අප රටේ සිටි මතකයේ රැඳුණු සංගීත ගායක ගායිකාවන් සිහිපත් කරන්නැයි පැවසුවහොත් නිතැතින්ම අපගේ මතකයට අමරදේව, ජෝති, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි, ප්‍රියා සූරියසේන, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, නන්දා මාලිනී, ලතා වල්පොල, සුජාතා අත්තනායක ආදී නම් වැලක් ම නැගෙනු ඇත. අපට අසල්වැසි ඉන්දියාවේ මොහොමඩ් රාෆි, කිෂෝර් කුමාර්, ලතා මංගේෂ්කර් ආදීන් පමණක් නොව බීට්ල්ස්, එල්විස් ප්‍රෙස්ලි, බොබ් ඩිලන්, ජිමී හෙන්ඩ්‍රික්ස්, මයිකල් ජැක්සන් වැනි බටහිර ගායකයින් ද අපගේ මතකයට නැගෙනු ඇත. ස්වර්ණමය යුගය ලෙස හඳුන්වනු ලැබූ 1960, 70 සහ 80 වැනි දශකවල බිහිවී ඒ සමයේ පැවති සමාජ සංස්කෘතික වටපිටාවට නව අර්ථකථනයන් සපයන්නට හේතු වූ මේ කලාකරුවන් පරම්පරා ගණනාවක් ගත වන තුරුත් මතකයෙන් බැහැර නොයන තරම්ය. ඔවුන් නතු කර ගත් ආකර්ෂණය, ජනප්‍රියත්වය, නිර්මාණ හැකියාව අද්වීතීය තත්වයක පවතී. එය සංගීත ක්ෂේත්රය තුළ සදා නොමැකෙන උරුමයක් බවට පත්ව තිබේ. නමුත් වර්තමාන සංගීත ක්ෂේත්රය තුළින් මතකයේ රැඳුණු සංගීත ශිල්පීන් (legends) බිහි වන බවක් පෙනෙන්නට නැත. එය විමසා බලන්නට තරම් වටිනා කාරණයකි.
ස්වර්ණමය දශක කිහිපය තුළ විනෝදාස්වාදය අභිබවා සමාජ විපර්යාසයන්, දේශපාලන අසහනකාරී බව සහ සංස්කෘතික වෙනස්කම් පිළිබිඹු කිරීමක් බවට සංගීතය පත්විය. මේ යුගවල නිර්මාණය වූ ප්‍රේම ගීත නිදසුනකට ගෙන බැලුව ද එක් එක් ගායකයාට ආවේණික වන අන්දමින් ප්‍රේමය නිර්වචනය වීම සිදු වනු දක්නට හැකි විය. ජෝති එක් ආකාරයකටත්, මිල්ටන් පෙරේරා තවත් ආකාරයකටත්, අමරදේවයන් තවත් ආකාරයකටත් ප්‍රේමය නිර්වචනය කළේය. බටහිර ගතහොත් බොබ් ඩිලන් ගායනා කළ කාව්‍යමය පද රචනා තුළ විරෝධාකල්ප මෙන්ම සමාජය තුළ වෙනසක් ඇති කරන්නට මිනිසුන් පොලඹවන සුළු අර්ථයක් ගැබ්ව තිබිණි.
ඉහත සඳහන් කළ ස්වර්ණමය දශක කිහිපය තුළ විනෝදාස්වාදය අභිබවා සමාජ විපර්යාසයන්, දේශපාලන අසහනකාරී බව සහ සංස්කෘතික වෙනස්කම් පිළිබිඹු කිරීමක් බවට සංගීතය පත්විය. මේ යුගවල නිර්මාණය වූ ප්‍රේම ගීත නිදසුනකට ගෙන බැලුව ද එක් එක් ගායකයාට ආවේණික වන අන්දමින් ප්‍රේමය නිර්වචනය වීම සිදු වනු දක්නට හැකි විය. ජෝති එක් ආකාරයකටත්, මිල්ටන් පෙරේරා තවත් ආකාරයකටත්, අමරදේවයන් තවත් ආකාරයකටත් ප්‍රේමය නිර්වචනය කළේය. බටහිර ගතහොත් බොබ් ඩිලන් ගායනා කළ කාව්‍යමය පද රචනා තුළ විරෝධාකල්ප මෙන්ම සමාජය තුළ වෙනසක් ඇති කරන්නට මිනිසුන් පොලඹවන සුළු අර්ථයක් ගැබ්ව තිබිණි. මයිකල් ජැක්සන් ගතහොත් ඔහුගේ අසමසම සංදර්ශන හැකියාව සහ සංගීත වීඩියෝ, රංගන කලාව සඳහා නව ප්රමිතීන් බිහි කරන්නට සමත් විය. 80 දශකය අවසන් සමයේ නන්දා මාලිනිය ගැයූ විරෝධාකල්ප ගීත ඒ සමයේ තරුණ පරම්පරාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන්නට හේතු විය.
