හිංසාවෙන් සතුන් ආරක්ෂා කිරීම, සතුන් කෙරෙහි ජනතාව තුළ කරුණාව, දයාව සහ වගකිවයුතු හැසිරීම වර්ධනය කිරීම; ජාතික සත්ව සුභසාධන අධිකාරියක් පිහිටුවීම; පොදුවේ සත්ව සුභ සාධනය ආදිය එක් කර සාදන ලද ‘සත්ව සුබසාධන පනත’මේ දක්වා පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නොහැකි වී තිබේ.
ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකරන මෙරට අවිහිංසාවාදී, සත්වලෝලී සහ පරිසරවේදී සංවිධාන සහ ක්‍රියාකාරීහු අප්‍රමාදවම එම පනත සම්මත කළ යුතු බවට වගකිවයුත්තන්ට බල කර සිටීමේ ජාතික ව්‍යාපාරයක් සඳහා මූලික කටයුතු සකසමින් සිටිති.
2015 – කෙටුම්පත් කරන ලද මෙම පනත පිළිබඳව 2016 පෙබරවාරි 19 වෙනිදා පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය.
එහිදී කැබිනට් ඇමතිවරුන් විසින් දක්වන ලද අදහස්වලට අනුව එය 2016 යේ මාර්තු මස තුළ පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නියමිතව තිබිණ.
එහෙත්, මෙතෙක් අනාවරණය නොවූ කරුණක් මත එම පනත ‘යට ගසා’ ඇති අතර එය වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කළ යුතු යැයි සත්ව ලෝලීන්, සත්ව අවිහිංසාවාදීන් සහ පරිසරවේදීන් ඉදිරි මාස කිහිපය තුළ පොදු හඬක් නැඟීමට නියමිතය.
මෙවන් කෙටුම්පතක් මුල්වරට සකස්කර රජය වෙත යොමු කරන ලද්දේ 2006 ශ්‍රී ලංකා නීති කොමිසම විසිනි.
ඉන්පසු 2010 වසරේදී එම පනත් කෙටුම්පත පෞද්ගලික පනත් කෙටුම්පතක් ලෙස මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද්දේ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ විසිනි.
තවද, අධිකරණය වෙත ලිඛිත අයදුම් පතක් ඉදිරිපත් කරමින් සත්ත්ව සුබසාධනය වෙනුවෙන් පවතින නීති සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර, ආඥාවක් නිකුත් කරන ලෙසත් සතුන්ගේ ආරක්ෂාව හොඳින් සැලසෙන ලෙස පවත්නා නීති සංශෝධනය කරන ලෙසත් විවිධ කණ්ඩායම් විසින් ඉල්ලා සිටින ලදී.
කෙසේ හෝ 2016 වසරේ පාර්ලිමේන්තුවේ සම්මත වීමට තිබූ සත්ව සුබසාධන පනත මෙතෙක් ක්‍රියාත්මක නොවීම මත බෞද්ධ රටක් වශයෙන් ලොව පිළිගත් ශ්‍රී ලංකාවේ සිදුවන සත්ව හිංසන අබෞද්ධයැයි සම්මත බොහෝ රටවලට සාපේක්ෂව ශීඝ්‍රයෙන් ඉහළ නැංවී ඇති බැවින් ඉදිරියේ දී ගොඩනැගෙන මෙම ජාතික ව්‍යාපාරයට මහනාහිමිවරුන්ගේ ඇතුළු මෙරට බෞද්ධ ප්රභූන්ගේ විශේෂ අවධානයක් යොමුවිය යුතු බවද එම සත්ව ලෝලී, අවිහිංසාවාදී පරිසර සංවිධාන පෙන්වා දෙයි.