“මේ නිදහස් දිනය සැමරීමට සූදානම් වෙන වෙලාවෙදි අපට රටේ ජනතාවට කියන්න දෙයක් තියෙනවා. එකක් තමයි අපට සමරන්න තරම් නිදහසක් දැන් නෑ කියන එක. දැන් මේ රටේ ආර්ථික නිදහසක් නෑ. දේශපාලන නිදහසක් නෑ. ප්රජාතන්ත්රවාදී වටපිටාවක් නෑ. අඩු තරමේ දරුවන් පාසල් යවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ලෙඩ වුණොත් බෙහෙත් ටික ගන්න විදිහක් නෑ. මිනිස්සුන්ට කන්න බොන්න දෙයක් නෑ.අද රටම ජීවත් වීම පිළිබඳ අර්බුදයක වෙළිලා. අපි ආර්ථික වශයෙන් අද කොච්චර අබල දුබල තත්ත්වයට පත්වෙලාද? කියලා මුළු ලෝකෙම දන්නවා. බැංකු පවා අද පවත්වාගෙන යන්න බෑ. බැංකු පොලිය ඉතා විශාල වශයෙන් වැඩි වෙලා. ලෝකෙටම ණය වෙලා; ණය ගෙවා ගන්න බෑ. ඒ හින්දා ඇත්තටම අපට සමරන්න නිදහසක් ඉතුරු වෙලා නෑ. දැන් නිදහස සමරනවා නම් සමරන්න තියෙන්නෙ හොරා කාපු කට්ටියට ඒ හොරා කෑම පිළිබඳ නිදහස විතරයි. ඒක නිසා අපි ආණ්ඩුවට කියන්නේ වහාම ඔය නිදහස සමරනවා කියලා කරන මඟුල ඔයගොල්ලෝ ගෙවල් ඇතුලෙ කරගන්න.ජනතාව ඉස්සරහට ඇවිත් නාඩගම් පෙන්නන්න එපා. රටේ ජනතාවගේ බදු මුදල් මේකට වියදම් කරන්න එපා. ඒ නිසා දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ නිදහස සමරන්න සල්ලි තියෙනවා නම් ඒ මුදල් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් ගේන්න රෝහල්වලට ලබාදෙන්න කටයුතු කිරීමයි. ඒ නිසා නිදහස් උත්සවයට නාස්ති කරන වියදම් කරන මුදල් බෙහෙත් නැතිව මිය යන රෝගීන්ට ලබා දෙන්න කටයුතු කරන්න. එහෙම කිරීම සඳහා මහජන මතයක් හදන්න කියලා අපි මේ රටට ආදරය කරන, මිනිසුන්ගේ ජීවත් වීම විශ්වාස කරන, ආදරය කරන සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජාතියක් වශයෙන් ආණ්ඩුවට බල කරමු පෙබරවාරි 4 නිදහස් උත්සවය සමරන්න යොදවන අති විශාල මුදල අත්‍යවශ්‍ය බෙහෙත් රෝහල්වලට අරන් දෙන්න කටයුතු කරන්න කියලා”ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුනෙත්ති කියයි.
එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනුයේ නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැඟුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බවකි.එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25කදී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙල වෙනුවෙන් නව ආයතන ගණනාවක් මෙන්ම නීති කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ය.පසුගිය 17 වන දා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබාගැනීමට පැවැත්වෙන සාකච්ඡා මේ වන විටත් සාර්ථක වී ඇතැයි ද ජනාධිපති වරයා එහිදී පැවසීය.ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදාගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයිද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුව ද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම වසරේ ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 30ක 40ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.රජයේ නිවරැදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් වී අස්වැන්නේ අතිරික්තයක් ලැබී ඇති බවත් අඩු ආදායම් ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් වැඩපිළිවෙලක් රජය සැලසුම් කර තිබෙන බවත් පැවසීය.
නමුදු ජනාධිපති වරයා පාර්ලිමේන්තුවේ දී එලෙස ගොනු කොට දැක් වූ පැතුම් සිහින ගොන්න මුවාවෙන් ඉදිරි නිදහස් සැමරුම උදෙසා ජනතා බදු වලින් මහා ධන සම්භාරයක් වැය කිරීම සාධාරණීකරණයට ලක් කළ හැකිද?
අතීතයේ එක් ගැමියෙක් ගෙදර ආහාර පිසීමට දෙයක් නොමැති බැවින් පලා ටිකක් නෙලා ගැනීමට ඕවිටකට ගියේ ය.සෑහෙන තරම් පලා නෙළාගෙන ආපසු එන්නට සූදානම් වූ ඔහුට දක්නට ලැබුණේ ඕවිටේ කොනක සැරිසරන මුව රංචුවකි.ආහාරයට මුව මස් සපයා ගත හැකි නම් පලා මොන උලව්වකට දැයි සිතූ ගැමියා තමන් නෙළුෑ පලා ඉවත හෙළා දඬු මුගුරක් ද රැගෙන එම මුව රැල ලුහු බඳින්නට විය.එහෙත් මුවෝ අසුරු සැනින් ගැමියාගේ නෙත් මානයෙන් නික්ම මහ වනයට වැදුණි.ඉන් ඉච්ඡා භංගත්වයට පත් ගැමියා මට ඒ මුව මසින් කාරි නැතැයි සිතා ඕවිටේ සීසීකඩ විසිරුණු පලා එකතු කිරීමට යළි එහි පැමිණියේ ය.එවිට ඔහුට දැක ගත හැකි වූයේ එම පලා ද ඕවිටේ බැඳ සිටි ගවයන් විසින් කා දමා ඇති බවකි.අවසානයේ මුව මස් සේම පලා ද අහිමි කරගත් ගැමියා හිස් අතින් ගෙදර ආවේය.පැන යන මුවන් දැක නොහෙළව් නෙළුෑ පලා යන පිරුළ ජන ගත වූයේ එම ප්රවාදයට අනුව ය.
ඒ අනුව ජනාධිපතිවරයා තමන් හෝ තම කණ්ඩායම රටේ අනාගතය සම්බන්ධයෙන් දකින හෝ ජනතාව හමුවේ ප්‍රදර්ශනය කරන සුබ සිහින වෙනුවෙන් අද වන විට ඖෂධ නොමැතිව අකාලයේ මරුමුවට පත් වන රෝගීන් ගේ ජීවිත වලින් වන්දි ඉල්ලා සිටීම හුදු මිනිසත්කමට පවා නිගරුවක් බව අපගේ වැටහීම ය.ඒ අනුව රට තුළ පවත්නා බරපතල අර්බුදකාරී තත්වය හමුවේ නිදහස් සැමරුම නමින් “ණය වී ගිතෙල් කෑම”අපට ද කෙසේ වත් අනුමත කළ නොහැක.එබැවින් ඊට පොදු ජන විරෝධයක් එල්ල වීමේ කිසිදු වරදක් අපට නම් නොපෙනෙයි.
ඉන්දු පෙරේරා