මීට සාපේක්ෂව වර්තමාන සංගීත ක්ෂේත්රය ගෙන බැලුවහොත් ඒ තුළ දැවැන්ත විවිධත්වයක්, අසහාය තත්ත්වයේ ලා සැලකිය හැකි චරිත බිහි නොවීම පැහැදිලිවම දකින්නට හැකිය. අප රටේ නව පරපුරේ විවිධ ගායක ගායිකාවන් සේම, බටහිරින් බිහිව ඇති ටේලර් ස්විෆ්ට්, බියොන්සේ, ඩ්‍රේක් සහ එඩ් ෂීරන් වැනි ශිල්පීන් අතිමහත් ජනප්‍රියත්වයක් අත්පත් කර ගන්නට සමත් වී ඇති නමුත් සමාජය මත ඔවුන්ගේ බලපෑම බොහෝ විට අස්ථිර තත්ත්වයක පවතී. ඔවුන් විවිධ සංගීත දර්ශක සහ සමාජ මාධ්‍ය තුළ සිය ආධිපත්‍යය පතුරුවාගෙන සිටිය ද සංස්කෘතිකමය සහ දෘෂ්ටිමය වෙනසක් ඇති කරන්නට තරම් ඔවුන්ගේ බලපෑම ප්‍රබල නැත.
මේ සඳහා හේතු වූ කාරණා කිහිපයක් අපට විමසා බැලිය හැකිය.
වර්තමානයේ බහුලව පවතින ඩිජිටල් විකාශන වේදිකා (digital streaming platforms) සහ සමාජ මාධ්‍ය නිසා සංගීත කර්මාන්තය දැඩි ලෙස කුඩා කොටස්වලට බෙදී වෙන්වී තිබේ. අතීතයේ කලාකරුවන් ප්‍රවර්ධනය වූයේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය වැනි මධ්‍යගත නාලික ඔස්සේ පමණි. ඒ නිසා එක හා සමාන සංස්කෘතිකමය අත්දැකීමක් ඒ තුළ දක්නට හැකි විය. වර්තමානයේ ස්පූටිෆයි (Spotify), යූටියුබ් සහ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ අසීමාන්තික අවස්ථාවන් නිර්මාණය වී ඇති අතර කලාකරුවන්ට තමා කැමති ෂානරයන් ඔස්සේ නිර්මාණ කිරීමේ අවස්ථාව සැලසී තිබේ. නමුත් ගැටලුව වන්නේ සාමූහික, පොදු අත්දැකීම දියාරු වී ගොස් තිබීමය. තමාට අනන්‍ය වූ සංස්කෘතිමය අවකාශයක් නොමැති වීම තුළ තනි කලාකරුවකුට මහජන විඥානයට බලපෑම් කිරීමේ අවස්ථාව අවම තත්ත්වයකට පත් වෙයි.
මේ ඩිජිටල් යුගයේ දී යමක් කෙරෙහි අවධානය යොමු වීමේ අවකාශය දැඩි ලෙස පහත වැටී තිබේ. ටික්ටොක් වැනි සමාජ ජාල තුළ යම්කිසි සංගීත නිර්මාණයක් අතිශය ප්‍රචලිත වී ජනප්‍රිය වන්නට හැකි නමුත් ඒවායේ ජීවන චක්‍රයට ඇත්තේ කෙටි ආයුෂයකි. ගීත එක් රැයකින් අතිශය ජනප්‍රියත්වයට පත් වන අතර ඒ සමාන වේගයකින්ම ඒවා ජනතාව අතරින් වියැකී යයි. මේ ක්ෂණික ඉහළ නැගීම සහ පහළ වැටීම නිසා තනි කලාකරුවකුට කාලයත් සමග තිරසාර සමාජ බලපෑමක් ඇති කරන්නට ඇති අවස්ථාව අහිමි වී යයි. නමුත් අතීතයේ ජීවත් වූ මතකයේ රැඳුණු කලාකරුවන්ට සිය හැකියාවන් ඔප මට්ටම් කර ගනිමින් සමාජය තුළ ස්ථාවර වන්නට දශක ගණනාවක්ම හිමිව තිබිණි.
