ඉතිහාසයේ මුල්වරට අපේ රටේ දේශපාලන පක්ෂයක් විසින් සමරිසි අයිතීන් පිළිගැනීම සහ සමරිසිභාවය නීතිගත කිරීම සම්බන්ධයෙන් වන නීතිමය ක්ෂේත්රය පිළිබදව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට කරුණු රැසක් ඇතුළත් කර තිබිණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයටය.
“ඒ ඒ පුද්ගලයාගේ ලිංගික දිශානතිය තීරණය වෙන්නේ ජීව විද්‍යාත්මක කරුණු මතයි. ඒ නිසා ජීව විද්‍යාත්මක කාරණයකට විරෝධය පළ කරන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති සමාජයක්. එහෙම නැතිනම් පසුගාමී සමාජයක්,” යනුවෙන් ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ පවසා තිබිණි.
කාන්තාවක පිරිමියෙකුට ඇලුම් කිරීම, පිරිමියෙක් කාන්තාවකට ඇලුම් කිරීම මෙන්ම කාන්තාවක කාන්තාවකට ඇලුම් කිරීමත් පිරිමියෙක් පිරිමියෙකුට ඇලුම් කිරීමත් සිදු වෙන්නේ එකිනෙකාගේ කැමැත්ත මතය. එම බැදීම යම් සමාජයකට හෝ සමාජයේ යම් පුද්ගලයෙතුට ප්‍රශ්නයක් කර ගැනීම සාධාරණ නොවන අතර එය ප්‍රශ්නයක් කර ගන්නා පුද්ගලයින්ගේ මානසික මට්ටමින් කොතැනක සිටින්නේද යන්න පිළිබදවත් ඔවුන් ශිෂ්ඨත්වය අනුව කොතැනක සිටින්නේ ද යන්න පිළිබදවත් නැවත වරක් විමසා බැලිය යුතුය. මන්ද යත් ශිෂ්ඨ සමාජයක් ගොඩනැගෙන්නේ විෂම ලිංගිකයන් කෙරෙහි මෙන්ම සම ලිංගිකයන් කෙරෙහි ද සමානාත්මතාව එක සේ පිළිගන්නා සමාජයක් තුළින් බව බැවිනි. එමෙන්ම ඔවුන්ගේ අයිතීන්වලට ඉඩ නොදීම සහ ඒවා පිළි නොගැනීම මානව අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ද සැළකිය හැකිය.
සමරිසි පුද්ගලයන්ටත් සෙසු පුද්ගලයන් මෙන් සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අයිතිය පිළි නොගැනීම හෝ සමලිංගික භීතියට හේතුව ඒ ඒ පුද්ගලයාගේ නොදැනුවත් භාවය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රකාශ වී තිබේ. තවදුරටත් “තම තමන්ගේ සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම ඔහුට හෝ ඇය සතු මූලික මිනිස් අයිතිවාසිකමක් බව අපේ පක්ෂය පිළිගන්නවා. ඒ වගේම ඒක රටක දියුණුව සහ අධ්‍යාපන මට්ටම ගැන තවත් සාධකයක්. ශ්‍රී ලංකාව වැනි ‘පසුගාමී ආසියාතික රටවල’ ඒ සම්බන්ධයෙන් පවතින සාකච්ඡාව ඉතාම පටු” යයි කී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ “මේ සාකච්ඡාවට සමහරු බයයි. සමාජය තුළ ඒකට විරෝධයක් නැගෙන්නේ ඒ නිසයි.” යනුවෙන් ද සඳහන් කළේය.
“අපි ඇත්ත කතා කරන්නයි, බිම ඉඳ ගන්නයි බය වුණු දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. ඒ නිසා මේ සමාජය නිවැරදි දිශාවට ගෙන යාම වෙනුවෙන් ඒ පිළිබඳ සංවාදයට ලක් කළ යුතුයි. මැතිවරණය ඉලක්ක කරලා ඊට එරෙහිව යමෙක් කතා කරනවා නම් ඒක මේ කාරණය ගැන ඒ පුද්ගලයාගේ තිබෙන අල්ප දැනුම සහ නොදැනුවත්කම පිළිබඳ ප්රකාශනයක් පමණයි.” යනුවෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ද ප්‍රකාශ කර තිබිණි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ යම් පුද්ගලයකුට ලිංගිකත්වය මත (ස්ත්‍රී පුරුෂ භාවය) වෙනස් ලෙස සැලකීමකට ලක් නොකළ යුතු බවය. නමුත් ලිංගික දිශානතිය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගු නොවන බව සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක වන නීතිඥ රදිකා ගුණරත්න පෙන්වා දෙයි. “හැත්තෑ හතේ ඉඳන් ව්‍යවස්ථාවේ සංශෝධන විස්සකට කිට්ටු වෙන්න ඇවිල්ලත් එය නීතියක් වශයෙන් ගෙන එන්න බැරි වී තිබෙනවා. මේක තවමත් සාපරාධී වරදක්.” ඇය පවසන්නීය.
සමරිසි ප්‍රජාවට සමාන අයිතිවාසිකම් ලබා දීම සම්බන්ධයෙන් රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මුනිවත රකින්නේ බහුතර සමාජයේ පවතින “සමරිසි භීතිය” (Homophobia) නිසා බව ඇයගේ අදහසය. “ඒ තත්ත්වය බිඳින්න දේශපාලනඥයන්ට ලොකු වගකීමක් තිබෙනවා. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් දේශපාලන කැමැත්තේ (Political will) බරපතල අඩුවක් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ මෙය සාපරාධී වරදක් නොවේ කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දෙන තැනට ආවත් ලංකාව කිසිඳු විදිහකින් ඒ ගැන හඬ අවදි කරන්නේ නැහැ.”
“මෙවැනි තත්ත්වයක් තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ අයිතිය පිළිගන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශයකට ඇතුළත් කළ පමණින් එය යථාර්තයක් වෙන්නේ නැහැ. නමුත් අපි කොහෙන් හරි මේක පටන් ගන්න අවශ්‍යයි. මේ වෙද්දි ඒ වෙනුවෙන් මූලික පියවර අරගෙනයි තියෙන්නේ. ජන සමාජය තුළ ඔවුන් වෙනුවෙන් පවතින ආකල්ප වෙනස් කිරීම ක්‍රමානුකූලව සිදුකළ හැකි වේවි.” ඇය වැඩිදුර පවසා සිටින්නීය.
දුලංජලී මුතුවාඩිගේ