සුළු කොට නොතැකිය යුතු ලෝක ජල දිනය

මිනිසුන්ට භාවිතයට ගත හැකි මිරිදිය ජලයේ වැදගත්කම ඉස්මතු කර දැක්වීම අරමුණු කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක ජල දිනය සෑම වසරකදීම සැමරේ. මිරිදිය සම්පත්වල කළමනාකාරීත්වය සහ එහි තිරසාරත්වය පිළිබඳව අවධානය යොමු කිරීමද ලෝක ජල දිනයේදී අවධාරණය කෙරේ. සෑම වසරකම ලෝක ජල දිනය සැමරීමේදී ඒ සඳහා තේමාවක් පදනම් කරගැනේ. 2023 ලෝක ජල දිනයේ තේමාව වන්නේ “වෙනස් වන්න” (Be the Change) යන්නයි. සෑම පුද්ගලයකු විසින් භාවිත කරන ජලය පරිභෝජනය කරන සහ කළමනාකරණය කරන ආකාරය වෙනස් කිරීමට දිරිගැන්වීම මෙවර තේමාවේ හරයයි. 2021දී ලෝක ජල දිනයේ තේමාව වූ “ජලය අගය කිරීම” නැතහොත් ජල සංරක්‍ෂණය සහ ජලයට වැයවන මුදලේ වටිනාකම පිළිබඳව අවධාරණය කරන ලදී. 2022 වසරේදී (භූගත ජලය) අදෘශ්‍යමාන දේ දෘශ්‍යමාන කිරීම තේමාව විය. මේ මඟින් මිනිසාට සහ පරිසරයට භූගත ජලය කෙතරම් වැදගත් වන්නේද යන්න ඉස්මතු කිරීමට උත්සාහ කෙරේ. පෘථිවි ගෝලයෙන් 71%ක් ජලයෙන් වැසී පවතී.

එයින් 97.5%ක් සාගර ජලයෙන් පිරී ඇත. මිරිදිය ජලය ඇත්තේ 2.5%ක සුළු ප්‍රමාණයකි. එම 2.5%ක අගයෙන්ද වැඩි ප්‍රමාණයක් ග්ලැසියර් ලෙස පවතී. ඊට අමතරව භූගත ජලය වශයෙන්, මතුපිට ජලය වශයෙන් සහ වායුගෝලීය ජලය හෙවත් තුහින වශයෙන් මිරිදිය ජලයේ සංයුතිය සකස් වී ඇත. එම අගයන්ගෙන් මිනිසාට පරිභෝජනයට ගතහැකි ජල ප්‍රමාණය ඉතාම සීමිත ප්‍රමාණයකි. පෘථිවියේ ඇති ජල ව්‍යාප්තිය අනුව බොහෝ විට අප පානය කිරීම සඳහා යොදාගනු ලබන්නේ භූගත ජලය හෝ මතුපිට ජලයයි. අපගේ පානීය ජලයෙන් අඩකට දායක වන්නේ භූගත ජලයයි. වාරි කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය ජල ස්කන්ධයෙන් 40%ක් සපයන්නේද භූගත ජලයයි. විශේෂයෙන්ම පානීය ජලය පහසුවෙන් සපයාගත නොහැකි ප්‍රදේශවල විකල්ප ජල සම්පාදන ප්‍රභවයක් ලෙසට වැදගත් වන්නේ භූගත ජලයයි. මෙවන් පසුබිමක් යටතේ ලෝකයේ පවත්නා ජලසම්පත් පිළිබඳව වාර්තාවක් සෑම වසරකම මාර්තු මස 22 වැනි දින හෝ ඊට ආසන්න දිනයක එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් “ලෝක ජල සංවර්ධන වාර්තාව” නමින් වාර්තාවක් ඉදිරිපත් කරනු ලබයි.