60, 70 සහ 80 වැනි දශක වූ කලී සංස්කෘතිකමය සහ දේශපාලනික වශයෙන් පිබිදීමක් පැවති සමයක් විය. එය විවිධ කලා නිර්මාණවලට රෝපණය වන්නට කදිම බිමක් සපයා දුන්නේය. අප රට ගතහොත් මේ වකවානුව වූ කලී ඉන්දීය තනුවලින් මිදී දේශීය තනු නිර්මාණය වන්නට පටන් ගැනුණු සමය විය. එය නව සංගීත ශිල්පීන්ට රෝපණය වී පූදින්නට කදිම අවස්ථාවක් විය. බටහිර රටවල් ගතහොත් වියට්නාම යුද්ධය, සීතල යුද්ධය ආදිය, විරෝධාකල්පමය සහ ස්වකීය අදහස් ප්රකාශනය සඳහා කදිම මාධ්‍යයක් බවට පත් කර ගන්නට අවස්ථාව ලබා දුන්නේය. වර්තමානයේ පවතින සමාජ දේශපාලනික භූමි දර්ශනය ඉතා සංකීර්ණ වන අතර සංගීතමය වශයෙන් විශිෂ්ට ශිල්පීන් බිහි වන්නට එවැනි සුවිශේෂ කාරණා හඳුනා ගන්නට පවා නොහැකි තත්ත්වයක් පවතී.
වර්තමාන සංගීතය අධික ලෙස වාණිජකරණයට ලක්ව ඇති අතර බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ කලා නිර්මාණයකට වඩා නිෂ්පාදනයක් ලෙස සංගීතය අළෙවි කර ගන්නේ කෙසේද යන්න පිළිබඳවය. සංගීත දර්ශක තුළ සහ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය කරවිය යුත්තේ කුමන ගීතය ද යන්න තීරණය කරන්නේ ජනතාව හෝ සංගීත ශිල්පීන් නොව එකී මාධ්‍ය ස්වයංක්‍රීයව පාලනය කිරීම සඳහා නිර්මාණය කර ඇති ‘ඇල්ගොරිදම’ (Algorithms) තාක්ෂණයය. එහිදී නිර්මාණශීලීත්වය සහ අර්ථවත් ගී පද ආදිය සැලකිල්ලට ලක් වන්නේ නැත. ප්‍රේක්ෂකයින් නරඹන ආකාරය මත පදනම්ව ඒවා ස්වයංක්‍රීයව ප්‍රවර්ධනයට ලක් වේ. එහිදී හුදෙක් ලාභය පමණක් සැලකිල්ලට ගනු ලබන අතර සංගීත රසිකයන්ව ගැඹුරින් ආමන්ත්‍රණය කරන නිර්මාණශීලීත්වයකට ඉඩකඩ ලැබෙන්නේ නැත.
කලාකරුවන් සිය රසිකයින් සමග අන්තර් සබඳතා පවත්වන්නේ කෙසේද යන්න තීරණය කරනු ලබන්නේ සමාජ මාධ්‍යයන්ය. මෙහිදී රසිකයින් සමග යම් ලෙංගතු බවක් ඇති කළ ද, සමාජ මාධ්‍ය තුළ නිරන්තරව රැඳී සිටීමත්, රසිකයන් අතර තමාට ඇති ප්‍රතිරූපය රැක ගැනීමත් සඳහා නිර්මාණශීලීත්වය පිළිබඳ අවධානය අඩු කරමින් නිරන්තරයෙන්ම කුමක් හෝ දෙයක් නිර්මාණය කරන්නට සිදු වන තත්ත්වයක් උද්ගතව තිබේ. මෙහිදී මතකයේ රැඳුණු කලාකරුවකු බවට පත් වන්නට අවශ්‍ය කරන, රසික සිත් කුල්මත් කරන, ඔවුන්ගේ හදවතේ සදා රැඳෙන නිර්මාණ බිහි කරන්නට තරම් අවකාශයක් සංගීත ශිල්පීන්ට හිමි වන්නේ නැත.
අතීතයේ යම් ගායන ශිල්පියකුට ජනප්‍රිය වන්නට තිබුණේ ගුවන් විදුලිය සහ රූපවාහිනිය පමණක් වුව ද, වර්තමානයේ දක්ෂතා ඇති අයෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ සිය හැකියාවන් ඉතා පහසුවෙන් එළි දැක්වීමේ හැකියාව ලැබී තිබේ. මෙය ධනාත්මක වර්ධනයක් වුව ද, අනෙක් අතට එයින් සංගීත ක්ෂේත්රය විවිධ ශිල්පීන්ගෙන් පිරී ඉතිරී යයි. බොහෝ ශිල්පීන් ප්‍රමාණයක් සිටිද්දී රසිකයින්ගේ අවධානය දිනා ගැනීම දුෂ්කර වන අතර මතකයේ රැඳුණු තත්වයක් හිමි කර ගන්නා තෙක් ස්ථාවරව රැඳී සිටීමට ඇති අවස්ථාව එයින් අහිමිව යයි.
