පසුගිය උඳුවප් පුන් පොහොයත් සමඟ තවත් සිරි පා සමයක් ඇරඹී තිබේ. අප කවුරුත් දන්නා අන්දමට එය පුරා මාස හයක් මුළුල්ලේ එනම් ලබන වෙසක් පුන් පෝ දිනය තෙක් පවතිනු ඇත. වන්දනා ගමන යනු ලොව බොහෝ ආගම් වලට පොදු ඒ ඒ ආගමික සංස්කෘතික සංදර්භයන්ට අයත් චින්තන, සන්නිවේදන අංග ගැබ් වූ ආධ්‍යාත්මික
චර්යා දාමයකි.නො එසේ නම් තවත් එක් විනෝද චාරිකාවක් හෝ වෙනයම් ආකාරයක සංචාරයක් නොවේ. පුද්ගල, පවුල්, ප්‍රජා යන ඒකරාශීත්වයෙන් යුතුව තම ලෞකිකත්වයේ බර සැහැල්ලු කර ගැනීමේ ආධ්‍යාත්මික උපාය මාර්ගයක් වන වන්දනා ගමන හුදෙක් සංචාරයකට වඩා බෙහෙවින් ගැඹුරු සංස්කෘතික හා දාර්ශනික හරයන් සමුදායකින් යුතු වූවකි.
සියලු වන්දනා ගමන් අතුරින් අග්‍රස්ථානයට සිරි පා වන්දනාවට හිමිව ඇතැයි සිතීමට අප පොළඹවන කරුණු රාශියකි.ඒ සම්බන්ධ සුවිශේෂත්වය කොතෙක් ද යන්න එය අනෙක් කිසිදු වන්දනා ගමනක් නොහැඳින්වෙන වන්දනා ගමන යන වදන වෙනුවට “කරුණාව” යනුවෙන් යෙදීමෙන්ම මනාව පිළිබිඹු වේ. ත්‍රිපිටක මූලාශ්‍ර වල සඳහනක් නොමැති වුවද ලක් ඉතිහාසයේ මෙන්ම ජන සංස්කෘතික ධාරාවන් හි ද බුදුන් වහන්සේගේ වම් සිරි පා සටහන ශ්‍රී පාද කඳු මුදුනෙහි පිහිට වූ බව සඳහන් වේ. එනිසා එය ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ඒකායන පිළිගැනීමට ලක්ව ඇති බවක් පෙනේ.
බෞද්ධ හැරුණු කොට කිතුනු,හින්දු,ඉස්ලාම් යන ශ්‍රී ලාංකේය ජන සංස්කෘතීන් තුළ ද මෙම වන්දනා ගමන නම් සංසිද්ධිය එදා මෙදා තුර එලෙසින්ම දක්නට තිබේ. විශේෂයෙන් ශ්‍රී ලාංකේය බෞද්ධ සංස්කෘතිය තුළ වන්දනා ගමන් සමුදායක් දක්නට ලැබේ. ඒ සියලු වන්දනා ගමන් අතුරින් අග්‍රස්ථානයට සිරි පා වන්දනාවට හිමිව ඇතැයි සිතීමට අප පොළඹවන කරුණු රාශියකි.ඒ සම්බන්ධ සුවිශේෂත්වය කොතෙක් ද යන්න එය අනෙක් කිසිදු වන්දනා ගමනක් නොහැඳින්වෙන වන්දනා ගමන යන වදන වෙනුවට “කරුණාව” යනුවෙන් යෙදීමෙන්ම මනාව පිළිබිඹු වේ. ත්‍රිපිටක මූලාශ්‍ර වල සඳහනක් නොමැති වුවද ලක් ඉතිහාසයේ මෙන්ම ජන සංස්කෘතික ධාරාවන් හි ද බුදුන් වහන්සේගේ වම් සිරි පා සටහන ශ්‍රී පාද කඳු මුදුනෙහි පිහිට වූ බව සඳහන් වේ. එනිසා එය ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ඒකායන පිළිගැනීමට ලක්ව ඇති බවක් පෙනේ. එම කරුණ කෙසේ වුව ද මීට වසර දහස් ගණනකට පෙර සිට ක්‍රමිකව විකාශනය වෙමින් පවතින සිරි පා කරුණාවේ ඇති ආධ්‍යාත්මික, සංස්කෘතික, සදාචාරාත්මක,හා පාරිසරික සංවේදිතාව පිළිබඳ සමාජමය සාධනීය ආකල්ප මේ වන විට දැඩි සෝදා පාළුවකට ලක් ව ඇති බව අප අකමැත්තෙන් වුව පිළිගත යුතු ය. කාටත් වැටහෙන ලෙසින් කිවහොත් මේ වන විට සිරි පා වන්දනාව මදය ඉවත්ව ලෙල්ල පමණක් ඉතිරිව පවතින රස ඵලයක් බවට පත්ව තිබේ.