ලෝකයේ ජීවත් වන සෑම ජීවියකුටම ජලය අත්‍යවශ්‍ය දෙයකි. පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට පමණක් නොව මිනිසාගේ සියලු‍ම එදිනෙදා කටයුතු සඳහාද ජලය භාවිත කරයි. එසේම, කෘෂිකර්මාන්ත ඇතුළු අනෙකුත් සියලුම මානව ක්‍රියාකාරකම් සඳහාද ජලය අත්‍යවශ්‍ය වන අතර වර්තමානයේ ජලය සඳහා ඇති ඉල්ලු‍මද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. ජනසංඛ්‍යා වර්ධනය, සමාජ ආර්ථික සංවර්ධනය සහ මිනිසුන්ගේ වෙනස්වන පරිභෝජන රටාව වැනි හේතු නිසාවෙන් සෑම වසරකම ලෝක ජල ඉල්ලු‍ම 1%කින් පමණ ඉහළයන බව ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව වර්ෂ 2050 දක්වාම ගෝලීය ජල ඉල්ලීම මෙම අනුපාතයෙන්ම ඉහළ යන බව ගණනය කර ඇත. ජල ඉල්ලු‍ම එලෙස ඉහළ යෑම සඳහා මූලිකව කෘෂිකාර්මික කටයුතුවල වර්ධනය හා ගෘහාශ්‍රිත කටයුතුවලට ඇති ඉල්ලුම බලපා තිබේ. සමස්තයක් ලෙස ගෙන බැලූවිට 1980 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලය තුළ ලෝක ජල ඉල්ලු‍ම 20%කින් 30%කින් පමණ ඉහළ ගොස් ඇති බව “ලෝක ජල සංවර්ධන වාර්තාව” පෙන්වාදෙයි.

ලෝකයේ දැනට බිලියන 2කට ආසන්න ජනසංඛ්‍යා ප්‍රමාණයක් ජලය නොමැතිව පීඩා විඳී. එසේම තවත් බිලියන 4කට ආසන්න ජන සංඛ්‍යාවක් අඩු තරමින් වර්ෂයක එක් මාසයක් තුළදීවත් දැඩි ජල හිඟතාවකට මුහුණ දෙමින් සිටී. මේ වන විට ලෝකයේ සිදුවෙමින් පවතින දේශගුණික විපර්යාස මේ තත්ත්වය තීව්‍ර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විශේෂඥයන්ගේ මතයයි. පානීය ජලය හා සනීපාරක්ෂාව සඳහා ජලය සපයා ගැනීම, සෞඛ්‍ය සම්පන්නව තම ජීවනෝපාය සකස් කර ගැනීම සහ එසේ පවත්වාගෙන යෑම ඕනෑම මිනිසකුගේ මූලික අයිතිවාසිකමකි. සියලු‍ දෙනාට කිසිදු භේදයකින් තොරව ජලය හා සනීපාරක්ෂාව ලබාදීම සඳහා විශ්වීය ප්‍රවේශයක් සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාව මානව හිමිකම් නීතියේ පවා සඳහන්ව ඇත. මේ තත්ත්වය මත ලෝකයේ අත්‍යවශ්‍ය සංරචකයක් බවට “ජලය” පත්ව තිබේ. මෙම පසුබිම තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තිරසර සංවර්ධන ඉලක්ක ලෝකයට හ¾දුන්වාදී ඇති අතර එහි සඳහන් එම සංවර්ධන ඉලක්කයන්හි හය වන කරුණේ සඳහන්ව තිබෙන්නේ පිරිසුදු ජලය හා සනීපාරක්ෂාව සම්පාදනය කිරීම පිළිබඳවයි. එයින් පැහැදිලි කෙරෙනුයේ ජලයේ වැදගත්කම සහ තිරසර අයුරින් භාවිතය පිළිබඳවයි.

