“අග්බෝට කන්න කුඹුර දන් දුන්නට පස්සේ හිතටත් ගතටත් අමුතුම සනීපයක් දැනෙනවා” ගාමිණී සුදර්ශන ගොවි මහතා

ගල්ගමුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සැරිසරමින් සිටි අග්බෝ නමැති සද්දන්ත ඇත් රාජයා මිනිසුන් විසින් කරන ලද නොමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තුවාල ලබා සිටින බවත්, ඉන්පසු අනුරාධපුර තිරප්පනේ අග්බෝ රඳවා ගෙන පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන නිසා දැන් බොහෝ සෙයින් ඔහු සුව අතට හැරෙමින් සිටින බවත් මාධ්‍ය මගින් දැකගත හැකි විය. අග්බෝගේ අසනීප තත්වය විවිධ විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් නිරන්තරයෙන් සොයා බලන්නටත්, කතා බහ කරන්නටත් වූ පසු බොහෝ දෙනකුගේ අනුකම්පාව සහ අවධානය අග්බෝ වෙත යොමු වී තිබේ.

අපේ රටේ වන අලි ඇතුන් පිළිබඳව වඩාත් ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශ අතරට ගල්ගමුවට ප්‍රධාන තැනක් හිමි වෙයි. මීට වසර කිහිපයකට ඉහත දී මිනිසුන් නිසාම තම දිවියට අවාසනාවන්ත ලෙස නොකල්හි සමු දුන් දළ පූට්ටුවා සහ සියඹලන්ගමුවේ ඇතා වාසය කළේ ද ගල්ගමුව ප්‍රදේශය ආශ්‍රිතව ය. මෙම ඇතුන් දෙදෙනා වැනිම සද්දන්තයකු වූ අග්බෝ ද අඩි දහයක පමණ උස පිරිපුන් සිරුරකට හිමිකම් කියන මංගල සම්මත ළකුණු සහිත හස්තියෙකි.

අප මාධ්‍ය මගින් දකින්නේ වන අලි ඇතුන් ගම් වැද මිනිසුන්ගේ බව බෝග වලට සහ ඇතැම් අවස්ථාවල දී මිනිස් ජීවිතවලට ද හානි කරන පුවත් පිළිබඳව ය. මිනිසුන්ට තමන්ගේ මුඛයෙන් ආහාර ගැනීමට සහ කතා කිරීමට ද හැකියාව තිබෙන මුත්, තිරිසන් සතුන්ට මුඛයෙන් ආහාර ගැනීම මිස එලෙස තමන්ගේ වුවමනා එපාකම් වචනවලට පෙරළීමේ හැකියාවක් නොමැත. ඔවුන්ට ඔවුන්ගේ භාෂාවෙන් හඬ නැගිය හැකි මුත් මිනිසුන්ට ඒවා නො තේරෙයි. ඇතැම් විට තේරුණත්, නොතේරුණු අයුරින් හිඳීම බොහෝ මිනිසුන්ගේ ස්වභාවයයි.
අලින් ගම් වැදුණා නොව මිනිසුන් වල් වැදුණු බව අවබෝධ ගන්නට ඇතැම් මිනිසුන් කැමති නැත. එම අසරණ සතුන්ගේ බිම් අයිති කර ගනිමින් තමන්ගේ වාසස්ථාන තනා ගෙන, ඉන්පසු අලින් ගම් වැදී තමන්ට හිරිහැර කරන බවට චෝදනා කිරීමෙහි ඇති සාධාරණ අසාධාරණ බව තම තමන් ම තීරණය කිරීම වඩා සුදුසු වෙයි.

කෙසේ වුවද අප මේ කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ. ගල්ගමුවේ ජීවත් වෙන අහිංසක වැසියන් තුළ අලි ඇතුන් කෙරෙහි පවතින බැඳීම පිළිබඳ තවන් එක් සාක්ෂියක් ගෙන හැර පෑමට පමණි. අලි මිනිස් ගැටුමක් පිළිබඳව සමාජයේ බොහෝ දෙනෙක් කතා කරති. නමුත් සැබෑව නම් එවැනි ගැටුමක් නැත. ගැටුමක් ඇති වුවහොත් ඒ මිනිසුන් විසින් ම ඇති කරගන්නා හේතූන්වල ඊළඟ ප්‍රතිඵලයයි. අප මෙසේ පවසන්නේ අලි ඇතුන් සමග සහයෝගයෙන් වාසය කරන ගල්ගමුව ප්‍රදේශයේ ගැමි ජනතාවගේ ම අත්දැකීම් මගිනි.