අප ඒ සම්බන්ධ එවන් නිගමනයකට එළැඹෙනුයේ මීට දශක කිහිපයක් තෙක් අප සමාජයේ පැවැති ශ්‍රී පාද සංස්කෘතිය හා සබැඳි හර පද්ධතිය පිළිබඳව යළි විමසා බැලීමේ දී ය.
අතීතයේ ශ්‍රී පාද වන්දනාව යනු කිසිවකු එතෙක් ගත කරමින් සිටි දිවි පෙවෙත අත හැර ජීවිතය නව දිශානතියකට යොමු කර ගැනීම මුල් කොට ගත් නිස්සරණාධ්‍යාසය පදනම් කර ගත් සුවිශේෂ සංසිද්ධියකි. එම ගමනට පෙර තම වත්කම් පවා ඊළඟ උරුම කරුවනට පැවරීමේ සම්ප්‍රදාය ඒ සඳහා වන විශිෂ්ඨ නිදසුනකි.මෙම සංසිද්ධිය හා සමාන ක්‍රියාවලියක් භාරතීය හින්දු ආගමික සංස්කෘතික ධාරාවේ මුල් තැනක් ගනු ලබන වර්ණාශ්‍රම ධර්මවල ද තිබේ.එම වර්ණාශ්‍රම ධර්මවලට අනුව මිනිස් ජීවිතය කොටස් හතරකට බෙදෙයි. එනම් බ්‍රහ්මචාරී, ගෘහස්ථ, සන්‍යාසි සහ වානප්‍රස්ථ යනුවෙනි. මින් සන්‍යාසි යනු මිනිසා ලෞකික සැප සම්පත් අතහැර ආධ්‍යාත්මික පක්ෂයට නැඹුරු විය යුතු ජීවිතයේ තුන්වන අවදියයි. ඒ අනුව සාමාන්‍ය කාමභෝගී ගිහි ජීවිතයක තෙවන කාර්තුවට අයත් සන්‍යාසි සමය ලෞකිකත්වයෙන් අත් මිදුණු සමයක් විය යුතු ය.
මෙම ‘සන්‍යාසී’යන්න සංස්කෘත භාෂාවෙහි සම්න්‍යාසී ලෙසින් යනුවෙන් වර නැඟෙයි. මෙම වදනෙහි අරුත ‘සම්’ හෙවත් සියල්ල ‘න්‍යාස’ හෙවත් නැසීම යන්න ය. මෙහි සියල්ල යනු හටගත් සියලු දේ යන්න ය. සංස්කෘත භාෂාවෙහි සම්ස්කාර යනුවෙන් දැක්වෙන මෙය පාලි භාෂාවෙහි වර නැගෙනුයේ අප කවුරුත් දන්නා ‘සංඛාර’ යන වදන ලෙසිනි. යමකු මෙසේ සියල්ල නසා දැමීමෙන් මෝහය දුරුවන බව පෙරදිග ආගමික දර්ශනයන්හි විස්තර කෙරේ. මෙලෙස මෝහය ක්ෂය වීමෙන් ලබා ගත හැකි පරම සුවය නම් මෝක්ෂයයි. බුදු දහමට අනුව මෙය විස්තර කෙරෙනුයේ නිර්වාණය යනුවෙනි.ඒ අනුව අප ජන සංකෘතියේ සිරි පා වන්දනාව හා සම්බන්ධ අක් මුල් කොතෙක් ගැඹුරට විහිද තිබේ ද යන්න සිතා ගැනීමට පුළුවන.
