, වන සතුන්, ගංගාවල්, කඳු, පූජනීය ස්ථාන, ප්‍රතාපවත් බලකොටු..ඒ විතරක්ද? ජනාධිපති මන්දිරය, කටුගෙය.ලෝකයේ කොහේ වත් නෑ මේ වගේ වටිනා ස්ථාන පුංචි කොදෙව්වක. එවැනි ස්ථානවලට ගමන් කරන සංචාරකයන්ගේ ආරක්ෂාව. සනීපාරක්ෂාව, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම්, වෛද්‍ය පහසුකම්,සාධාරණ මිල ගණන් වැනි සියල්ල රජය විසින් වහා කළමනාකරණය කළ යුතුමයි. තිබෙන ඒවායේ ප්‍රතිසංවිධානයක් ඇති කළ යුතුයි. මන්ද විදෙස් රට වල ජීවත් වෙන අපිත් ලංකාවට එන විට අපිට මුලින්ම ප්‍රශ්නයකට මුහුණ දෙන තැනක් තිබෙනවා. ඒ තමයි ගුවන් තොටුපොල. දෙවනුවට ආරක්ෂිත වාහනයක්. ඊට පස්සේ නවතින්න නවාතැනක්. ඒවායේ මිල ගණන්. අපිත් හරි බයෙන් එන්නේ. කොතෙන්දි අපිව අනාරක්ෂිත වෙයිද කියන සැකයෙන්.
සංචාරක ව්‍යාපාරය ඉතා සංකීර්ණයි. සංචාරකයන්ගේ අවශ්‍යතා බොහොමයි. ඔවුන්ගේ එවැනි අවශ්‍යතා රටේ නීතිය, ගරුත්වය ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට ද රටේ වැදගත්කම පසක් කර දෙමින් වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කිරීම වැදගත්. එය සංචාරක අමාත්‍යාංශය සතු දැවැන්ත වගකීමක්. (හැබැයි මෙච්චර කාලයකට සංචාරක ව්‍යාපාරයෙන් මනා දැක්මක් සහ සැලසුමක් ඇතිව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණේ නැති බවයි මගේ හැඟීම) මන්ද රටේ ජනතාවගේ සහ රටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ ලෝකයට දැඩි ප්‍රකාශයක් නිහඬව ප්‍රකාශ කළ හැක්කේ සංචාරකම ව්‍යාපාරය ගොඩනැංවීම තුළින්.
අනුර හොරේෂස්