ජලය අවශ්‍ය වන්නේ මිනිසුන්ට පමණක් නොවේ. ලෝකයේ ජීවත්වන සෑම සත්ත්වයකුටම සහ ශාක සඳහාත් ජලය අත්‍යවශ්‍ය සංරචකයකි. මිනිසකුට ජලය නොමැතිව ජීවත්විය හැක්කේ දින 03ක් වැනි කෙටි කාලයකි. ජලය සඳහා තිබෙන ඉල්ලු‍ම ක්‍රමයෙන් ඉහළ යෑමත් සමඟ ජල සම්පත් හිඟවීම සහ ජල මූලාශ්‍ර විනාශ වීම සිදුවේ. වර්තමානයේ ජල සම්පත් අධිභාවිතය ලෝකය පුරා අපට දැකගත හැකිය. කිසියම් ප්‍රදේශයක තිබෙන ජල සම්පත් සංචිත ප්‍රමාණය, ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයකින් භාවිතයට ගැනීම “ජලය අධි භාවිතය” ලෙසට හ¾දුන්වයි. අදවන විට ලෝකයේ බොහොමයක් ප්‍රදේශවල මෙම ගැටලුව බරපතළ ලෙස දක්නට ලැබේ. වේගවත් නාගරීකරණය, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ විවිධ මානව ක්‍රියාකාරකම් නිසා ජල සම්පත ක්‍රමයෙන් විනාශ වීම හෝ අධි භාවිතය සිදුවේ.

සමස්තයක් ලෙස ගත්කල ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජල හිඟතාවක් දැකීම අසීරුය. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව ඒකාකාරී ජල සම්පත් ව්‍යාප්තියක් දක්නට නොලැබේ. මෙරටේ පවතින ජල සම්පත් ප්‍රමාණය කාලීනව වෙනස් වේ. එයට ප්‍රධාන හේතුව වන්නේ වර්ෂාපතන රටාව වෙනස් වීමයි. වර්ෂාපතන රටාව වෙනස් වීමත් සමඟම ජල සැපයුම් ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා 103ක් අතුරින් 80ක පමණ ප්‍රමාණයක් වියළි කලාපය හරහා ගලා බසී. වසරේ සෑම කාලයකම එකී ගංගාවන්ගෙන් ජලය ගලා බසින්නේ නැත. මේවා කාලීනව වෙනස් වේ. අපට තිබෙන ජල සම්පත විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ක්ෂය වීමට සහ හායනය වීමට ලක් වේ. විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල සහ උප නාගරික ප්‍රදේශවල ගෘහාශ්‍රිත අපද්‍රව්‍ය බැහැර කිරීම, කර්මාන්තශාලා ආශ්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ජල සම්පත දූෂණය වීමට ලක්වේ. කෘෂිකර්මාන්තයට යොදන රසායනික පොහොර සහ කෘමිනාශක ග්‍රාමීය ප්‍රදේශවල ජල සම්පත දූෂණය වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මුහුදු ජලය ගංගාවලට කාන්දු වීම හා වියළි කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25න්, දිස්ත්‍රික්ක 08ක පුද්ගලයන් 3,37,000ක් පමණ වාර්ෂිකව ජල හිඟයට මුහුණ දේ. වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල ජලය ලබාගැනීමේ මූලාශ්‍රය වන්නේ භූගත ජලයයි. එලෙස භාවිත කරන භූගත ජලයේ සංයුතිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී බොහෝවිට එහි ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය ඉහළ අගයක් ගන්නා බව පැහැදිලි වේ. එසේම තවත් ප්‍රදේශවල ජලයේ අඩංගු යකඩ සාන්ද්‍රණයද ඉහළ අගයක් ගනියි. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල නළ ළිං භාවිත කර භූගත ජලය ලබාගෙන පානීය ජලය භාවිත කිරීම බහුලව දැකගත හැකිය. එලෙස ජලය සපයාගන්නා ප්‍රජාවට පිරිසුදු පානීය ජලය සපයාගැනීම ගැටලුවක් වී ඇත. සමස්තයක් ලෙස ගත්විට ශ්‍රී ලංකාවේ පවතින ජල සම්පතේ තිරසර පැවැත්ම සඳහා මානව ක්‍රියාකාරකම් බලපානු ලබයි.

ජල සම්පතේ තිරසර පැවැත්මට මානව ක්‍රියාකාරකම් නිරන්තරයෙන්ම හේතුවේ. පිරිසුදු පානීය ජලය සෑම පුද්ගලයකුටම අවශ්‍ය පරිදි ලබා ගැනීමට නොහැකි වීම නිසාත්, ජල සම්පත් මණ්ඩලය විසින් පිරිසුදු පානීය ජලය ජනතාවට ලබාදීමට කටයුතු කරයි. ජල මූලාශ්‍රවලින් ලබාගන්නා ජලය, පිරිපහදු කර පානීය ජලය ලෙස ලබාදීමට ඔවුන් උත්සාහ දරයි. වාර්ෂිකව ඒ සඳහා විශාල මුදලක් වැය වේ. එලෙස පිරිසුදු පානීය ජලය ලබා දීමට නොහැකි වුවහොත් සමස්ත ප්‍රජාව, විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාවට එය බරපතළ ලෙස සහ අහිතකර ලෙස බලපානු ඇත.