එමෙන්ම වන්දනාව යනු පූර්ව අපර යන කාලයන් ද එක් කොට ගත් චින්තන,සන්නිවේදන සහ චර්යා පද්ධතියකි.නමුත් වත්මන් පරපුර තුළ ඒ සම්බන්ධ නිසි අවබෝධයක් ඇති බවක් නොපෙනේ.ශ්‍රී පාද වන්දනාව සඳහා උපදේශනාතමක මඟ පෙන්වන්නකු හෙවත් නඩේ ගුරකු තෝරා ගැනීම එහි පළමු කටයුත්ත ය.නඩේ ගුරකු වීම සඳහා ශ්‍රී පාද වන්දනාව පිළිබඳ හසල අද්දැකීම් සමුදායක් තිබීම, දැහැමි විනයවත් සදාචාර සම්පන්න දිවිපෙවෙතක් ගත කිරීම සහ මනා පරිපාලනමය, කලමණාකරණ හැකියාව,සේම ප්‍රථමාධාර අත් බෙහෙත් කෙම් ක්‍රම ආදිය පිළිබඳ දැනුමක් ද නො අඩුවම පිහිටා තිබිය යුතු ය.එම සුදුසුකම සහිත අයකු හෝ දෙදෙනකු එවක සෑම ගමකම පාහේ දක්නා ලදී.එම නඩේ ගුරු භූමිකාව මුළුමනින්ම ස්වේච්ඡා සේවයක් වූ අතර එම වන්දනා කණ්ඩායම හෙවත් නඩය වන්දනා ගමනට දින නියම වූ දා සිට තමන් තෝරා ගන්නා නඩේ ගුරා ගේ විධානයන් සහ උපදෙස් පිළිපැදිය යුතු විය.මෙය සිරිපා වන්දනාව සම්බන්ධ ශික්ෂාකාමීත්වයක් හෙවත් විනය ප්‍රඥප්තියකි.
ශ්‍රී පාද වන්දනා ගමනට මසකට, දෙසතියකට පමණ පෙර නිශ්චිතව තීරණය කර ගත් කාල සීමාවක් තුළ “පේ වීම “නම් වන ක්‍රියාදාමය ඇරඹිය යුතු වේ.මෙම “පේ” යන වදන පෙහෙ වස් හෙවත් පෙහෙව විසීම හෙවත් ශීල සමාදානය හා සෘජුව සම්බන්ධ වූවකි.මෙම කාල සීමාව තුළ සිත,කය වචනය යන තුන් දොරින් ශික්ෂාකාමී වීමට අතීත ගැමියෝ විශේෂයෙන් වග බලාගත්හ. මස් මාංශ අනුභවය, මත් ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අත් හැරීම මෙහි දී අනිවාර්යයෙන් කළ යුතු විය.මෙලෙස හරි හැටි පේ වීම නොකළ අයකු නඩයේ සිටිය හොත් එම නඩයට සමන් දේව කරුණාව අහිමිව විවිධ විපත් හා අනතුරු වලට ලක් වන බවට ජන විශ්වාසයක් එවක සමාජයේ විය.එබැවින් මෙම පේ වීම නම් ශික්ෂා මාර්ගයේ වැදගත්කම එවක සැවොම පොදුවේ අවධාරණය කර ගෙන සිටියහ. සිරි පා කරුණාව ආරම්භ කරනු ලබන්නේ නඩේ ගුරාගේ මඟ පෙන්වීම මත ගමේ පන්සලට ගොස් නිසි ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුන් වැඳ දෙවියන්ට පින් දීමෙන් පසුව ය.පන්සිල් සිල්ගැනීම හෝ සමහරුන් අටසිල් හෝ දසසිල් වශයෙන් කිසියම් ශීලයක් සමාදන්වීම ආරක්ෂාව පතා බුදුන් වැඳ පින් දී දෙවියන්ට බාරවීම ද මෙහි දී සිදු කරන ලදී.