අගමැතිගේ කතාවට මැදි වූ කවුද මේ හුණු වටයේ ගෲෂා?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(16) ජාතිය අමතමින් සිදුකරනු ලැබූ කතාව මගින් වත්මන් රටේ තත්වය මහ ජනතාවට පැහැදිලි කරදෙනු වස් ගෲෂා සහ දරුවා පිළිබද සංවේදී වෘත්තාන්තයක් සහිත හුණුවටයේ කතාවෙන් කොටසක් උපුටා ගෙන තිබිණි. ඔහු පවසනු ලැබුවේ හුණු වටයේ කතාවේ ගෲෂාට මෙන් තමාට ද අනුන්ගේ බිළිඳු දරුවෙකු අතැ`තිව මාරක වැල් පාලමකින් පරිස්සම් සහිතව එතෙර වීමට සිදු වී ඇති බවයි. ඔහු පැවසූ එකී ගෲෂා පිළිබදව වූ හුණු වටයේ කතාව ජර්මන් ජාතික බර්ටොල්ට් බ්‍රෙච්ට් නම් වූ ප්‍රකට ලේඛකයා විසින් 1948 වසරේ දී ‘ද කොකේෂියන් චෝක් සර්ක්ල්” නමින් ජර්මන් බසින් ලියනු ලැබූ වේදිකා නාට්‍යයේ සිංහල පර්වර්තනයයි.

මෙම කතාවට අනුව එය සිදුවන්නේ යුරෝපයේ කොකේෂියන් කදුකරය ආශ්‍රිතව ඇති ගෘසිනියාව නම් වූ රාජ්‍යයක ය. එහි යුව රජතුමාගේ බිරිඳ දරුවෙකු ලබන අතර ඔහු ‘මයිකල්’ ලෙස නම් තබයි. රාජ්‍ය පාලනයේ පවතින දුර්වලතා සහ දූෂණ ආදී විවිධ අක්‍රමිකතා හේතුවන් රාජ්‍යය තුළ කැරැල්ලක් ඇති වන අතර ඉන් යුව රජ මරණයට පත් වේ. ඉන් අනතුරුව සතුරන් විසින් රාජ පුරුෂයින් සහ යුව රජුගේ බිරිදත් දරුවාත් මරා දැමීමට උත්සාහා කරනු ලබයි. මේ නිසා මාළිගයේ සිටින සියල්ලෝම පලා යන්නට සැරසෙති. මාළිගයේ වූ එක් සේවිකාවක වන ගෲෂා ද ඇය විවාහ ගිවිසගෙන සිටින සයිමන් සෂාවා නම් සොල්දාදුවා සමග පළා යන්නට තීරණය කරයි. අධික තණ්හාවකින් පෙළෙන යුව රජතුමාගේ බිසව සිය වටිනා ආභරණ එක්රැස් කරගෙන තම එකම දරුවා මයිකල් දමා පළා යයි. ළදරු මයිකල් දකින ගෲෂාට ඔහු දමා යාමට සිත් නොදේ. මේ නිසා ඇය යන්නේ ළදරු මයිකල් ද රැගෙන ය.

නොයෙක් දුෂ්කරතා මැද ගෲෂා, මයිකල් ඇති දැඩි කරයි. කලක් ගත වූ පසු යුව රජ බිසව මයිකල් පිළිබඳව සොයා බලන්නේ රාජ්‍යත්වයේ සියලුම දේපළ ලබා ගන්නට නම් මයිකල් තමන් සතුව සිටිය යුතු බැවිනි. තමන් මහත් දුෂ්කර කාලයක් ගෙවා ඇති දැඩි කරනු ලැබූ මයිකල්ව යුව රජ බිසවට ආපසු දීමට ගෲෂා එකඟ නොවේ. අවසානයේ මෙම ප්‍රශ්නය විනිසුරුවරයා දක්වා රැගෙන යයි. අසඩක් නම් වූ විනිසුරුතුමා නඩු විභාගයක් තබමින් මයිකල්ගේ භාරකාරත්වය ලබා දිය යුත්තේ කාටදැයි තීරණය කරයි. ඔහු හුණු වලින් සලකුණු කරන ලද වෘත්තයක් තුළ දරුවා තබා දෙපසට අදින ලෙස කාන්තාවන් දෙදෙනාට අණ කරයි. ඒ, දරුවා වැරෙන ඇද තමා වෙතට ගන්නා කාන්තාව සොයනු පිණිස ය. කාන්තාවන් දෙදෙනා දරුවාගේ අත්වලින් දෙපසට අදින්නට පටන් ගනී. එසේ අදින විට ඔහු වේදනාවට පත් වී හඩනු බලා සිටිය නොහැකි ගෲෂා දරුවාගේ අත අතහැර දමයි. දරුවාට සැබැවින්ම ආදරය දක්වන්නේ ගෲෂා බව අසඩක් තීරණය කරයි. හුණු වටයේ කතාව අවසන් වේ.

අග්‍රාමාත්‍ය වරයා විසින් සඳහන් කරණු ලැබූ වැල් පාලමේ කතාව මෙහි දර්ශනගත වන්නේ රාජ්‍යත්වයට විරුද්ධ කැරැල්ලෙන් සතුරන් ජය ගත් පසු ගෲෂා දරුවා රුගෙන පලා යන මොහොතේ දී ය. සතුරන් විසින් මරා දමන්නට සොයන බිළිඳු කුමරු සිය ඇකයේ වූ රෙදි පොට්ටනි මත සගවාගෙන, දරුණු කුණාටු සුළගක් මධ්‍යයේ එහා මෙහා පැද්දෙන දිරා ගිය වැල් පාලමක් මතින් එහා ඉවුරට ගමන් කිරීමට ගෲෂාට සිදු වේ. අග්‍රාමාත්‍ය වරයා පවසන අන්දමට ඔහුට ද ගෲෂාට මෙන් දුෂ්කරතා රැසක් මැදින් ශ්‍රී ලංකාව එහා ඉවුරට රැගෙන යාමේ භාරදූර වගකීම භාර වී තිබේ. එදා ගෘෂාට නොතිබූ අපහසුතා රැසක් ගැන ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි. එනම් තමන්ට වැල් පාලමක් වෙනුවෙට තුනී වීදුරුවලින් සෑදූ පටු පාලමක් මතින්, යකඩ උල් සවිකරන ලද බර සපත්තු පැළද ගමන් කිරීමට සිදු වී ඇති බව ද ඔහු පවසයි. කෙසේ හෝ ගෲෂාට මයිකල්ව සුරැකි ලෙස එතෙර කරන්නට හැකියාව ලැබුණාක් මෙන් ශ්‍රී ලංකාවද සුරැකිව මෙකී දුෂ්කරතා මතින් එතෙර කිරීමට නව අග්‍රාමාත්‍යවරයාට හැකියාව ලැබෙනු ඇතැයි සියලුම රට වැසියන්ගේ අපේක්ෂාවෙන් ලබා සිටිති.ඔහුට මෙම අති දුෂ්කර අභියෝගය ජය ගෙන රටේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට හැකිවේවායි අපි දු පතමු .

දුලාංජලී මුතුවාඩිගේ

අරුමැසි පුවත්