ශ්‍රී ලංකාවේ ගංගාධාරා අතරින් කැලණි ගඟේ ජලය බස්නාහිර පළාතේ බොහොමයක් ප්‍රදේශවල ජල සම්පාදන මූලාශ්‍රය නැතහොත් ජල සම්පාදන ප්‍රභවය ලෙස භාවිත කෙරේ. කැලණි ගඟ වර්ෂය පුරා ජලය පවතින ගංගාවකි. ගංගාවේ ඇති වැදගත්කම හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් කැලණි ගඟේ ස්ථාන කිහිපයක නිරන්තරයෙන් ජල පරීක්‍ෂාව සිදු කරනු ලබයි. එමඟින් පවතින ජලයේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරේ. ගඟේ ඉවුරු දෙපස ඇති කර්මාන්තශාලා, හෝටල්, නිවාස වැනි ඒවායින් ගංගාවට නිරන්තරයෙන් අහිතකර අපද්‍රව්‍ය එකතුවේ. කැලණි ගඟේ ජලයේ පවිත්‍රතාවට හා ගුණාත්මකභාවයට එම තත්ත්වය දැඩි බලපෑම් කරනු ලබයි. කැලණි ගඟේ ඉහළ කොටසේ පිහිටා තිබෙන හෝටල්වලින් ඉවත් කරන අපද්‍රව්‍ය ගඟට මුදා හැරීම පිළිබඳව නිරන්තරයෙන් වාර්තා වේ. කර්මාන්තශාලාවලින් නිකුත්වන විවිධ රසායන ද්‍රව්‍ය හා කාබන් මෙන්ම හෝටල් සහ ගෘහ ඒකකවලින් නිකුත්වන අසූචි නැතහොත් කෝලිෆෝම් බැක්ටීරියා අඩංගු වීම පිළිබඳව නිරන්තරවම පුවත්පත් මඟින් වාර්තා කරයි. පසුගියදා ප්‍රකාශයට පත්වූ වාර්තාවක සඳහන් වන්නේ කිතුල්ගල සහ කඩුවෙල අතර ප්‍රදේශ හරහා ගලායන කැලණි ගඟේ ජලය අපවිත්‍ර වීම නිසා මත්ස්‍ය විශේෂ 59ක් පමණ මියගොස් ඇති බවයි. එපමණක් නොව ජලයේ අඩංගු ර්ථීඩ අගයේ වෙනස්වීමද නිරන්තරව සිදුවන බවද වාර්තාවේ. එවැනි තත්ත්වයන් ජලයේ ගුණාත්මකභාවයට බරපතළ තර්ජනයකි. කළු ගඟද විශාල ජනතාවකට ජලය සම්පාදනය කරන ගංගාවකි. වියළි කාලවලදී, කළු ගඟේ ජල මට්ටම වෙනස් වීමේදී ගඟේ ජලයට ලවණ එක් වීම ජලය පිරිපහදු කිරීමේදී මුහුණ දෙන ප්‍රධාන ගැටලු‍වකි. නිල්වලා ගඟේ ද මේ තත්ත්වය අපට දැකගත හැකිය. මෙලෙස කරදිය, මිරිදිය ජලයට මිශ්‍ර වීම හරහා ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු‍ මතුවේ. මේ නිසා එම ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී බරපතළ ගැටලු‍වලට මුහුණ දීමට සිදුවේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යාව ප්‍රමාණාත්මකව වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලාංකිකයන්ගේ සමාජ ආර්ථික රටාව මෙන්ම ජීවන රටාවද ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. මෙම කරුණුවලට සාපේක්ෂව මෙරටේ ඇති ජලයට පවතින ඉල්ලු‍මද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. ජලය හිඟ සම්පතක් වන හෙයින් එම ඉල්ලු‍මට සාපේක්ෂව ජලය සැපයීමට නොහැකි වුවහොත් විවිධ ගැටලු‍ ඇතිවිය හැකිය. මෙම තත්ත්වය තෙත් කලාපයේ සහ වියළි කලාපයේ වෙනස් ආකාරයෙන් දක්නට ලැබේ. මෙම තත්ත්වය මත කුමන පළාතක වුවත් මෙම ජල සම්පත තිරසර අයුරින් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් වර්තමාන පරම්පරාව එම සම්පත් භුක්ති විඳ අවසන් වූවාට පසු, ඉදිරි පරම්පරාවට ජල සම්පත ආරක්‍ෂා කර ගැනීමේදී ගැටලු‍ මතුවිය හැකිය.