සෙසු සෑම වන්දනා ගමනක් සේම සිරි පා කරුණාව ද හිමිදිරියේ ම ආරම්භ කළ යුත්තක් විය. සිරි පා කරුණාව සඳහා විශේෂ ආහාර රටාවක් ද පැවතුණි.ගමන සඳහා විශේෂ කෑම බීම පිළියෙල කර ගැනීම අනිවාර්ය විය.එහි දී උදරාබාධ වලකන ගම්මිරිස් යොදා සකස් කළ අග්ගලා අළුවා, වැනි ශීතල වලකන කෑම වර්ග කල් ඇතිව සකසා ගත් අතර මඟ දී පිස ගනු ලබ ආහාර ද වෙනම සෞඛ්‍යාරක්ෂිත වට්ටෝරු වලින් යුතු විය. සිරි පා කරුණාව සඳහා ගෙනියනු ලබන ගමන් මල්ල හඳුන්වනුයේ සැහැල්ලුව යනුවෙනි.වන්දනා ගමන සඳහා අත්‍යාවශ්‍ය විය හැකි ඇඳුම්, ගෙත්තම් පානේ දී ගෙත්තම් කිරීම සඳහා වන ඉඳිකටු සහ නූල්,පහන් දැල්වීම පිණිස ගෙවල් වලම සිඳගත් පොල්තෙල්, පිරිසිදු සුදු රෙදි වලින් සකස් කරගත් පහන් තිර, බාර හාර වීම පිණිස පිරුවට වල ගැටගසන ලද පඬුරු සහ ශ්‍රී පාදයට හා එහි පිහිටි සමන් දේවාලයට දැමීම පිණිස පඬුරු, අතර මඟ දී ගායනා කිරීම පිණිස තුන්සරණ කවි පොතක් ආදිය ද මේ සැහැල්ලුව තුළ තිබිණ.එමෙන්ම සෑම වන්දනා ගමනක දී මෙන්ම සිරිපා වන්දනා ගමනේ දී ද ඒ හා සම්බන්ධ කාල නියමයන් කලින් තීරණය කිරීමක් කෙසේ වත් සිදු නොවුණි.එමෙන්ම එම වන්දනා ගමන ගොස් ආපසු පැමිණෙන දිනය පවා කලින් තීරණය නොකිරීම ද විශේෂත්වයකි.ඊට හේතුව එලෙස කලින් කල් යල් බැලීම මඟින් වන්දනා ගමනේ සහනශීලී බව බිඳී යාම බවට සැක නැත.
ශ්‍රී පාද වන්දනාව උප සංස්කෘතියක් සේ හැඳින්වීමට ඒ සඳහා සුවිශේෂ වූ පාරිභාෂික වදන් මාලාවක් තිබීම ද එක හේතුවකි. ශ්‍රී පාද වන්දනාවට පමණක් අනන්‍ය වූ මේ වාග් මාලාව මඟින් එකල ශ්‍රී පාද වන්දනාව කෙතරම් සුවිශේෂත්වයකින් යුතු වී ද යුතුව සිදු කළේ ද යන්න පැහැදිලි වේ.ශ්‍රී පාද සංස්කෘතිය තුළ ශ්‍රී පාද ලංඡනය හැඳින්වෙනුයේ පද්මය යනුවෙනි.පද්මය හෙවත් නෙළුම් මල සෙසු මල් වර්ග අතුරින් පවිත්‍රත්වය සංකේතනය කරන්නකි.එම ගමනේ දී උරයේ එල්ලා ගෙන යන ඔලොගුව.හෙවත් ගමන් මල්ල සැහැල්ලුව විය.කෙතරම් බරක් තිබුණ ද ගෙන යන ගමන් මල්ල හැම විටම හඳුන්වන ලද්දේ මේ නමිනි.ශ්‍රී පාදය වන්දනාව සඳහා ගමන් කිරීම කරුණා කිරීම ලෙස හඳින්වෙන අතරේ ගමනේ ප්‍රමුඛතම වදන වන්නේ ද කරුණාවයි යන්න ය.ශ්‍රී පාද වන්දනාව සේම සෙසු වන්දනා ගමන් සඳහා එක් වන කණ්ඩායම හඳුන්වන්නේ නඩය යන නමිනි.මෙය පාද චාරිකාව යන අරුත දනවන ද්‍රවිඩ වදනකින් සිංහල ජන වහරට එක් වූවකි.