ගල්ගමුව, මීගලෑව, ගනන්ගමුව, බී 9 ඇල ගම්මානයෙහි වාසය කරන ගාමිණී සුදර්ශන මහතා ගොවිතැන් කටයුතු සිය ජීවිකාව කරගත් අයෙකි. පිළියන්දල කැස්බෑවේ පර්චස් 7ක ඉඩමකට හිමිකම් කී ඔහු එය විකුණා බී 9 ගම්මානයෙන් කුඹුරු අක්කර දෙකහමාරක් සහ ඊට යාබදව තිබුණු අක්කර භාගයක ඉඩම මිලදී ගෙන සිය බිරිඳ සහ දරුවා ද සමඟ පදිංචියට පැමිණ තිබෙන්නේ මීට වසර ගණනාවකට ඉහතදී ය. ඒ, හේන්,කුඹුරු ගොවිතැන් කිරීමට තිබූ කැමැත්ත නිසා ම ය. ගොඩ මඩ දෙකම වගා කරමින් ඉතාමත් දක්ෂ ගොවියෙකු ලෙස ඔහු සාර්ථක ජීවිතයක් ගත කරමින් සිටියේය. නමුත් අවාසනාවකට වසර කීපයකට ඉහත දී ඔහු රෝගාතුර වී සැත්කම් හතරකට මුහුණ දෙන්නට සිදුවීම මත ගොවිතැන් කටයුතු සඳහා වෙහෙසීමේ අපහසුතාවයක් පැන නැගී තිබිණි. ඉන්පසු සුදර්ශන මහතා කුඹුරු අස්වැද්දීම කළේ ගමේම සිටි කුලී ශ්‍රමිකයන්ගේ උපකාරයෙනි. කය වෙහෙසා වැඩ කිරීමට නොහැකි සුදර්ශන දැන් ගොවිතැන් කටයුතු වලට කම්කරුවන්ගේ සහය ලබා ගනිමින් තමන්ගේ ශක්තියෙන් කරන එකම දෙය වන්නේ කිරි හරකුන් දෙදෙනකු ඇතිදැඩි කරගෙන ඔවුන්ගේ කිරි දොවා විකිණීම පමණි.

” අලි ඇත්තු කියන්නේ නරක සත්තු ජාතියක් නෙවෙයි. ඔවුන්ට හොඳ මතකයක් තියෙනවා. ඒ වගේම කෙළෙහි ගුණයත් හොඳට තියෙනවා. ඒ සත්තුන්ව වරද්දා ගන්නෙ මිනිස්සුමයි. සමහර මිනිස්සුන්ගෙ අත්වලට තුවක්කු හම්බ වෙලා.සමහරු ඒවයින් වෙඩි තියනවා. ගල් වෙඩි දානව. ඒ විතරක් නෙවෙයි. ගෝනි කෑලි කම්බිවල ඔතලා බෝල වගේ හදලා ඒවා භූමි තෙල්වලින් පොඟවලා අලින්ගෙ ඇඟවල්වලට වීසි කරනවා. මේවයින් ඒ සත්තුන්ව පිච්චෙනවා. ඊට පස්සේ එක්කෝ ඒ සත්තු දුවනවා එහෙම නැත්තම් කේන්තියට නොයෙකුත් හානි ඇති කරනවා”
සුදර්ශන මහතා පවසන අන්දමට අලි සාමාන්‍යයෙන් ගම් වදින්නේ හැන්දෑවේ හත අට වැනි කාලවල හෝ පාන්දරට ය. අලින් පැමිණ ඇති බව ගම්මුන් දැන ගන්නේ සුනඛයන්ගෙන් නොනවත්වා නැගෙන බිරුම් ශබ්දය අනුව ය. ඒ වෙලාවට මේ ගම්වල වැසියන් බොහෝ විට කරන්නේ ජනේලය හැර ” පුතේ අපිට හානියක් කරන් නැතුව පලයන්කෝ දැන් ඉතින්” වැනි කාරුණික වදනක් පැවසීම ය.එම ප්‍රදේශ වල වැසියන් මෙය හඳුන්වනුයේ “ගුණෙන් කීම”යනුවෙනි. සමහර අලින් එවැනි දෙයක් පවසන තුරු වත් නොසිට ආ සැනින් යන්නට යති. දිවා කලට වඩා රාත්‍රියේ ගමන් බිමන් යන මේ සතුන් එලෙස යන එන අතරතුර දී ගම්මුන් ගේ නිවෙස් අසලින් ගිය පළියට මිනිසුන්ට හෝ ඔවුන්ගේ දේපළවලට හානි කරන්නට පෙළඹෙන්නේ නැත. නමුත් මිනිසුන් ඔවුන්ට හිරිහැර කරන්නට ගියහොත් ඔවුන් ද පෙරළා කිනම් හෝ දේපළ හානියක්, කලාතුරකින් ජීවිත හානියක් වැනි දෙයක් කරන්නට පෙළඹීම පුදුමයක් නොවේ. වන සතුන් සමග විශේෂයෙන් අලි ඇතුන් සමග වාසය කළ යුත්තේ මිනිසුන් – මිනිසුන් සමග වාසය කරන ආකාරයට නොවේ. පළමුකොට ම ඔවුන් තිරිසන් සතුන් බව තේරුම් ගැනීමට ඊට වඩා උසස් මනසින් යුතු මිනිසුන්ට හැකියාව තිබිය යුතුය. එසේ නොවූ කල එතැන ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකිය.

