අද ඉඳලා අවුරුදු සියයකින් ඔබ කොහේ ඉඳීවිද? – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

අද අපි කන පොල් කොස් වගේ දේවල් අපි හිටවපු ගස් වලින් කඩා ගත්තු ඒවා නෙමෙයි. ඒවා අපේ ආච්චිලා සීයලා මුතුන්මිත්තෝ හිටවපු ගස් වල ඵල. අපි ඉන්න සමහර ගෙවල් දොරවල් වුනත් අපේ ජීවිත කාලයේදී හදපුවා නෙමෙයි. අපේ ආච්චිලා සීයලා හදපු ඒවා. අපේ පල්ලි පන්සල් ඉස්කෝල වුණත් වැඩි හරියක් අපේ මුතුන්මිත්තන්ගේ වැඩ මිසක් අපි කරපු දේවල් නෙවෙයි.
අද ඔබ පරිහරණය කරන ගොඩක් දේවල් ඔබේ දෙමව්පියන් ලබාදුන්නු දේවල් වෙන්න පුළුවන්.
සමහර විට ඔබේ පරම්පරාවෙන් එන වතුපිටි ගේ දොර , පරණ කාර් ලොරි වගේ වාහන, ඇඳ පුටු අල්මාරි මේස, රත්තරන් බඩු වගේ දේවල් පවා අදත් ඔබ භාවිතා කරනවා වෙන්න පුළුවන්.

ඒ ගහ කොළ වවපු, පල්ලි පන්සල්, ගෙවල් දොරවල්, පාරවල් පාලම් හදපු බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නැහැ.
අපි අපේ මුතුන්මිත්තන්ගේ බඩුබාහිරාදිය තවමත් පාවිච්චි කලත් .ඒගොල්ලො කපපු පාරවල් වල තාම ගමන් කළත් ඒ ගොල්ලන්ගේ කුඹුරුවල තවම වී වගා කළත් අපි බොහෝ වෙලාවට ඒගොල්ලන්ගේ නමක් ගමක් , උපන්දිනක්, මියගිය දිනක් තියා සමහර වෙලාවට මිහිදන් කළ තැනක්වත් දන්නෙත් නෑ, මතකත් නෑ.
සීයගේ ආච්චිගේ නම් සමහරවිට ඔබ දන්නවා ඇති. ඒත් සීයගේ ආච්චිගේ දෙමව්පියන්ගේ නම් ඔබ දන්නවද?
මම හිතන් නැහැ සීයට එක්කෙනෙක්වත් ආච්චිගෙන් සීයාගෙන් එහාට කාගෙන්වත් නම් ගම් දන්නව ඇති කියලා.
හැබැයි ඒ ඒගොල්ලො හිටවපු ගස් වල කොස් පොල් විතරක් නෙමෙයි ඒගොල්ලො අපට ඉතිරි කරලා ගිය බොහෝ දේවල් අපි බොහොම උජාරුවෙන් පහසුවෙන් භාවිතාකරනවා.

ඒ කියන්නේ කොස් පොල් කන්න එපා, මුතුන්මිත්තන්ගේ දේවල් පරිහරණය කරන්න එපා කියන එකද ?
නැහැ! ඒවා පාවිච්චි කලාට කිසිම ප්‍රශ්නයක් නැහැ.
මේ කතා කරන්නේ ඒවා පරිහරණය කිරීම ගැන නෙමෙයි, ඒගොල්ලන්ව සහ ඒගොල්ලන්ගේ නම් ගම් අමතක වීම ගැන.
ඇත්තටම ඉතින් පුරාවිද්‍යාඥයන්ට ඉතිහාසඥයන්ට වගේ පරීක්ෂණ කරන අයට හැරුණම සාමන්‍ය පුරවැසියන්ට ඔය ආච්චිලා සීයලා මුතුන්මිත්තන්ව මතක තියා ගත්තා කියලා ඇති වැඩේ මොකක්ද කියලත් හිතෙන්න පුළුවන්.
මේ තරම් ආච්චිලා සීයලා මුතුන්මිත්තෝ ගැන කිව්වේ ඇයි දන්නවද?
එක කරුණක් ගැන මතක් කරන්න.
මොකක්ද?