ජල සම්පත ආරක්ෂා කරගැනීම සඳහා තනි තනි පුද්ගලයන් ලෙස, කණ්ඩායම් ලෙස සහ සමස්ත රටවැසියන් ලෙස අවධානය යොමු කිරීම සහ භාවිතයේ වෙනසක් ඇතිකිරීම අත්‍යවශ්‍ය වේ. ජල සම්පත සුරක්ෂිත කරගැනීම සඳහා අපට කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාකාරකම් සිදු කළ හැකිය. කෙටිකාලීන වශයෙන්,ජලයට අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම, ජලය අපිරිසුදු නොකිරීම ජල සම්පත අධිභාවිතය අවම කිරීම සහ ජලය තිරසර ලෙස භාවිත කළ හැකිය.

සාමාන්‍යයෙන් ලෝකයේ වසරකට එක් පුද්ගලයෙක් ජලය ඝනමීටර 1700කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන බවට ගණනය කර ඇත. මේ අනුව ලෝක ප්‍රජාවට අති විශාල ජල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. එම තත්ත්වය මත තවත් කෙනකුට භාවිත කිරීමට හැකි ලෙස ජලය තිරසර අයුරින් භාවිත කිරීම අප සැමගේ වගකීමක් වනු ඇත. එපමණක් නොව ලෝකයේ සීමිත ජල සම්පත විවිධ ක්‍රියාකාරකම් සඳහා ප්‍රජාව අතරේ බෙදා ගැනීමට යෑමේදී විවිධ ගැටලු‍ ඇති වී තිබේ. එයට කදිම නිදසුන ලෙස ඉන්දියාවේ කාවේරි නදිය ආශ්‍රිතව ජලය බෙදා ගැනීමේ ගැටලු‍ව පෙන්වාදිය හැකිය. කෙසේ වෙතත් දිගුකාලීන වශයෙන් අපට ජලය සුරක්ෂිත කිරීම සඳහා, ජල මූලාශ්‍ර සුරැකීම, වනාන්තර විනාශය පාලනය කිරීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ප්‍රජා සහභාගිත්වය තුළින් ජල සම්පත සුරැකීම සඳහා අවධානය යොමු කිරීම වැනි කරුණු සිදු කළ හැකිය.

සෑම පුද්ගලයෙක්ම ජලය සුරැකීමේ පාර්ශ්වකරුවන් ලෙසට සලකා, ඔවුනොවුන්ගේ වගකීම නොපිරිහෙළා ඉටු කිරීම මඟින් ජල සම්පත දිගුකාලීනව සුරක්ෂිත කිරීමට හැකියාව ලැබෙනු ඇත. ලෝක ජල සම්පත පිළිබඳව ලෝකයම අවධානය යොමු කරන දිනක අපගේ අවධානයද ඒ සඳහා යොමුවිය යුතුය. එය ජල දිනයට පමණක් සීමා නොවිය යුතුයි. එය ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. සීමිත සම්පතක් වන ජලය වර්තමාන පරම්පරාවට පමණක් නොව, මතු පරම්පරාවටත් අවැසි පරිදි, ලබා දීමට හැකි පරිදි සුදුසු පරිසරයක් ඇති කිරීම සහ ඒ සඳහා “ජල භාවිතයේ වෙනසක්” ඇති කිරීම අප සැමගේම වගකීමක් වේ.

රුවන් පුෂ්පකුමාර

එතෙර - මෙතෙර