කට වරද්දා ගැනීම වන්දනා ගමන් වල දී කෙසේ වත් නොකළ යුත්තකි.අතීත ජනයා ශ්‍රී පාද වන්දනාව ඉමහත් ශ්‍රද්ධාවෙන් සිදු කළ අතර සමන් දෙවියන් පිළිබඳ භක්තිය ඒ ගමනට මහත් ජවයක් විය.නමුත් මෙය අසීරු ගමනක් බැවින් ඇතැමුන් විසින් “ හරි මහන්සියි, නවතිමු, අමාරුයි” වැනි වන්දනා ගමනේ ජවය අඩු කෙරෙන නිශේධනාත්මක ප්‍රකාශ පිටවීම කට වරද්දා ගැනීම ලෙස හඳුන්වනු ලැබිණ. මෙවන් වචනයක් පැවසුණු පසු එම නඩය සමන් දෙවියන්ගේ නොතැකීමට ලක්වන බව විශ්වාසයයි.
මුල් වරට ශ්‍රී පාද වන්දනාවට යොමු වන ළපැටියන් කිරි කෝඩු හා වැඩිහිටියන් දඬු කෝඩු ලෙස ද හඳුන්වන ලදී.ඊට අමතර ව සිරි පා කරුණා කරන අය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් විය.කවර හේතුවක් මත වත් කිසිවකු කෝප නොවිය යුතු බවත් එය සමන් දෙවියන්ට කරන නිගරුවක් ලෙසත් එවක ජන සම්මතයක් විය.ඒ වෙනුවට අනුනට කරුණාවෙන් උදව් ඇප උපකාර කිරීම, තමන් සතු කෑම බීමෙන් සෙස්සන්ට සංග්‍රහ කිරීම,රෝගීනට හා දුබල වූවනට උදව් වීම, වැඩිමහල්ලන්ට ගෞරවයෙන් සැලකීම, කුඩා දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීම ඒ අතුරින් ප්‍රධාන විය.
