සත්ව හිමිකම් නොතකා සමාජයේ මානව හිමිකම් තහවුරු කිරීම මුලක් නැති ගසක් හිටවනවා වගේ වැඩක්

palakaya

“අද අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන ජිනීවා මානව හිමිකම් සමුළුවේ පවා කතා බහට ලක් වෙලා තියනවා. අපේ රට තුළත් මානව හිමිකම් පිළිබඳ ලොකු සමාජ කතිකාවක් ඇති වෙලා තියනවා. නමුත් සත්ව හිමිකම් සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය නොකර සමාජයේ මානව හිමිකම් පමණක් තහවුරු කිරීම මුලක් නැති ගසක් හිටවනවා වගේ වැඩක්.අද ලෝකයේ මානව හිමිකම් අතින් ඉහළට පැමිණි හැම රටක්ම වගේ ඒ තත්වයට පත් වෙලා තියෙන්නේ සත්ව හිමිකම් ප්‍රවර්ධනය කිරීම ඔස්සේ තමයි”. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් හා සුබසාධක සංවිධානය විසින් කුරුණෑගල,පාදෙණිය හරහා අනුරාධපුර තෙක් වැටී ගත් ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව සෙනරත්ගම පූලංචිය වැව අද්දර ඉදි කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා සමාරකය නිරාවරණය කොට ගල්ගමුව ප්‍රාදේශීය සභාව වෙත භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය වරයා මෙසේ ද කීය.”අද වෙනකොට ලෝකයේ මස් පිණිස සතුන් ඇති කරන ප්‍රධාන රටවල පවා සත්ව හිමිකම් යාන්ත්‍රණය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක වෙනවා.මස් පිණිස මරණයට පත් කරන සතුන්ට පූර්ව මරණ සංඥාවක් නොදැනෙන ලෙසට හා මරණ වේදනාව ඉතා කෙටි කාලයකට සීමාවන ලෙසට ඔවුන් ඝාතනය කළ යුතු බවට ඒ රටවල නියමයන් පනවා තිබෙනවා.ඒ අතර අද වන විට සත්ව මාංශ වලින් ලැබෙන පෝෂණය ලබා ගත හැකි විකල්ප ක්‍රම පිළිබඳව ඉතා සාර්ථක අත්හදා බැලීම් කොට තිබෙනවා.ඒ වගේම මානව බුද්ධි පරිනාමයේ ඉදිරි ගමන් මඟේ දී මිනිසා සත්ව මාංශ වලින් ශීඝ්‍රයෙන් දුරස්වීමේ පැහැදිලි නැඹුරුවක් ඇති විය හැකි බවට මානව විද්‍යාඥයන් අනාවැකි පළ කොට තිබෙනවා.

ඒ අනුව අද අප මේ සහභාගී වන උත්සවය ශ්‍රී ලාංකේය මානව ඉතිහාසයේ වැදගත් සන්ධි ස්ථානයක් වනවාට සැක නැහැ”.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

කාලීන පුවත්