අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවකට මූලික කතා බහක්; විපක්ෂ නායක කමට නාමල්ගේ නමත්

වර්තමානයේ රට මුහුණ පා ඇති බරපතල සමාජ හා ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වයෙන් අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්,කාදිනල් තුමා ඇතුළු ආගමික නායකයන් ද, දේශපාලන පක්ෂ හා පොදු ජන සංවිධාන ද කළ ඉල්ලීම්ට සාධනීය ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඒ සම්බන්ධ ඉදිරි වැඩ පිළිවෙලකට පිවිසීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.එහි මුල් පියවර වශයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් හා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට,ස්වාධීන වූ කණ්ඩායමේ පක්ෂ නායකයන් ද සමග සාකච්ඡාවක් හෙට(29) පෙරවරු 10:30 ට කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.රට මුහුණ දී තිබෙන අර්බුදයට පිළියමක් ලෙස, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජිතයන්ගෙන් යුත් අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට විධායක ජනාධිපතිවරයා වශයෙන් තමන් එකඟ වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටසියලුම පක්ෂ නායකයන්ට දැනුම් දී තිබේ.මේ අතර ,ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් ජනාධිපති මන්දිරයට අද සවස 4.00 ට කැඳවා ඇත.මෙහි දී මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වන්නේ නම් විපක්ෂ නායකකම  සඳහා නාමල් රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරි පත් කිරීමට පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ ඇමති වරයකු ඇතුළු පිරිසක් සූදානමින් සිටින බව ද පැවසෙයි. හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති වරයා සෙසු දේශපාලන පක්ෂ නායකයන් ද හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට තිබේ.

කාලීන පුවත්