අග්බෝ ද මෙලෙස කලින් කලට ගල්ගමුවට පැමිණ ගිය ඇත් රාජයෙකි. මෙවැනිම සද්දන්තයින් තවත් කිහිප දෙනෙකුම සිටින බව කී සුදර්ශන මහතා ඔවුන් නිරන්තරයෙන් ගම්වැදීම නොකරන බව ද කියා සිටියේය. එසේම දළපූට්ටුවා ගේ පැටවුන් යැයි සිතිය හැකි එවැනිම ඇත් පැටවුන් ද කිහිප දෙනෙකු සිටින බවද සුදර්ශන මහතා අප සමග සමඟ පැවසීය.

” ඇත්තටම මේ සද්දන්ත ඇතුන් වගේම අලින් ද අපේ රටට ලොකු සම්පතක්. නමුත් මේ සතුන් ආරක්ෂා කරන්න වගකිවයුත්තන්ගේ අවධානය යොමු වීම නම් හොඳටම මදි. ඔය අග්බෝට අසනීප වුණ බව ආරංචි වුණාම අපේ හිතේ ඇතිවුණේ ලොකු අනුකම්පාවක්. මේ අසරණ සත්තු වගාවන් වලට පැනලා පොඩ්ඩක් කාලා යනවා තමයි. නමුත් ඔවුන් ඒවාට හානි කරන්නේ නෑ. ඒක අපි හොඳින්ම දන්නවා. අපි ඔවුන්ට අනතුරක් කරන්නේ නෑ වගේම ඔවුන්ගෙනුත් අපටත් අනතුරක් නෑ. මේ දවස්වල අසනීප වෙලා ඉන්න ඔය සතාව බලන්න තිරප්පනේ යන්න මට පුළුවන් කමක් නෑ. නමුත් වන ජීවී එකේ මහත්තුරු අපේ ගමේ ඇවිදලා මේ සතාට කන්න දේවල් දෙන්න පුළුවන්ද කියලා ගෙයින් ගෙට ගෙන් ඇවිල්ලා ඇහුවා. ඒ සතාට දවසකට කෑම කිලෝ 350ක් විතර වුවමනා ලු. ඇත්තටම මට දෙන්න දෙයක් තිබුණේ නෑ. මොකද මගේ මේ අසනීපයත් එක්ක අපි බොහොම කරදර ගොඩකට තමයි වැටිලා ඉන්නේ. නමුත් අලි ඇත්තු කියන්නේ අපට නෑදෑයෝ වගේ. සමහර වෙලාවට උන් අපේ දරුවෝ වගේ. සමහර දරුවන්ට වඩා මේ අලි ඇත්තු අපට කීකරුයි. මේ පාර නියඟය ආපු නිසා මගේ කුඹුරුවල කිරි වැදීම බාල වුණා. ඒ නිසා වෙනදට වඩා මෙදා පාර අස්වැන්න බොහොම අඩුයි.එහෙනම් ඒ අස්වැන්න ටිකත් මේ අසරණ සතාටම පරිත්‍යාග කරන්නම් කියලා හිතපු මම වනජීවි මහත්තුරුන්ට කිව්වා ” මගෙ කුඹුරෙන් ගොයම් ගස් පිටින්ම කපාගෙන යන්න කියලා. ” සතා ගොයම් කනවා නම් ඉතුරු ඒවත් කපාගෙන යන්න, ඒකට කමක් නෑ” කියලා මම ඒ මහත්තුරුන්ට අවසරය දුන්නා. ඇත්තටම අග්බෝ මුලින් කපා ගෙන ගිය ගොයම් ගස් කාලා තිබුණා. ඊට පස්සේ ඉතුරු ටිකත් වනජීවී මහත්තුරු මගේ අනුදැනුම ඇතිව කපාගෙන ගියා. මට බොහොම සතුටුයි. අසනීපයෙන් ඉන්න දරුවෙකුට කන්න දුන්නා වගේ හැඟීමක් දැනුණේ.කිව්වම මොකද?ඒ වැඩෙන් පස්සේ මගේ ඇඟටත් හිතටත් අමුතුම සනීපයක් දැනෙනවා”සුදර්ශන මහතා පැවසුවේ බොහෝ තෘප්තිමත් හඬිනි. එතෙකින් නොනැවතුණු ඔහු ගුණරත්න බණ්ඩා නැමැති ඔහුගේ තවත් අසල්වැසියකුටත් මේ පුවත පැවසූ පසු ගුණරත්න බණ්ඩා මහතා ද තම කුඹුරේ අස්වැන්න අග්බෝට ලබාදීම සඳහා කටයුතු කර තිබිණි.