අපිවත් බොහොම ඉක්මනට අපේ දරුවන්ට, දරුවන්ගේ දරුවන්ට, ඒ ගොල්ලන්ගේ දරුවන්ට වගේම පරම්පරාවටම සම්පූර්ණයෙන්ම අමතක වෙලා යන්නේ, අන්න ඒ විදිහට තමයි කියන එක මතක් කරන්න.
බොහෝ දෙනෙකුට බොහෝ දේවල් ඉක්මනටම අමතක වෙලා යනවා. ඒක තමයි ලෝක ස්වභාවය . ඒකට ඉතින් වරදක් කියනවා නෙමෙයි. පෘථග්ජනයෝ වෙච්චම එහෙම තමයි.
අපේ මුතුන් මිත්තන්ගේ විතරක් නෙමෙයි අපේ යාලුවන්ගේ, අපිත් එක්ක එකට ඉගෙන ගත්තු අය, එකට වැඩ කරපු අයගේ නම් ගම් පවා හරි ඉක්මනට අපිට අමතක වෙලා යනවා.
අපි කවුරුත් අවුරුදු සිය ගණන් ඉන්නෙ නැහැ. බොහෝම ඉක්මනට අපිට සියල්ල අතහැර යන්න වෙනවා. ඒත් අද බොහෝ දෙනෙක් ‘මැරීගෙන’ දඟලන්නේ හරියට සදාකාලිකව මේ ලෝකේ ඉන්න ඇවිල්ලා වගේ.

අද බොහෝ දෙනෙක් හම්බ කරන්න මහන්සි වෙන හැටි, විලාසිතා පුහු ආටෝප, තනතුරු නම්බුනාම පසු පස හඹා යන හැටි, තරගකාරී ලොවක දඟලන හැටි,වාද විවාද කර ගන්න හැටි, බල තන්හාවෙන් කුලල් කා ගන්න හැටි දැක්කම “මරණය” කට කොනකින් හිනා වෙවී බලන් ඉන්නවා ඇති මේ මිනිස්සු මොන තරම් මෝඩ ද කියලා.
නිකමට හිතලා බලන්න අද ඉඳලා අවුරුදු සියයක් ගියාම මේ අද අපි ඉන්න වටපිටාව, අපේ වතු පිටි ගෙවල් දොරවල් කොහොම තියෙයිද.
ඒ වෙනකොට අද මේක කියවන කිසිම කෙනෙක් ජීවතුන් අතර නැහැ.
එතකොට අපි දහදුක් විඳලා කට්ට කාලා හදාගත්තු ගෙවල් , මිලදීගගත්තු යාන වාහන, ඉතුරු කරපු සල්ලි යනාදියට මොකද වෙන්නේ?
තව අවුරුදු සියයකදී ඒවා භුක්ති විදින්නේ අපි නෙවෙයි. අපි දන්නෙත් නැති දැකලත් නැති, සමහරවිට ඉපදිලත් නැති වෙනත් කවුරුහරි තමයි ඒවා භුක්ති විදින්නේ.
ඒ කිසිම කෙනෙකුට අපේ නම්වත් අපි කරපු දේවල් වත් අපි උන්හිටිතැන්වත් මතක තියෙන එකක් නැහැ. කොටින්ම අපි මේ ලෝකයේ ජීවත් වුනාද කියලාවත් ඒ කිසිම කෙනෙක් දැනගන්න එකක්වත් නෑ.
වැඩිම වුනොත් ඕන නම් අපේ දරුවන්ගේ දරුවන්ට අපිව ටික කාලයක් මතක හිටීවි. ඉන් එහාට නම් කිසිම කෙනෙකුට අපිව මතක තියෙන්නෙ නැහැ .

ටික කලක් යන තුරු සමහරවිට අපේ ඡායාරූපයක් ඕන්නං බිත්තියේ එල්ලි එල්ලි තියේවි. ඊට පස්සේ ඒකත් හමස් පෙට්ටියට යාවි. නව පරපුරට ඒවලින් ඇති වැඩක් නැති නිසා සමහර විට ඒවා වේයෝ කාලා විනාශ වෙලා යාවි. නැතිනම් අපේ සිරුර වගේම පසට යට වෙලා දිරාපත් වෙලා නැතිවෙලාම යාවි.
ඔබ මොනතරම් දැගළුවත් වලි කෑවත් කොයි කාට වුණත් ඔබව මතක හිටින්නේ ඉතාම ටික කාලෙකට පමණයි.
අපි මැරෙන්නම ඕනෙ නැහැ. ජීවත් වෙලා ඉන්නැද්දිම අපි ටික ටික වයසට යද්දි මිනිස්සුන්ට අපිව අමතක වෙලා යනවා.
කොච්චර ලොකු තනතුරක් දැරුවත් රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ එකට වැඩ කරපු අයටත් අපිව අමතකයි.
ක්‍රමයෙන් වියපත් වෙද්දී බොහෝ විට තරුණ පරපුර ළමා පරපුර ඔබව වැඩිය ගනන්ගන්නෙත් නැහැ.
ඔබට ලියුම් එන්නෙත් නෑ දුරකථනය නාද වෙන්නෙත් නෑ.
කලක් වීරයෙකු ව සිටි ඔබ ‍ ක්‍රමයෙන් බොහෝ දෙනෙකුගේ මතයකයෙන් ටිකෙන් ටික ඈත් වුනූ මිනිස් ශරීර කූඩුවක් විතරක් බවට පත්වෙනවා. කිසිම වටිනාකමක් නැති අවලංගු කාසියක් බවට පත්වෙනවා. අසනීප තත්වයක් එහෙම මතු උනොත් සමහර විට ඔබව බොහෝ දෙනෙකුට කරදරයක් වෙන්නත් බැරි නෑ.
ජීවත්වෙලා ඉන්නකොටම එහෙමනම් අපි මිය ගියාට පස්සේ කවුරු අපිව මතක තියා තියාගන්නද . නේද?
ඉතින් මොනවද අපි කළ යුත්තේ?

