පසුගිය වප් පුන් පෝදා සිට නොවැම්බර් 26 වන දාට යෙදෙන ඉල් පුන් පෝදා තෙක් වන මාසය අප බෞද්ධ සමාජයේ හැඳින්වෙනුයේ කඨින චීවර මාසය ලෙසිනි. බෞද්ධ ගිහි සමාජයට නිරතුරුවම අත් පත් කර ගත හැකි පුන්‍ය කර්ම අතර භික්ෂු විනය හා සෘජු සබැඳියාවක්ද සහිතව සිදු කෙරෙන මෙම කඨින චීවර පූජාව අපගේ බෞද්ධ සම්ප්‍රදායෙහි සඳහන් වනුයේ අට මහ කුසලයට අයත් වන්නක් ලෙසිනි. ඒ තත්වය කෙසේ වුව ද මේ වන විට පැවැත්වෙන කඨින පූජෝත්සව මීට දශක කිහිපයකට පෙර පැවැති තත්වයට වඩා ඉඳුරාම වෙනස් මුහුණුවරක් ගෙන ඇති බවට සාමාන්‍ය සිහි බුද්ධියෙන් යුතු ඕනෑම වැඩිහිටියකු වුව තම මතකයන් තුළින් තහවුරු කරනු ඇත. අප ගේ ජන සම්ප්‍රදායට අනුව අලුයම කුකුළා හැඬලීමෙන් පසු අපවිත්‍ර සතකු ලෙස ජන සම්මත කපුටා හැඬීමට පෙර “මහ පාන්දර” නමින් හැඳින්වෙන පරම පවිත්‍රයැයි සැළකෙන කාල සීමාව තුළ සිදු කෙරෙන කඨින චීවරය වැඩමවීම මේ වන විට ශීඝ්‍රයෙන් අභාවයට යමින් තිබේ.ඒ වෙනුවට එය ඊට පෙර දින සවස හෝ රාත්‍රියේ සිදු කෙරෙන අලි, ඇතුන් උඩරට පහත රට කෙළි සෙල්ලම් සහිත පෙරහැරකින් සිදු කෙරෙන්නක් ලෙස විපරිනාමය වී තිබේ.
ඒ අනුව කඨින පින්කම් යන්න කඨින සැනකෙළි වශයෙන් කාලානුරූපී ලෙස නම් කිරීමේ දී එතරම් දොසක් නැතැයි අපට සිතේ. නූතනයේ ජනප්‍රිය උප සංස්කෘතිකාංගයක් බවට පත්ව ඇති කඨින පෙරහැර ආදිය මුල් කොට ශබ්ද විකාශන ආදිය ද බහුල ලෙස භාවිතා වන බව පැහැදිලි ය. ඇතැම් කඨින පෙරහැරවල් යන මාර්ග දෙපස දිගින් දිගටම ශබ්ද විකාශන යන්ත්‍ර සවි කොට ඒවායින් පෙරහැර විස්තර සේම වෙළඳ දැන්වීම් ද ප්‍රචාරය කරන අවස්ථා තිබේ. මෙය හුදෙක් අතීතයේ සරල, චාම් එහෙත් ගාම්භීර බවකින් යුතු ආගමික උප සංස්කෘතිකාංගයක් සඳහා වානිජමය ආරෝපණයක් ලබා දීමකි. මෙම තත්වය යටතේ නූතන ජනප්‍රිය බුද්ධාගම තුළ මේ වන විට ශබ්ද විකාශන යන්ත්‍ර “නැතිවම බැරි” මෙවලමක් බවට පත්ව තිබේ. මෙය බෞද්ධ සේම අබෞද්ධ ආගමික සංස්කෘතික ධාරාවන් තුළම පිවිසි නවාංගයක් බව නිසැක ය.