මෙවන් වචනයක් පිට වූ වහා නඩේ ගුරා විසින් සිදු කළ යුතු කාර්යය වන්නේ සමන් දෙවිඳුන් වැඳ ඒ වෙනුවෙන් සමාව ඉල්ලීමයි. එසේම එය පැවසු වන්දනාකරු විසින් ද,අනතුරුව මුළු සියලු නඩයම එහිදී සමන් දෙවිඳුන්ගෙන් සමාව ගත යුතු සිරිතක් අතීතයේ දක්නට ලැබිණ.ඒ සඳහා අතර මඟ හමුවන සමන් දේවාලයක් හෝ සංහිඳක් යොදා ගැනීම බහුලව සිදු විය. එමෙන්ම මුල් වරට ශ්‍රී පාද වන්දනාවට යොමු වන ළපැටියන් කිරි කෝඩු හා වැඩිහිටියන් දඬු කෝඩු ලෙස ද හඳුන්වන ලදී.ඊට අමතර ව සිරි පා කරුණා කරන අය අනිවාර්යයෙන් පිළිපැදිය යුතු චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් විය.කවර හේතුවක් මත වත් කිසිවකු කෝප නොවිය යුතු බවත් එය සමන් දෙවියන්ට කරන නිගරුවක් ලෙසත් එවක ජන සම්මතයක් විය.ඒ වෙනුවට අනුනට කරුණාවෙන් උදව් ඇප උපකාර කිරීම, තමන් සතු කෑම බීමෙන් සෙස්සන්ට සංග්‍රහ කිරීම,රෝගීනට හා දුබල වූවනට උදව් වීම, වැඩිමහල්ලන්ට ගෞරවයෙන් සැලකීම, කුඩා දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලීම ඒ අතුරින් ප්‍රධාන විය.සමන් දෙවිඳුන් උදෙසා වන වත් පිළිවෙත් ලෙසින් සැලකෙන මෙම චර්යාවන් වන්දනා නඩ මුල් කොට සබරගමු සිරි පා වන්දනා මාර්ග දෙපස පිහිටි ගම්මාන වල ගැමියන් ද මෑතක් දක්වාම අනුගමනය කරනු දක්නට ලැබිණ.ඒ හැරුණු කොට නඩයේ පිරිස නඩේ ගුරාට කීකරු වීම හා ගරු කිරීම,මෙම ගමනේ දී සිත විසුරුවා නොගෙන තමන් කරුණා කරන ඉසව්ව හෝ පා තබන පඩිය ගැන එළඹ සිටි සිහියෙන් යුතුව මනාව අවධානය යොමුකර පා තැබීම ආදී කරුණු අතීත ශ්‍රී පාද කරුණාවේ වැදගත්ම අංග සේ සැලකෙන ලදී.එය සිරිපා කරුණාවේ දී සිදු වන පුද්ගලයන් අතර මං වීම් වීම් වලකන උපාය මාර්ගයක් ද විය. එමෙන්ම ඉහත සඳහන් ශ්‍රී පාද සංස්කෘතිය හා සබැඳි අංග මුල් කොට තත්කාලීන සමාජයන් හි ජන මනැස් පැහැදිලි විශෝධනයකට ලක් වූ බව පැහැදිලි ය.නො එසේ නම් සිරි පා කරුණාවකට පෙර ලෞකිකත්වයේ ඇලී ගැලී සිටි මිනිසා එය නිම කිරීමත් සමඟ තමන්, පවුල්, ප්‍රජාව සහ සමාජය කෙරෙහි අතිශය සරල ලිහිල් ද්‍රශ්ඨි කෝණයකින් බැලීමට පුරුදු වීම ඔවුන්ගේ මානසික සංහිදියාවට පවුල්, ප්‍රජා, සමාජ සහජීවනයට ප්‍රබල අඩිතාලමක් විය.
එහෙත්’ එවන් ආධ්‍යාත්මික, සංස්කෘතික සදාචාරාත්මක පාරිසරික සංවේදීතාවයෙන් යුතු පසුතලයකින් තොරව මේ වන විට නිබඳවම සිදු කෙරෙන “සිරී පාදේ ට්‍රිප්” මගින් එවැන්නක් අපේක්‍ෂා කිරීම මිරිඟු දියෙන් පිපාසය සංසිඳවා ගැනීමට අපේක්‍ෂා කිරීමකි.