මේ ගැමියන් කිසිවකුත් ධනවතුන් නොවේ.ගොවිතැනින් ඉතා අසීරු ලෙස ජීවිකාව ගෙන යන්නෝ වෙති. ධනවත්කම නොතිබුණාට ගුණවත්කම අතින් ඔවුන් බොහෝ පොහොසත් ය. තමන්ගේ ම අසල්වැසියන් ලෙස ලෙන්ගතු සිතින්, වන අලි ඇතුන් දෙස බලන ඔවුන්ගේ සිත් හි නිරන්තරයෙන් නොවුණත් ඉඳහිට ගමට ඇවිත් ගිය අග්බෝ කෙරෙහි ද එම හිත මිතුරු බව එලෙසම පැවැතියේ ය. රෝගීව සිට සුවපත් වෙමින් හිඳින අග්බෝ ගේ කුසගිනි ඒ ආකාරයෙන් හෝ නිවා දමන්නට මේ අහිංසක ගැමියන් ඉදිරිපත් වූයේ එනිසා ය. “මේ ගල්ගමුව අවට හැම කෙනෙක්ම වන අලින්ට හතුරන්ට වගේ සළකනවා කියන්නේ අමූලික බොරුවක්.වන අලින් ගෙන් හානි සිද්ද වුණු වෙලාවට විතරක් යම් යම් වේදනාත්මක ප්‍රකාශ කළාට මෙහේ මිනිස්සුන්ගෙන් සීයට අනූවක්ම වන අලින්ට ආදරෙයි.මොකද තමන් ජීවත් වෙන වගා කටයුතු කරන මේ ගම් බිම් ඉස්සර මහා වනාන්තර බවත් ඒවායේ පරම හිමි කාරයෝ මේ වන අලි ඇතුන් බවත් මේවායේ හුඟ දෙනෙක් තේරුම් අරන් තියෙන්නේ.ඒ හින්දා මෙහේ ගැමියන් තමන්ගේ වත්තට එන වන අලින්ට ආමන්ත්‍රණය කරන්නෙ මගේ පුතා දරුවෝ වගේ ආදරණීය වචන වලින් .ඔය අතරේ සමහරු වන අලින්ට ලොකු රාළහාමි ලොකු මහත්තයා කියලත් ඇතින්නියන්ට ලොකු හාමිනේ ලොකු නෝනා කියලත් කතා කරන බවත් අපි දන්නවා”අප හා එසේ පවසා සිටියේ ගල්ගමුවේ වන අලි සම්පත පිළිබඳව කතා කරද්දී එක් වරම සිහියට නැඟෙන සියඹලංගමුව ග්‍රාමයේ යාය 4 ශ්‍රී බෝධි රාජාරාමාධිපති පූජ්‍ය පානදුරේ දීපානන්ද හිමිපාණන් ය.ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කළ උන් වහන්සේ මෙසේ ද කීහ.”දැන් බලන්න ඔය අසනීපෙන් ඉන්න ඇතාට කියන නම.අග්බෝ.මොකක්ද ඒ නමේ තේරුම.පාලියෙන් අග්ග බෝධි කියන්නෙ උතුම් වූ බෝධිය කියන එක. සංස්කෘත වලින් ගත්තොත් අග්‍ර බෝධි කියනවා.ඒ වගේම අපේ රාජ වංශයේ අග්බෝ නමින් හැඳින්වුණු දැහැමි රජ වරු නව දෙනෙක්ම ඉඳලා තියනවා.ඔය වන අලි ඇතුන්ට ගම්මු ආදරේ නැත්නම් එහෙම්න උතුම් දායිද?”එසේ කී දීපානන්ද හිමියෝ ඉන් අනතුරුව මෙසේ ද පැවසීය.”ඔය අගබෝ ඇතා අසාධ්‍ය තත්වෙන් ඉන්නවා කියලා දැන ගත්තම මටත් ලොකු හිත් වේදනාවක් දැනුණා.මොකද? ඔය සතා කීප සැරයක්ම මේ පන්සල් වත්තටත් ඇවිත් තියනවා.ඒත් පන්සල් වත්තේ එක තුත්තිරි ගහකට වත් හානියක් කරලා නැහැ.ඒතකොට අපිත් මොකද මේ ලොකු මහත්තය හිටපු ගමන් පන්සල මතක් වුණේ අපෙන් මොනවද කෙරෙන්න ඕනෙ කියලා ඇහුවම හිතේ තියන දේ කියා ගන්න බැරුව වගේ ටික වෙලාවක් කන් දෙකත් හොලව හොලවා පන්සල දිහා බලාගෙන ඉඳලා ආපහු යනවා.

