සුනඛ සහ බළල් ගැහැනු සතුන්ට උපත් පාලන එන්නත් ලබාදීම සුදුසු ද?

සුනඛයන් සහ බළලුන් දිගින් දිගටම බෝවීම වැළැක්වීම සඳහා ගනු ලබන ප්‍රධානම පියවර වන්නේ එම ගැහැනු සතුන් වන්ධ්‍යාකරණ සැත්කමට ලක් කිරීමයි. මෙය ප්‍රධාන පියවර මෙන්ම එකම සාර්ථක විසඳුම ද වේ. ජලභීතිකා රෝගය පාලනය කිරීම සඳහා ද සුනඛ ගහණය පාලනය වක්‍රාකාරයෙන් හේතු වේ.

ඒ කෙසේ වුවද තමන්ගේ නිවසේ ඇති දැඩි කරන සුනඛ සහ බළල් ගැහැනු සතුන් වන්ධ්‍යාකරණ සැත්කමකට ලක් කිරීමට විවිධ හේතූන් මත අපහසු වන අය ඊළඟට ගන්නා පියවර වන්නේ ඔවුන්ට පැටවුන් නොලැබීම සඳහා එන්නතක් ලබාදීමයි. මෙය ඩිපෝප්‍රොවේරා එන්නත ය.
ඩිපෝප්‍රොවේරා යනු කුමක්ද?

මෙය මනුෂ්‍යයන් සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතකි. එමගින් අපේක්ෂා කරන්නේ උපත් පාලනය කිරීමයි. මෙය කාන්තාවන් සඳහා භාවිතා කෙරේ. ඒ අනුව මෙම එන්නත කාන්තාවක් සඳහා ලබා දෙන්නේ ඇයට දරු ගැබක් හට ගැනීම වැළැක්වීමට ය. වරක් එන්නත විදීමෙන් පසු එයින් මාස හයක කාලයක් සඳහා ආරක්ෂාව සැලසේ. ඒ අනුව මෙම එන්නත කාන්තාවක විසින් ලබා ගන්නේ නම් ඇය මාස හයකට වරක් බැගින් මෙය ලබාගත යුතුවේ.

දැන් අපි මෙම එන්නත සතුන් සඳහා යොදා ගැනීමේ උචිත අනුචිතභාවය පිළිබඳව විමසා බලමු.

ඉහත ද සඳහන් කළ පරිදි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ මනුෂ්‍යයන් සඳහා ය. ඒ අනුව මෙය සතුන් සඳහා භාවිතය අනුමත කර නැත. නමුත් සතුන් සඳහා භාවිතා කිරීමට වෙනත් උපත් පාලන එන්නතක් ද නොමැත.
මෙම එන්නතෙහි අඩංගු වන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ ම වර්ගයක් වන මෙඩ්‍රොක්සි ප්‍රොජෙස්ටරෝන් ( medroxy progesterone) නම් හෝමෝනය යි. මෙම එන්නත සම්පූර්ණ වශයෙන්ම මනුෂ්‍යයන් (කාන්තාවන් ) සඳහා භාවිත කළත් සුනඛයන්ට සහ බළලුන්ට ලබා දෙන්නේ ඔවුන්ගේ ශරීරයට ගැලපෙන පරිදි අඩු මාත්‍රාවකිනි.

එය එසේ වුවද මෙම එන්නත ශරීරගත වීමෙන් පසු එම ගැහැනු සතුන්ගේ ගර්භාෂයට මෙමගින් ඉතා අහිතකර බලපෑම් ඇති වේ. ඔවුන්ගේ ගර්භාෂයෙහි ඇතුල් බිත්තියේ ඉතා කුඩා ග්‍රන්ථි පිහිටා ඇත. මෙම ග්‍රන්ථිවල ඇති සෛල මගින් ශ්‍රාවයන් නිකුත් වේ. මෙම ශ්‍රාවයන් නිසා එන්නත විදීමෙන් පසු බැක්ටීරියාවලට සුදුසු පරිසරයක් ගර්භාෂය තුළ නිර්මාණය වෙයි.

ගැහැනු සතුන්ගේ ප්‍රජනනයට සුදුසු කාලය වන විට ඔවුන්ගේ යෝනි මාර්ගය තෙත් වී, විවර වී පවතී. එහිදී එයට ඇතුල් වෙන බැක්ටීරියාවලට ඉතා හිතකර පරිසරයක් එහි සැකසෙන අතර එම සතාට ඊට මාස පහ හයකට ඉහත මෙම එන්නත විද තිබුණොත් ගර්භාෂය ඇතුළේ එන්නත විදීම නිසා හටගෙන තිබෙන බැක්ටීරියාවලටත් එය තවදුරටත් හිතකර තත්ත්වයක් වෙයි. මේ නිසා ගර්භාෂය තුළ බැක්ටීරියා වර්ධනය වැඩි වී සැරව පිරී ගර්භාෂය ඉදිමෙන්නට පටන්ගනී. Pyometra ලෙස මේ තත්ත්වය හඳුන්වයි.

මේ තත්ත්වය වර්ධනය වන විට සතා බෙහෙවින් දුර්වල වීමට පටන් ගනී. යෝනි මාර්ගයේ විවරය විවෘතව පැවතියහොත් යෝනි මාර්ගයෙන් පිටතට සැරව ගලා එනු ඇත. යම් හෙයකින් යෝනි මාර්ගය වැසී තිබුණොත් ගර්භාෂය තුළ සැරව පිරී එහි පීඩනය වැඩි වී ගර්භාෂය පිපිරී යාමට හැකියාවක් තිබේ. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් සතා මිය යාමට පුළුවන. එසේම බැක්ටීරියාවල විෂ වර්ග සතාගේ රුධිරයට එකතු වුවහොත් එමගින් ද සිදුවන්නේ බොහෝ විටම මරණයයි. යම් හෙයකින් එන්නත ලබා දෙන විටත් එම අයිතිකරුවන් නොදැන සතාගේ ගර්භාෂයෙහි පැටවුන් සිටියහොත් එම පැටවුන් ගර්භාෂය තුළ මිය යනු ඇත. එවිට එම මියගිය පැටවුන් ගර්භාෂය තුළ හිඳීමෙන් සතාගේ ගර්භාෂයෙහි විශාල වශයෙන් විෂ වර්ග සෑදෙන අතර ඉක්මනින් නිසි පශු වෛද්‍ය ප්‍රතිකාර නොලදහොත් එවිට ද සතා මිය යා හැකිය.
මේ අනුව සුනඛ සහ බළල් ගැහැනු සතුන්ගේ උපත් පාලනය වෙනුවෙන් මිනිසුන් සඳහා නිර්දේශිත ඩිපෝප්‍රොවේරා එන්නත ලබා දීම කොතරම් ගැටලුකාරී තත්ත්වයක් දැයි ඔබට පසක් වනු ඇත. වන්ධ්‍යාකරණ සැත්කමක් කිරීමට කිසිසේත්ම නොහැකි යම් අවස්ථාවක මෙම එන්නත භාවිතා කිරීමට බොහෝ අය පෙළඹුණද මෙම එන්නත සතුන්ට කිසිසේත්ම උචිත වන්නේ නැත. මෙහි ඇති අන්තරායකාරී තත්ත්වය ඔබට පැහැදිලි වී ඇතැයි සිතමු.

පශුවෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

ඉන්දු පෙරේරා

සතුන්ටත් හිමි අපේ ලෝකය