එහෙත්, අප රටේ සමස්ත ජනගහනයෙන් 68% ක පමණ ප්‍රතිශතයක් බෞද්ධ වීම මත එහි වැඩිම භාවිතය බෞද්ධ සමාජය විසින් කරනු ලබන බව නොරහසකි. විශේෂයෙන් මේ වන විට අප රටේ අති බෞද්ධ වෙහෙර විහාරස්ථාන බොහොමයක දිනපතා නිතිපතා මෙම ශබ්ද විකාශන මගින් පිරිත් ආදිය විසුරුවා හැරීමේ නව සම්ප්‍රදායක් අරඹා තිබේ. ඉකුත් එල්ටීටීඊ යුද්ධය නිසාත් පසුව කොවිඩ් වසංගතය නිසාත් සාමාන්‍ය ජන ජීවිතය තුළට පිවිසි බිය, චකිතය දුරු කරවීමේ ආගකමි උපාය මාගර්යක් ලෙස ද මෙය ප්‍රවර්ධනය වන්නට ඇත.
පිරිත යනු මූලික බුදු සමය තුළ වෙන් වශයෙන් හඳුන්වා දී ඇති දේශනා සම්ප්‍රදායක් නොවේ. සූත්‍ර පිටකයට අයත් දේශනා අතුරින් එන චතුභාණවර පාලි හෙවත් සතර බණවර ලෙස වෙනම කොටසක් පිරිත් ලෙස හුවා දක්වා ඇත්තේ අතීතයේ අප රට වැඩ සිටි භික්ෂුන් විසිනි. “පරිසමන්ත තායස්සු රක්ඛතීති පරිත්තං’ හෙවත් “හාත්පසින් එළැඹෙන උවදුරු වලකනුයේ පිරිත් වේ” යන්න දේශීය බුදුසමයට අයත් වූවක් මිස මූලික ත්‍රිපිටකයේ සඳහන් වන්නක් නොවේ.
තත්වය එසේ තිබිය දී මේ වන විට අප රටේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන වලින් උදය සවස ආදී වශයෙන් අධික ශබ්දයෙන් යුතුව පිරිත් සහ ඇතැම් විට වන්දනා ගාථා සහ කවි ආදිය ශබ්ද විකාශන මගින් ප්‍රචාරය කරවීම පොදු සමාජයේ විවෘත කතිකාවකට ලක්ව තිබේ. අප මෙසේ මේ සම්බන්ධයෙන් බෞද්ධ සමාජය පමණක් ඉලක්ක කර ගනුයේ අනෙකුත් ආගමික ස්ථාන මුල් කොට සිදු කෙරෙන එවැනි අවභාවිතයන් පිළිබඳව එකී ආගම් හා සම්බන්ධ උගත්, බුද්ධිමත්,ගුණවත් පූජක තුමන් ලාගේ කාරුණික අවධානය අපේක්ෂා කෙරෙන අතරේ ය.