මතකයේ රැඳුණු සංගීත ශිල්පීන්ගේ (legends) යුගය අවසන් වී ඇතිද යන ප්රශ්නය අප අපෙන්ම අසද්දී අනෙක් අතට පැවසිය යුත්තේ එවැනි ශිල්පීන් පිළිබඳ අර්ථකථනය ද අද වන විට වෙනස් විය යුතු නොවන්නේ ද යන්නය. වර්තමානයේ එවැනි ශිල්පීන් බිහි වන්නේ සමාජ මාධ්‍ය කෙරෙහි බලපෑම් කරන්නට ඇති හැකියාව හෝ පෞද්ගලික මට්ටමින් රසිකයින් සමග සම්බන්ධ වන්නට ඇති හැකියාව වැනි වෙනස්ම ආකාරයේ බලවේගයන්ය. අපේ රටේ ද එවැනි සංගීත ශිල්පීන් දකින්නට හැකිය. අප රටින් බැහැරව ගතහොත්, බිලී එලිෂ් සහ කෙන්ඩ්‍රික් ලුමාර් ආදීන්, දකුණු කොරියාවේ BTS වැනි කණ්ඩායම් නූතන සංගීතමය භූමි දර්ශනය තුළ අර්ථාන්විත කලාවක් ඇති කරන්නට හැකියාව තිබෙන බව පෙන්වා දී තිබේ. නමුත් ඔවුන්ට සමාජය කෙරෙහි ඇති කරන්නට හැකි බලපෑම, අතීතයේ ජීවත් වූ ශිල්පීන් තරම් නොවන්නේය. අනාගතයේ මතකයේ රැඳෙන ශිල්පීන් බිහි වනු ඇත්තේ ගෝලීය ආධිපත්‍යය ඔස්සේ නොව යම්කිසි නිශ්චිත ප්‍රජාවක් හෝ ෂානරයන් ඔස්සේ පමණි. මතකයේ රැඳෙන මේ නව කලාකරුවන්ට අමරදේව, ජෝති, මොහොමඩ් රාෆි, බීට්ල්ස් හෝ මයිකල් ජැක්සන් තරමට සමාජයට බලපෑමක් කරන්නට හැකියාවක් නොලැබෙනු ඇති නමුත්, සමාජය යම් පමණකින් වෙනස් කරන්නට බලපෑමක් ඇති කරන්නට ඔවුනට හැකියාව ලැබෙනු ඇත.
සංගීත ලෝකයේ ස්වර්ණමය යුගය ගෙවී ගොස් තිබිය හැකි නමුත්, එහි සුවඳ තවමත් රසික සිත් අමන්දානන්දයට පත් කරයි. සංගීත කර්මාන්තය පරිණාමය වෙමින් පවතින අතර යම් විශිෂ්ට නිර්මාණයක් බිහි වුවහොත් එයින් ලැබෙන ආශ්වාදය කිසිදා මතකයෙන් ඈත්ව නොයන බව ද පැවසිය යුතුය.
60, 70 සහ 80 දශකවල ජීවත් වූ මතකයේ රැඳුණු ශිල්පීන් ඒ අතීතය කාලයට ගැළපෙන සේ බිහිවූවන් වූ අතර, අද්විතීය සංස්කෘතික, දේශපාලනික සහ තාක්ෂණික තත්ත්වයන් උපතින්ම උරුම කරගෙන පැමිණියහ. වර්තමාන සංගීත කර්මාන්තයේ ව්‍යුහය සහ සමාජීය සන්දර්භය තුළ ඒ හා සමාන පුද්ගලයින් මතුවීම අපහසු වුවද, එය අර්ථවත් කලා නිර්මාණ බිහි වන්නට අවස්ථාව ඇති නොකරන බව එයින් අදහස් වන්නේ නැත. ඒ වෙනුවට සිදුවිය යුත්තේ මතකයේ රැඳෙන සංගීත ශිල්පීන් පිළිබඳ අර්ථකථනය වර්තමානය ක්ෂේත්රයට ගැළපෙන සේ වෙනස් කර ගත යුතු බවය.
සංගීත ලෝකයේ ස්වර්ණමය යුගය ගෙවී ගොස් තිබිය හැකි නමුත්, එහි සුවඳ තවමත් රසික සිත් අමන්දානන්දයට පත් කරයි. සංගීත කර්මාන්තය පරිණාමය වෙමින් පවතින අතර යම් විශිෂ්ට නිර්මාණයක් බිහි වුවහොත් එයින් ලැබෙන ආශ්වාදය කිසිදා මතකයෙන් ඈත්ව නොයන බව ද පැවසිය යුතුය.
නිරංජන් චාමින්ද කරුණාතිලක