ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි හා සිමෙන්ති වෙනුවෙන් පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඉකුත් බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඇමති මණ්ඩලය මෙම තීන්දුව ගෙන තිබුණි.
පාරිභෝගික අධිකාරි පනත අනුව ගෑස්, කිරි පිටි, තිරිඟු පිටි හා සිමෙන්ති යනු අත්‍යවශ්‍ය භාණ්ඩයන්ය. එම භාණ්ඩ මිල ඉහළ දැමීමට පෙර ඒ සදහා පාරිභෝගික සේවා අධිකාරියෙන් අවසර ලබාගත යුතුමය. එවැනි අවසරයකින් තොරව මෙම භාණ්ඩ මිල වැඩි කිරීමට අදාළ සමාගම් වෙත අවසර නැත.
පෙර පැවැති මිල පාලන දෙපාර්තමේන්තුව අහෝසිකොට පාරිභෝගික සේවා ආරක්ෂණ පනත ගෙනවිත් පාරිභෝගික අධිකාරිය පිහිටුවනු ලැබූවේ 2003 වර්ෂයේදී ය.
ඒ අනුව පාරිභෝගික අධිකාරියට ඕනෑම භාණ්ඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කොට මිල පාලනය කළ හැකි ය. පාරිභෝගික අධිකාරිය විසින් මිල පාලනය කරන භාණ්ඩ ලැයිස්තුවේ ඉහළින්ම පැවැතියේ පාලන මිල ඉවත් කළ භාණ්ඩයන් ය.
ලෝක වෙළෙඳ පොලේ මිල ඉහළ යන අවස්ථාවන් හිදී අදාළ සමාගම් මිල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කළ පසු පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් අදාළ සමාගම්වල නිලධාරීන් හා සාකච්ඡා කොට දෙපාර්ශවය එකග වන මිලකින් මිල ඉහළ දැමීමට හෝ පහළ දැමීමට තීරණය කරනු ලබයි.
එම ක්‍රමය පසුගිය කාලය පුරාම නොවෙනස්ව පැවැති අතර මෙවර සමාගම් මිල වැඩි කිරීමට ඉල්ලා සිටි අවස්ථාවේදී අධිකාරිය ද යම් මිලක් නියම කර තිබුණත් රජය මැදිහත්වී මිල ඉහළ දැමීමට ඉඩ ලබා නොදුන්නේය. එම අර්බුදය දිගින් දිගටම වර්ධනය වී අවසානයේ ගෑස් සමාගම් හා කිරිපිටි සමාගම් සිය භාණ්ඩ අලෙවි කිරීම අවම කිරීම නිසා වෙළෙද පොල තුළ කිරි පිටි හා ගෑස් හිඟයක් මතුව තිබේ.
සිමෙන්ති මිල ද ඉහළ දැමීමට ඉකුත් සතියේ අවසර නොදීමත් සමග වෙළෙද පොළේ මේ වන විට සිමෙන්ති හිඟයක් ද හටගෙන ඇත. තිරිගු පිටි මිල මීට මාසයකට ඉහත දී ඉහළ දැමුණු අතර නැවතත් ඔවුන් මිල වැඩි කිරීමට ඉල්ලීම් කර තිබේ.
මේ සියළු කාරණා මධ්‍යයේ ඉකුත් බ්‍රහස්පතින්දා සිට ඉහත භාණ්ඩ වර්ග හතර අලෙවි කිරිම වෙනුවෙන් සමාගම්වලට මිල තීරණය කළ හැකි ය. පාරිභෝගික අධිකාරියේ අත්තටු සිඳ තිබේ.
කිරි පිටි සමාගම් දැන්ම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනිමින් සිටිති.
එ අනුව කිලෝ ග්‍රෑම් එකක කිරි පිටි පැකැට්ටුවක් රුපියල් 1300 දක්වාද, ග්‍රෑම් 400 ක පැකැට්ටුවක් රුපියල් 520 ක් දක්වාද මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමයේ සමාජික ලක්ෂ්මන් වීරසූරිය පවසයි.