වර්තමානයේ ඉවක් බවක් නොමැතිව සිදුවන ශ්‍රී පාද සංස්කෘතික පරිහානියට වත්මන් නව ලිබරල් වාදී සමාජ ආර්ථිකය තුළ ලෞකිකත්වය කෙරෙහි දැඩිව එල්බ ගැනීමේ පොදුජන අපේක්‍ෂාව මුල්ව ඇති බව පෙනේ. අතීතයේ වන්දනා ගමනක පැවැති තාවකාලිකව හෝ ලෞකිකත්වය අතහැරීම හෙවත් නිස්සරණය නම් වන සංකල්පයේ අලු දුහුවිලි වත් වත්මන් සිරි පා ගමන් වල තිබේදැයි සැක සහිත ය. ඒ අනුව මේ වන විට ශ්‍රී පාද වන්දනාවට එක් වන සැදැහැවතුන් නොවන පිරිස්වල බහුලතාව මත “සිරී පාදේ ට්‍රිප් එක” ලෙස නම් ලද එය අදවන විට අරමුණක් නොමැති හා ආටක නාටක වලින් සපිරි හර සුන් චාරිකාවක් බවට පත් වෙමින් පවතින බවක් පෙනේ.එමෙන්ම එම විපරිනාමය හා සැසඳෙන නව සංස්කෘතිකාංග ද ඊට එක්ව ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ජනයා බහුල හැටන් නල්ලතන්නි ශ්‍රී පාද මාර්ගය දෙපස ඉදිව ඇති අනේක විධ පාරිභෝගික අවශ්‍යතා සංතෘප්ත කර ගත හැකි වෙළඳ සල්පිල් අනුව එය සරල චාම් වන්දනා ගමනක සීමා ව ඉක්මවා කොතෙක් දුර ගොස් තිබේද?යන්න සිතීමට පවා නොහැකි තත්වයක් උද්ගත වී ඇත.
වරක් ශ්‍රී පාද වන්දනාවේ වර්තමාන මුහුණුවර මුල් කොට ගත් ක්‍ෂේත්‍ර අධ්‍යයනයක් සඳහා ශ්‍රී පාද චාරිකාවක එක් වූ විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් ගෙන හැර දැක් වූ කරුණු වලින් අනාවරණය වූ අන්දමට මේ වන විට එහි අනේක විධ අයුතු ගසා කෑම හා දුරාචාර යාන්ත්‍රණයක් ද ස්ථාපිතව තිබේ. මෙම තත්වයන් එක්වරම මැඩලීම ශ්‍රී පාද ස්ථාන භාරකාරත්වයට හෝ ශ්‍රී ලංකා පොලීසියට නොහැකි බව අප පිළිගත යුතු ය. එය අතිශය අයහපත් පවුල් පරිසරයක් තුළ හැදෙන වැඩෙන දරුවන් සීමිත කාලයක් තුළ සුමගට හැරවීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරුන් වෙත පැවරෙන අසීරු අභියෝගයටත් වඩා දුෂ්කර වූවකි. මේ තත්වය නිසාම මීට දශක කිහිපයකට පෙර ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු බොහෝ දෙනකු මේ වන විට ඉන් වැලකී හිඳින බව ද අපට නොයෙක් වර අසන්නට ලැබී ඇති අමිහිරි සත්‍යයකි. ඒ අනුව මේ වන විට අධ්‍යාත්මික සංස්කෘතික සදාචාරාත්මක සේම ඊට කිසිසේත් නොදෙවෙනි පාරිසරික සංහාරයක් ද සිදුවන නූතන ශ්‍රී පාද වන්දනාව ඉහත සඳහන් ප්‍රමිතීන් මත යාවත්කාලීන කරවීමේ ප්‍රමුඛතම සමාජමය අවශ්‍යතාවයක් මේ වන විට පැන නැඟී තිබේ. ඒ අනුව වත්මන් ශාසන භාරකාරත්වය, දේශපාලන අධිකාරිය, පාරිසරික ආයතන සංවිධාන සේම සමාජ හා මානව විද්‍යා ක්ෂේත්‍රවලට සම්බන්ධ විද්වතුන් ගෙන් හා රාජ්‍ය අංශ නිලධාරීන් ගෙන් සුසැදී කණ්ඩායමක් විසින් මේ වන විට ඉහත සඳහන් හානිකර තත්ත්වයන් පදනම් ව නිසරු විනෝද ගමනක් ව පවතින ශ්‍රී පාද වන්දනාව සඳහා නව ශික්ෂා පද්ධතියක් පැනවීමේ දැඩි කාලීන අවශ්‍යතාව මේ වන විට අප ඉදිරියට පැමිණ තිබේ.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර