සමගි ජන බලවේගය හෙට(16) පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා ව්‍යාපාරය වළක්වන්නැයි ඉල්ලා පොලිස් ස්ථාන කිහිපයක් අද(15) අධිකරණවලින් ඉල්ලීම් කළ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හා ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.කෙසෙල්වත්ත පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතායි.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උපමානවලට අනුව එම උද්ඝෝෂණය පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එහෙත් තම විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ලත් අධිකරණය තීරණය පිළිබඳව කෘතඥතාව පළ කරන සමගි ජන බලවේගය හෙට(16) එම විරෝධතාව පවත්වන බව අවධාරණය කරයි. මේ අතර මහජන ඒකරාශීවීම්, රැස්වීම් හා උත්සව අද ( 15) රාත්‍රී 12.00 සිට සිට ලබන 30 වැනිදා දක්වා තහනම් කරමින් නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ පස්වරුවේ නිකුත් කරනු ලැබීය.සෞඛ්‍ය අංශ පවසනුයේ කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර ඇති බවකි. නමුදු වර්තමාන ජන ඒක රාශිත්වයන් අනුව මෙම නව මාර්ගෝපදේශ සංග්‍රහය දේශපාලනික අවශ්‍යතාවක් මත සකස් කළ එකකැයි සමගි ජන බලවේගය කියයි