මීට පෙර කිරි පිටි කිලෝවක් සඳහා රුපියල් 350 ක මිල වැඩිවීමක් ඉල්ලා සිටිය ද පාරිභෝගික සේවා අධිකාරිය එකඟ වී තිබුණේ රුපියල් 200 ක මිල වැඩිවීමකට පමණකි. නමුත් කිරිපිටි ආනයනකරුවන්ට දැන් මිල තීරණය කිරීමේ බලය ආණ්ඩුව විසින්ම ලබාදී තිබේ.
ඒ අනුව ඔවුන් පිටි පැකැට්ටුවක මිල රුපියල් 1300 දක්වා ඉහළ දැමුවහොත් කිරි පිටි කිලෝවක මිල රුපියල් 355 කින් ඉහළ යනු ඇත. ග්රැම් 400 පැකැට්ටුවක මිල රුපියල් 140 කින් ඉහළ යනු ඇත.
මීට මාසයකට ඉහත දී ලාෆ් ගැස් සදහා රුපියල් 383 ක මිල වැඩිවීමක් පාරිභෝගික අධිකාරිය ලබාදුන්න ද ලිට්රෝ ගෑස් සමාගමට එම ගණනින් මිල ඉහළ දැමීමට රජය ඉඩ දුන්නේ නැත. මේ අතර ලාෆ් හා ලිට්රෝ සමාගම් පවසන්නේ රුපියල් 2800 දක්වා කිලෝග්රැම් 12.5 ක සිලින්ඩරයක මිල ඉහළ දැමීමට සිදුවන බව ය. එය රුපියල් 1000 ට වඩා වැඩි මිලකින් මිල ඉහළ යාමකි.
සමාගම් එම මිල වැඩිවීම් මුල සිටම ඉල්ලා තිබුණ ද පාරිභෝගික අධිකාරිය අවසර දී තිබුණේ රුපියල් 550 ක මිල වැඩිවීමකට පමණකි. එයට අනුමැතිය නොදුන් කැබිනට් මණ්ඩලය මිල පාලනය සම්පූර්ණයෙන්ම රජයෙන් ඉවත් කර දැමුවේය.
සිමෙන්ති වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය අවසර ලබාදී තිබුණේ රුපියල් 50 ක මිල වැඩිවීමකට පමණකි. එය ද රජය පසෙකට දැමීම නිසා සිමෙන්ති ආනයනකරුවන්ට ද තමන්ට හැකි ලෙස මිල තීන්දු කළ හැකිය. මේ සියළු කාරණා හමුවේ තිරිගු පිටි මිලද ඉහළ ගිය විට පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනයන්ගේ මිල ද ඉහළ යනු ඇත.
“සෞභාග්‍යයේ දැක්ම” දැන් එළිපිටම ජනතාව හමුවේ එළි දැක්වෙමින් තිබේ. රජය කිසිවක් නොවු පරිදි රට ඉදිරියට ගෙනයාමට උත්සාහ කරමින් සිටියි. මිල පාලනයෙන් ඉවත් වූ රජය කියා සිටින්නේ එම භාණ්ඩ මිල “අනවශ්‍ය ලෙස” ඉහළයාමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බවකි.
මිල ඉහළ යාමට පෙර පාරිභෝගික සේවා අධිකාරිය සමග සමාගම් සාකච්ඡා කරනු ඇති බව ද පාරිභෝගික ආරක්ෂණ ඇමති ලසන්ත අලගියවන්න පවසයි. එවන් පදනම් විරහිත කතා ජනතාව හඳුන්වන්නේ “බයිලා” නමිනි.
එබැවින් එබඳු කතා කීමට වඩා නොකියා සිටීම හොඳය. දැන් ඉතින් අපි අත්තටු කැපූ පාරිභෝගික අධිකාරී කුරුල්ලා යළි ඉගිලෙන තුරු බලා හිඳිමුද?
ලසන්ත වීරකුලසූරිය