අප සමාජයේ පිරිත් හෙවත් සතර බණවර වශයෙන් වෙන් කොට දක්වා ඇති කොටසද හුදෙක් සූත්‍ර දේශනා හෙවත් බුදු දහම ම බැවින් එය “සුනාථ ධාර්ථ චරාථ” ආදී වශයෙන් දහමෙහිම විස්තර වන අන්දමට ඇසීමෙන් ධාරණය කර ගැනීමෙන් හා ඒ අනුව හැසිරීමෙන් පමණක් පිහිටක් ලද හැක්කකි.එවන් පසුබිමක් යටතේ ඉන් කොටසක් හුදෙක් ශ්‍රවණය කිරීමෙන් පමණක් පිහිටාරක්ෂාවක් ලද හැක්කේ කෙසේද? යන්න පිළිබඳව ගැටළුවක් පවතී. ඒ කෙසේ වුව අපගේ දේශීය බෞද්ධ සම්ප්‍රදාය අනුව වුව පිරිතක් ශ්‍රවණය කිරීමට ද ආචාර විචාර සම්ප්‍රදායක් තිබේ. එහි පදනම වනුයේ ”උපට්ඨිත සති” හෙවත් පිහිටුවා ගත් සිහියයි. ඉන් පැහැදිලි වනුයේ පිරිතෙන් පිහිටක් ලැබීමට නම් ඉන් මතු වන ආධ්‍යාත්මික දාර්ශනික සහ සදාචාරාත්මක අරුත මනැසේ ස්ථාපිත කරගත යුතු බවය. එහෙත්, ඒ සම්බන්ධයෙන් බෞද්ධ ගිහි සමාජය දැනුවත් කළ යුතු භික්ෂුන්ම මෙලෙස තම විහාරස්ථානවල සිට තම නිවෙස් තුළ දහසකුත් එකක් කටයුතු වල යෙදී සිටින ගිහි ජනතාවට උදය සහ සවස් කාල වල බලහත්කාරයෙන් පිරිත් ඇසීමට සැළැස්වීම සම්බන්ධයෙන් දිය හැකි ධර්ම ශාස්ත්‍රීය අර්ථ කථනය කුමක්ද? යන්න අපට නම් කිසිදු ලෙසකින් වටහා ගත නොහැක. දැන් අපි ඒ සම්බන්ධ ප්‍රායෝගික තත්වයන් විමසා බලමු.
මෙම ශබ්ද විකාශනයක හඬ එම හඬ පතුරුවන ස්ථානයට කිලෝ මීටරයක පමණ දුරට සාමාන්‍ය මිනිස් හඬ හඬක ප්‍රමාණයෙන් ඇසේ නම් එම ස්ථානයේ හෝ ඊට මීටර් සීයක් දෙසීයක් ආසන්නයක සිට ඊට කන් දෙන අයකුට එය කෙතරම් පීඩාකාරී ශ්‍රවණයක් විය හැකිද? එහි වඩාත්ම බැරෑරුම් කරුණක් වනුයේ එවන් බරපතල ශබ්ද දූෂණයක් සිදු වන අවස්ථාවක එවන් විහාරස්ථානයකට යන බෞද්ධයකුට එම අධික ශබ්දය අතරේ පහන් සිතින් යුතුව තම වැදුම් පිදුම් කර ගත නොහැකි බව ඒවායේ භාරකාර භික්ෂුන්ට නොසිතීම ය. නැතහොත් උවමනාවෙන් එම කරුණ නොතකා හැරීම ය. තම විහාරස්ථානයට පැමිණෙන සැදැහවතුන් පසෙක සිටිය දී තම විහාරස්ථාන භූමියෙන් එවන් අධික ශබ්දයක් නිකුත් වන පසුබිමක් තුළ එම විහාරවාසී භික්ෂුන් මෙවන් පීඩාවක් විඳිනුයේ ඇයිද? යන්නද අප හට ඉමහත් ගැටළුවකි. වරක් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පිරුවන් ආචාර්ය පදවියක් හොබවන තරුණ හිමිනමක අප හා කියා සිටියේ “නායක හාමුදුරුවන්ගේ කාමරේ ඒ සී නිසා ඇතුලට පිටත සද්ද එනවා අඩුයි. අපිට තමයි කනක් ඇහිලා ඉන්න නැත්තේ”යනුවෙනි.එමෙන්ම එම ශබ්ද විකාශන කට්ටල එම විහාරස්ථාන වල සංඝාවාස වලට බොහෝ දුරින් ඒවාට පිටුපාන අයුරින් සවි කොට ඇති බවට ද තොරතුරු ලැබේ. අප පොදු සමාජය හමුවේ මෙලෙස දක්වා හිඳිනුයේ මේ සම්බන්ධ විවෘත සමාජ කතිකාවක් එපමණකටම අවශ්‍ය බැවිනි.