ඉතින් එහෙම සතෙක් වෙනුවෙන් මේ පැත්තෙ සත් පුරුෂ ගොවි මහත්වරු ඔය වගේ පරිත්‍යාගයක් කරන එක පුදුමයක් නෙවෙයි”එසේ පැවසූ දීපානන්ද හිමියෝ අවසානයේ මෙසේ ද කීය.”:වන අලි ඇතුන් ගැන ගල්ගමුවේ මිනිස්සුන්ගේ තියන කරුණා මෛත්‍රිය ස්ථූපයක් නම් දැන් ඒකට කොතකුත් පළඳවලා තියනවා.ඒ තමයි ගල්ගමුවෙ පූලංචිය වැවට මායිම් ව සියඹලංගමුවේ ඇතා ගෙයි දළ පූට්ටුවගෙයි සජීවී ප්‍රමාණයේ මූර්ති දෙකක් තියන අපේ රටේ මුල්ම සත්ව අහිංසා සමාරකය.ඒක මේ ගල්ගමුවේ ජනතාවගේ සත්ව කරුණාවට කළ ගුණ සැලකීමක් හැටියට දේවාශීර්වාදයකින් ලැබුණු සම්පතක් ද කියලත් හිතෙනවා”එසේ පැවසූ දීපානන්ද හිමියන් අවසන් වශයෙන් පවසා සිටියේ පානදුරාවාදය ඇතුළු බෞද්ධ සමාජයේ පුනර්ජීවනයට තුඩු දුන් කරුණු මුල් කොට තමන් වහන්සේ මෙලොවට බිහි වූ පානදුර නගරය පුනර්ජීවනයේ නගරය ලෙස හැඳින්වෙන්නාක් මෙන් තමන් වහන්සේ දැනට වැඩ සිටින ගල්ගමුව “අහිංසාවේ පුරවරය” ලෙස නම් කළ යුතු බවට මේ වන විටත් පැන නැඟී ඇති සමාජ කතිකාව ඉක්මනින් ඉෂ්ඨ සිද්ධ වනු දැකීම තමන් වහන්සේ ගේ ප්‍රධාන අභිලාශයක් බව ය. ඒ අනුව ගල්ගමුව නුදුරේ දීම ජනතා අභිලාෂය මත “අහිංසාවේ පුරවරය” ලෙස නම් කෙරේවා! ය යන්න අප ගේ ද පැතුම ය.

(මීගලෑව,ගනන්ගමුවේ ඒ.එම් ප්‍රභාත් දමින්ද අබේකෝන් මහතාට අප ගේ ස්තුතිය)

ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර