අපි අද කතා කරන්නේ අනුරාධපුරයේ පැරණි රජ දවස තැනූ පැරණි ගල් පාලම් කීපයක් ගැනයි. අද මේ බොහොමයක් ඒවායේ තිබෙන්නේ නටබුන් පමණයි. මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලබනවා.
අනුරාධපුර මල්වතු ඔය ගල් පාලම :
අපේ රටේ ප්‍රථම අගනුවර අනුරාධපුරය. ඉතාමත් පොහොසත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අනුරාධපුරයේ එකල යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, දකුණු රාජධානිය ඇතුළු රටේ විවිධ ප්‍රදේශවලට සම්බන්ධ වූ ඉතා දියුණු මාර්ග පද්ධතියක් තිබුණු බව සඳහන්. මේ මාර්ග පද්ධතියේ එක් අංගයක් තමයි විශාල පාලම්.
මේ කතා කරන්නේ පෙරියන්කුලමට යන මාර්ගයේ පිහිටි ගල් පාලම ගැනයි. සංඝමිත්තා මාවතේ සිට කි. මී. 3 – 4 ක් පමණ ගමන් කරන විට මේ පාලම හමුවෙනවා. මෙය කුට්ටම් පොකුණට ඉතාමත් ආසන්නයි. සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය වැඩමවාගෙන එන ගමනේදී මේ ගල් පාලමෙන් එගොඩ වූ බව සඳහන් වෙනවා.
මල්වතු ඔයට උඩින් පිහිටි මෙම ගල් පාලම අනුරාධපුරයේ සිට පිටත ප්‍රදේශවල ගමනාගමන කටයුතු සඳහා එම යුගයේදී ඉදි කළ ඉතාමත් වැදගත් වූ පාලමක්. මල්වතු ඔයේ පිටාර මට්ටම ගැන සැලකිලිමත් වෙමින්, ජලධාරිතාවේ වේගය සහ ශක්තිය පිළිබඳව අධ්‍යයනය කර 5 සහ 6 සියවස්වලදී දියුණු වාස්තු සහ ඉංජිනේරු ශිල්පීය ක්‍රම භාවිතා කොට මෙය ඉදිකර තිබෙනවා.
දැනට මෙම පාලමේ හරි අඩක් පමණ විනාශ වී ගොස් තිබුණත් මෙහි මුළු දිග අඩි 80ක්, 90 ක් පමණ වන්නට ඇති බව අනුමාන කරනවා. මෙහි පළල අඩි 15 ක් පමණ වෙනවා. අඩි 3 ක් පමණ උස් වූ අඩියක් පමණ පළල ඇති කළුගල් කණු 3 ක් බැගින් සිටුවා ඒ උඩින් පැතලි ගල් කුට්ටි දමා මේ පාලම ඉදිකර තිබෙන්නේ . ටොන් 20ක්, 30 ක් පමණ බර ගල් කුට්ටි මේ පාලම හදන්න භාවිතා කර තිබෙනවා.
මෙය අපේ පැරණි උරුමයක්. දැනට භාවිතයට ගත නොහැකි වුවත් මේවා අපේ අතීත උරුමයන් බැවින් සංරක්ෂණය කරනු ලබනවා. මෙම පාලම පෙනෙන මානයේ තමයි මල්වතු ඔය අලුත් පාලම ඉදිකර තිබෙන්නේ .
හාල් පානු ඇල ගල් පාලම :
මල්වතු ඔය ගල් පාලමට ආසන්නයේම අතීතයේ පැවති පැවති තවත් ගල් පාලමක් තමයි මෙය. මෙහිද දැන් තිබෙන්නේ නටබුන් පමණයි. හාල් පානු ඇල නම් ඇලක් හරහා වැටී තිබුණු මෙම ගල් පාලම මල්වතු ඔය ගල් පාලම තරම්ම විශාල නොවුවත් අඩි 40 ක් පමණ දිග, අඩි 9 ක් පමණ පළලින් යුතු වූවක්. මෙහි දැන් තිබෙන්නේ නටබුන් පමණයි.
මහකනදරාව වැව ගල් පාලම :
මිහින්තලය ආසන්නයේ තිබෙන මහා කනදරාව වැව මහසෙන් රජතුමා ( ක්‍රි.ව. 276 – 303) විසින් ඉදි කරන ලද්දක්. එම වැව ඉදි කරන ලද සමයේම මෙම පාලමත් ඉදි කර ඇති බවයි සඳහන් වන්නේ. මෙය අඩි 78 ක් දිගයි, පළල අඩි 8 1/2 ක් පමණ වෙනවා. අතීතයේ අනුරාධපුරයේ සිට උතුරු මාර්ගය මේ පාලම හරහා වැටී තිබෙන්නට ඇතැයි අනුමාන කරනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ අනුරාධපුර රාජධානි සමයේ ඉදිකළ ගල් පාලම් කිහිපයක අද ඉතිරිව තිබෙන්නේ බොහෝ විටම නෂ්ඨාවශේෂ පමණක් වූවත් ,මෙම ගල් පාලම තවමත් ඉදිකළ තත්ත්වයෙන්ම පැවතීමයි. ශක්තිමත් කළුගල් කණු මත ගල් පුවරු අතුරා මෙය නිර්මාණය කර තිබෙනවා. මෙයද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනට සංරක්ෂණය කෙරෙනවා.
හබගම ගල් පාලම :
හොරොව්පතාන පරංගියා වාඩිය, හබගම ගම්මානයෙන් හැබැයි ගල් පාලමක නටබුන් හමුවී තිබෙනවා. මෙය යාන් ඔය හරහා ඉදි කරන ලද ගල් පාලමක්. මේ වන විට එහි නටබුන් වී තිබෙන රළු ගල් කණු සහ පුවරු ගල් විශාල ප්‍රමාණයක් මෙම ගං ඉවුර පුරා විසිරී තිබෙනවා. පාලම නිර්මාණය කර තිබෙන කුළුණු මීටර් 2.5 -3ක් පමණ උසින් යුතුයි. සමහර කුළුණු තවමත් සිරස් අතට පිහිටා තිබෙන අතර ඒවා මැදින් කැඩී තිබෙනු දැක ගත හැකියි. මීටරයක දෙකක තරමේ පරතරයකින් මෙම පාලම සෑදීම සඳහා ගල්කණු සිටවා තිබෙන බව පෙනී යනවා.
අනුරාධපුර රාජධානි සමයේ එකල ගෝකන්න නමින් හැඳින්වූ ත්‍රිකුණාමලය දක්වා ප්‍රධාන මාර්ගයෙහි මේ පාලම තනා තිබෙන්නේ . එකල ගෝකන්න අපේ රටේ භාණ්ඩ ආනයනය සහ අපනයනය කරන ප්‍රධාන වරායක් වුණා. අනුරාධපුරයට සහ පිටත ප්‍රදේශවලට බඩු එහා මෙහා රැගෙන යාමේදී මේ මාර්ගය භාවිතා කළ බවට සැලකිය හැකි අතර මේ පාලම ඉදිකර තිබෙන්නේ එම ප්‍රවාහන පහසුකම් සඳහා බව පැහැදිලියි.
එසේම මේ ස්ථානයේ විශාල ගල් අමුණක් ද තිබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඓතිහාසික මූලාශ්‍රයක් දැනට හමුවී නැතත් ජනප්‍රවාදයෙහි එන ආකාරයට මෙම ස්ථානයේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි බ්‍රාහ්මණයාකන්ද ස්ථානයේ පිහිටි මකරයාවිල නම් විශාල පොකුණට ජලය සම්පාදනය කිරීමට මෙම අමුණ ඉදිකොට ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වුවද මෙවැනි අමුණක් තිබූ බවට ප්‍රධානම සාක්ෂිය වන්නේ මෙම ස්ථානයට තරමක් ඉහළින් යාන් ඔයේ වම් හා දකුණු ඉවුරුවල කපා තිබෙන පුරාණ ඇල මාර්ගවල නටබුන්.
මෙවැනි පෞරාණික වැදගත්කමෙන් යුතු ගල්පාලම් සහ ඒ ආශ්‍රිත නටබුන් රාශියක් අපට අනුරාධපුර ප්‍රදේශයේ විවිධ ස්ථානයන්හි දැක ගන්නට පුළුවන්.
ඡායාරූප අන්තර්ජාලයෙනි.
ඉන්දු පෙරේරා