ලොව විවිධ ආගමික ශාස්තෘවරුන් ගත්විට ඒ සියල්ලන් අතුරින් නිශ්ශබ්දතාවයේ අගය වැඩි වශයෙන්ම දේශනා කළ ශාස්තෘවරයා බුදුන් වහන්සේ බව අපගේ පෞද්ගලික වැටහීම ය. ඒ සම්බන්ධයෙන් සූත්‍ර විනය ග්‍රන්ථ වලින් ශාස්ත්‍රීය වශයෙන් උකහා ගත හැකි කරුණු බොහොමයකි. දීඝ නිකායේ සාමඤ්ඤ ඵල සූත්‍ර නිදාන කතාවට අනුව පීතෘ ඝාතක අජාසත් රජු ජීවක කෝමාරභච්ච වෙදැදුරුතුමන්ගේ ඉල්ලීම මත ඔහු ද සමඟ එක් දහස් දෙසිය පනහක භික්ෂු පිරිසක් ද සමඟ ජීවක කෝමාරභච්චයන්ගේ වනයේ වැඩ වෙසෙන බුදුන් වහන්සේ බැහැ දැකීමට යයි. එහෙත්, එම වනයේ එපමණ භික්ෂු පිරිසක් වැඩ සිටිය ද පිටතට නැඟෙන කතා බහක් තබා කැස්සක, කිවිසීමක හෝ කෑරීමක හඬක්වත් උයනින් පිටතට නො ඒම මුල් කොට රජු බියෙන් කිලිපොළා යයි. ඒ ජීවක කෝමාරභච්ච වෙදැදුරු තුමන් තමන් ඝාතනය කිරීම පිණිස උපායකින් එහි කැඳවා ගෙන එන්නට ඇතැයි සැක කරමිනි. එහෙත්, පසුව බුදුන් වහන්සේ එම උයන තුළ වූ වක්‍රාගාර ශාලාවේ මැද කනුවට පිට දී නැගෙනහිර බලා භික්ෂූන් ද පිරිවරා වැඩ හිඳිනු දුටු රජතුමාගේ බිය සැක පහව ගිය බවත් පීතෘ ඝාතක අජාසත් සතු මොහොතේ මගේ පුත් උදායි භද්‍ර තුළත් මෙවැනි නිහඬ සංවර ඇවතුම් පැවතුම් වේවායයි ප්‍රාර්ථනය කළ බවත් එම සූත්‍රයේ දැක්වෙයි.
ඛුද්දක නිකායට අයත් යසෝජමුඛ සූත්‍රය ද බුදුන් නිහඬතාවම ප්‍රිය කළ බවට ප්‍රබල සාක්ෂියක් සපයන ධර්ම ඛණ්ඩයකි.එම සූත්‍රයේ සඳහන් අන්දමට ධීවර කර්මාන්තය ජීවිකාව කොට ගත් යසෝජ නම් තරුණයා පන්සියයක් ධීවර තරුණයන් ද සමඟ පැවිදි වී බුදුන් වැඩ වෙසෙන රජගන නුවර ජේතවනාරාමයට පිවිසෙනුයේ උන්වහන්සේ බැහැදැකීම පිණිස ය. නමුත් බුදුන් උවටැන් කිරීම සම්බන්ධයෙන් එහි වැඩ වෙසෙන භික්ෂුන් හා වාද කර ගන්නා යසෝජ හිමියන් ඇතුළු පිරිසගේ උස් හඬ එම පරිසරයේ ශාන්ත නිසසල බවට බාධාවක් නිසා එම භික්ෂු පිරිස තමන් වහන්සේ හමුවට කැඳවන බුදුන් වහන්සේ එම භික්ෂු පිරිසට විහාරයෙන් පිටවන ලෙස අණ කළ පුවතක් යසෝජ සූත්‍රයේ සඳහන්ය. එහෙත් පසුව වග්ගුමුදා නදී තීරයට වැඩම කරන යසෝජ තෙරුන් ඇතුළු පිරිස වීර්ය වඩා රහත් ඵලයට පත් වූ බවත් පසුව බුදුන් වහන්සේ යළිත් එම පිරිස කැඳවා ගත් බව ද එම සූත්‍රයේ දැක්වෙයි.
මජ්ජිම නිකායේ බ්‍රහ්මායු සූත්‍රයේ සඳහන් අන්දමට බුදුන් වහන්සේ බැහැදුටු උත්තර නම් මානවකයා උන් වහන්සේ සම්බන්ධයෙන් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට පවසන මෙම වාක්‍යය අනුව වුව බුදුන් නිහඬතාව කොතෙක් ප්‍රිය කරන ලද්දේ දැයි සිතා ගන්නට අපට අසීරු නොවේ.
”උන්වහන්සේ ආරාමයට වැඩම කොට පිරිසට ධර්මය දේශනා කරන සේක. ඒ පිරිස උසස් තන්හි ලා කථා නොකරන සේක. ඒ පිරිස පහත් තන්හිලා කථා නොකරන සේක.ධර්ම කථාවෙන්ම ඒ පිරිස දක්වන්නාහ. කුසල් දහම් සමාදන් කරවන්නාහ. උත්සාහවත් කරවන්නාහ. සතුටු කරවන්නාහ පැහැදිලි බවද, දැනීමෙහි පොහොසත් බව ද, මිහිරි බව ද,කනට සුවදායක බව ද, ඝොෂය විහිදී නොයන බවද, නොවිසිරෙන බව ද, ගැඹුරු බව ද,බොහෝ නාද ඇති බව ද යන අංග අටෙන් යුක්ත වූ ඝොෂයක් ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මුවින් පිටවෙයි. පිරිසේ පමණට ශබ්ද නගන ස්වරයන් වූ සේක.උන්වහන්සේගේ ඝොෂය ඒ පිරිසෙන් පිටතට ද නොයයි”. මජ්ජිම නිකායට අයත් මහා සකුලුදායී සූත්‍රයෙන් ද බුදුන් වහන්සේ නිහඬතාව ප්‍රිය කළ බවට සකුලුදායී පරිබ්‍රාජකයා සම්බන්ධ මෙම සංසිද්ධියෙන් ප්‍රබල සාක්ෂියක් ගොනු කරගත හැක.
”සකුළුදායි(පරිබ්‍රාජක) තෙමේ දුර වඩින්නා වූ බුදුන් වහන්සේ දැක සිය පිරිස සන්සුන් කරන්නට මෙසේ කීය “භවත්නි, නිශ්ශබ්ද වව්! භවත්නි, ගෝෂා නොකරව්! ශ්‍රමණ භවත් ගෞතමයන් මේ දෙසට වඩින්නාහ. ඒ ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්දවීම රුචි කරන්නෝ ය. නිශ්ශබ්දවීමේ ගුණ කියන්නෝ ය. නිශ්ශබ්ද තැනකට එන්නට කැමැත්ත ඇත්තෝ ය අප ගෝෂා නොකර සිටින්නේ නම් මෙහි එන්නහි”යයි කීය. ඒ ඇසු පරිබ්‍රාජකයෝ නිහඬ වුහ.එසේ වූ කල භාග්‍යවතුන් වහන්සේ සකුලුදායි හුන් තැනට වැඩි සේක” ඉහත සඳහන් ධර්ම කරුණු විචාරශීලී ලෙස වර්තමානයට ගලපා ගත හොත් ඉන් එක් පැහැදිලි නිගමනයකට ඒමට අපට හැකියාව ලැබේ. එනම් බුදුන් වර්තමානයේ ජීවමානවම වැඩ සිටිය ද ශබ්ද විකාශන මගින් ශබ්ද දූෂණය කරන කිසිදු විහාරස්ථානයකට වැඩම නොකරන බවකි.
කදුරුපොකුණේ සුමංගල හිමි