ජීවත් වෙන්න බොරුවට මැරෙන්න එපා.
ඒ කියන්නෙ රැකියාවල් එපා, සල්ලි හම්බ කරන්න එපා ,බැංකු ගිණුම් තියාගන්න එපා ,ගෙවල් දොරවල් හදා ගන්න එපා, යාන වාහන ගන්න එපා ,කියන එකද?
නැහැ!

ජීවිතේ පහසුවෙන් ගත කරන්න අවශ්‍ය දේ උපයා ගත්තට කිසිම වරදක් නැහැ. ඒත් ඒවා ලබා ගැනීමට අනවශ්‍ය ප්‍රමාණයට හිතේ ලොකු බරක් කරපින්නා ගෙන ශරීරයටත් මනසටත් අධික ලෙස වද දිදී මායාවල් පස්සේ දුවන්න එපා.
ඔබේ මේ වෙහෙසීමෙන් මතු දිනකදි ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඔබ නෙවෙයි, සම්පූර්ණ පිටස්තරයෙක්.
ඒ නිසා ඕනවට වැඩිය සල්ලි හම්බකරන්න දුක්විඳින්න එපා .ඉඩකඩම් අයිති කර ගන්න වෙහෙසෙන්න එපා. නම්බු නාම කීර්තිය ප්‍රසිද්ධිය පස්සේ හඹා යන්න එපා. මේ සේරම ඔබව වෙහෙසට පත් කරන දේවල් මිසක් ඒවලින් ඔබට ලැබෙන මානසික සුවයක් නැහැ.
ඔබ සල්ලි හම්බ කරන්න පුදුම විදියට මහන්සි වෙනවානම්, අහස උසට ගොඩනැගිලි හදන්ඩ වෙහෙසනවානම්, මොන ක්ෂේත්‍රයේ හරි ප්‍රසිද්ධ වෙලා මිනිස්සුන්ගේ ප්‍රසංසාවට අත්පොළසන් නාදයට ලක්වෙලා කීර්තිමත් පුද්ගලයෙක් වෙන්න දඟලනවානම් නැවතිලා පොඩ්ඩක් හිතන්න.
මොනව ලැබුණත් ඔබ දුක් මහන්සි වෙන ප්‍රමාණයට සාපේක්ෂව වැඩිකල් ඔබට ඒවා ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. ඔබේ වේදනාවෙන් දුක් විඳීමෙන් ප්‍රතිඵල ලබන්නේ ඔබ නෙවෙයි.

අද හුස්ම ගන්න කිසිම කෙනෙක් තව අවුරුදු සියයකින් මේ මිහිපිට හුස්ම ගන්න ඉතුරු වෙන්නේ නෑ. එක වැලි කැටයක් තියා දූවිල්ලක් වත් අපිට යනකොට ගෙනියන්න බැහැ.
එමනිසා, ශරීරයට මනසට වද නොදී ජීවිතය උපරිමයෙන් විඳින්න .! ඔබ කැමති දේ කන්න බොන්න, ඔබ කැමති දේ කරන්න. අනවශ්‍ය වෙහෙස නිසා ඔබේ සිරුර වගේම මනසත් ලෙඩ කරගන්න එපා.
ජීවිතයේ සරල සුන්දර පුංචි දේවල් වින්දනය කරමින් මේ මොහොතේ ඔබේ පවුලේ අය, සහෝදර සහෝදරියෝ ,යාලු මිත්‍රයෝ සමඟ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න.

සාර්ථක පුද්ගලයෙක් කියන්නේ හිත සැහැල්ලුවෙන් ඉන්න පුද්ගලයෙක් මිසක් මුළු ලෝකයම අයිති කර ගත්තත් හිතේ හිසේ බරකින් ජීවත්වෙන පුද්ගලයෙකුට නෙමෙයි කියන එකත්, කවද හරි දවසක ඔබ මුළු ලෝකයටම අමතක වෙච්ච පුද්ගලයෙක් බවට පත්වන බවත් මතක තියාගන අද දවස සැහැල්ලුවෙන් ගත කරන්න වගබලාගන්න.

– මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

එතෙර - මෙතෙර