අගහිඟකම් පිරි පවුලක ඉපිද ජීවිතය ජයගත් බ්‍රිතාන්‍යයේ නව අගමැති ස්ටාමර්

එක්සත් රාජධානියේ මහා මැතිවරණය පසුගිය 4 වැනි දින පැවැත්වුණු අතර වසර 14 ක කාලයක් එරට බලය හෙබ වූ කන්සර්වේටිව් පක්‍ෂය පරාජයට පත් කරමින් වාමාංශික නැඹුරුවක් සහිත කම්කරු පක්‍ෂය විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කරගත්තේය. ඒ අනුව, පසුගිය කාලයේ එරට අගමැති ධුරය දැරූ කන්සර්වේටිව් පක්‍ෂ නායක රිෂි සුනක්ට සිය ධුරයෙන් සමු ගැනීමට සිදු විය. එක්සත් රාජධානියේ නව අගමැතිවරයා ලෙස පත් වූයේ කම්කරු පක්‍ෂයේ නායකයා වන ශ්‍රීමත් කෙයර් ස්ටාමර් ය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ස්ටාමර් බකිංහැම් මාලිගයට ගොස් චාල්ස් රජු බැහැදුටුවේය. ආණ්ඩුවක් පිහිටුවන මෙන් එහි දී චාල්ස් රජු, එරට සම්ප්‍රදායට අනුව, ස්ටාමර්ට ඇරයුම් කළේය.

මේ වනවිට 62 වැනි වියෙහි පසුවන ස්ටාමර් කම්කරු පක්‍ෂයේ නායකත්වයට පත් වූයේ 2020 වසරේ යි.

ස්ටාමර් චාල්ස් රජු බැහැදැකීමට පෙර හිටපු අගමැති සුනක් ද රජු බැහැදැකීමට ගිය අතර එහි දී ඔහු තමාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් රජුට දැනුම් දුන්නේය.

ස්ටාමර් චාල්ස් රජු බැහැදුටු අවස්ථාව

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත වේ. ඒ, සාමි මන්ත්‍රී මණ්ඩලය (ඉහළ මන්ත්‍රී මණ්ඩලය) සහ මහජන මන්ත්‍රී මණ්ඩලය (පහළ මන්ත්‍රී මණ්ඩලය) යනුවෙනි. මහා මැතිවරණ පැවැත්වෙන්නේ මහජන මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට යි. මෙම මන්ත්‍රී මණ්ඩලය ආසන 650 කින් සමන්විත වන්නකි. යම් පක්‍ෂයක් තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 326 කට වඩා දිනාගත යුතුය. කම්කරු පක්‍ෂය මෙවර මැතිවරණයේ දී ආසන 412 ක් දිනාගන්නට සමත් වූයේය. බලයේ සිටි කන්සර්වේටිව් පක්‍ෂයට හිමි වූයේ ආසන 121 ක් පමණි. 2019 වසරේ පැවැති මැතිවරණයේ දී කන්සර්වේටිව් පක්‍ෂය ආසන 365 ක් දිනාගන්නට සමත් විය. එකල එම පක්‍ෂයේ නායකත්වය දැරුවේ බොරිස් ජොන්සන් ය. එම මැතිවරණයේ දී, එකල ජෙරමි කෝබින් නායකත්වය දැරූ කම්කරු පක්‍ෂය දිනා ගත්තේ ආසන 202 ක් පමණි. මෙවර ඔවුන් ඊට වඩා ආසන 210 ක් දිනාගෙන තිබීම විශේෂත්වයකි.

ස්ටාමර් සහ බිරිඳ වික්ටෝරියා

වසර 14 ක් එක්සත් රාජධානිය පාලනය කළ කන්සර්වේටිව් පක්‍ෂය ජනප්‍රියත්වයෙන් පහතට වැටීමට බල පෑ ප්‍රධාන හේතුවක් වූයේ ජනතාව මුහුණ දුන් ආර්ථික දුෂ්කරතා යි. ජීවන වියදම ඉහළ යාම, සෞඛ්‍ය, ප්‍රවාහන වැනි රජයේ සේවාවන් බිඳ වැටීම වැනි කාරණා නිසා ජනතාව බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙමින් සිටියෝය. බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම (බ්‍රෙක්සිට්) නිසා ඇති වූ ගැටලුවලින් ද රට පීඩා විඳිමින් සිටියේය.

ස්ටාමර් ගේ කම්කරු පක්‍ෂය ජනතාවගෙන් බලය ඉල්ලුවේ රටේ දේශපාලන සහ ආර්ථික ස්ථාවර බව ඇති කරන බවට පොරොන්දු වෙමිනි.

හිටපු අගමැති රිෂි සුනක් එරට ඉතිහාසය තුළ විශේෂ වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේය. එක්සත් රාජධානියේ අගමැති ධුරයට පත් පළමු බි්‍රතාන්‍ය ආසියානුවා ඔහු වන අතර සුනක් ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෙකි. ඔහුගේ සීයලා ආච්චිලා බි්‍රතාන්‍ය පාලන සමයේ ඉන්දියාවේ උපන් අය වූහ. සුනක්ගේ බිරිඳ වන අක්‍ෂතා මූර්ති ඉන්දියාවේ බිලියනපති ව්‍යාපාරිකයකු වන නාරායන මූර්තිගේ දියණිය යි. රිෂි සහ අක්‍ෂතා ඉතා ධනවත් යුවළක වන අතර ඔවුන්ගේ වත්කම චාල්ස් රජුගේ වත්කමටත් වඩා වැඩි බව පසුගිය දිනවල වාර්තා විය.

සුනක් සිය සමුගැනීමේ කතාව පවත්වමින්

ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ජනතාව අමතා කතාවක් කරමින් සුනක් බ්‍රිතාන්‍යය යනු ඉතා අපූරු රටක් බව පැවසුවේය. තම සීයා සහ ආච්චි ඉතා සාමාන්‍ය පුද්ගලයන් ලෙස බි්‍රතාන්‍යයට පැමිණ පරම්පරා දෙකකට පසු තමාට එරට අගමැති ධුරයට පත් වීමට ලැබීම ගැන එහි දී ඔහු පෙන්වා දුන්නේය. ඩවුනින් වීදියේ අගමැති නිල නිවසේ පඩිපේලිය මත තම දියණියන් දීපවාලි උත්සවය වෙනුවෙන් පහන් දල්වනු තමා බලා සිටි ආකාරය ගැන ද ඔහු සඳහන් කළේය. කවදත් බි්‍රතාන්‍යය තුළ පවතින කරුණාවන්ත බව, විනීත බව සහ අනෙකා ඉවසීමේ ගුණය ගැන ද සුනක් සිහිපත් කළේය.

අගමැති ධුරයට අභිනවයෙන් පත් වූ කෙයර් ස්ටාමර් අගැයීමටත්, ඔහුට සුබ පැතීමටත් සුනක් සිය කතාවේ දී අමතක නොකළේය.

කෙයර් ස්ටාමර් දුෂ්කර ළමා වියක් ගත කළ කෙනෙකු බව සඳහන් වේ. ඔහුගේ මව්පියෝ එතරම් පොහොසක් අය නොවූහ. සමහර මාසවල මාසික බිල්පත් ගෙවීමට පවා සිය මව්පියන්ට අපහසු වූ බව ඔහු පවසා තිබිණි. දුරකතන බිල් ගෙවීමට නොහැකි වීම නිසා මාස ගණන් දුරකතනය විසන්ධි කර තිබූ ආකාරය ගැන ඔහු වරක් මාධ්‍ය සමග පැවැති සාකච්ඡාවක දී සඳහන් කළේය.

අගමැති නිල නිවසින් ඉවත්ව යන සුනක් සහ බිරිඳ අක්‍ෂතා

ඔහුට සහෝදර සහෝදරියෝ තිදෙනෙක් සිටිති. කෙසේ නමුත් එම පවුලෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට සමත් වූ පළමුවැන්නා ස්ටාමර් ය. ඔහු එහි දී හැදෑරුවේ නීතිය යි.

ස්ටාමර් පාපන්දු ක්‍රීඩාවටත්, සංගීතයටත් දැඩි ඇල්මක් දක්වන්නකු බව ද, දක්‍ෂ වයලීන වාදකයකු බව ද සඳහන් වේ.

ඔහු නීති ක්‍ෂේත්‍රයේ ඉතා ඉහළ තනතුරු රැසක් දරා තිබේ. ස්ටාමර් 2014 වසරේ නයිට් නාමයකින් පිදුම් ලැබුවේ ද නීති ක්‍ෂේත්‍රය තුළ ඉටු කරන ලද මෙහෙවර නිසා ය.

ඔහු පළමු වරට මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසුණේ 2015 වසරේ යි. දේශපාලන පිටියේ ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වූ රිෂි සුනක් මන්ත්‍රීවරයකු වූයේ ද එම වසරේම ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර