අද රටේ මෙතරම් “නිරා”ලා බෝ වන්නේ කාගේ වරදින් ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

nira-praneeth-abayasundara

බොහෝ දෙනා ගේ අවධානයට යොමු නොවූවද අද වන විට අප සමාජයේ “නිරා”යන උපහාසාත්මක හෝ කෙටි නමින් හඳුන්වන තරුණ කල්ලි සිටිති. මොවුන් මෙසේ “නිරා’‘ යනුවෙන් හැඳින්වෙනුයේ නිර් ආගමික හෙවත් ආගමක් නොමැති යන අරුතිනි.ලෝකයේ තරුණ පෙළ ආගම් වලින් දුරස් වීමේ නැඹුරුව වරින් වර දක්නට
ලැබෙන්නකි. නූතනයේ එය වඩාත් ප්‍රබල ලෙස සිදුවන බව පෙනෙයි. මෙලොව පැවැත්ම සර්ව බලධාරී දෙවි කෙනෙකුන් ගේ අනසකට යටත්ව සිදු වන්නේය යන ආදීකාලීන ආගමික සංකල්පය මුළුමනින් බැහැර කරන මෙම තරුණ ප්‍රජාව හැඳින්වෙනුයේ අදේව වාදීන් (Atheist) යන නමිනි.

බොහෝ මානව විද්‍යාඥයන් අතර පවතින පොදු මතයක් නම් මෙම ආදේවවාදී සංකල්පයන් හි මූල බීජ ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ ග්‍රීක ශිෂ්ටාචාරයෙන් ඉස්මතු වූ බවකි. එහෙත්, එය එලෙසින්ම පිළිගත නොහැක්කේ ඊට සියවසකට පමණ ඉහත භාරත සමාජයෙන් මතු වූ එතෙක් එහි පැවැති බ්‍රාහ්මණ ආධිපත්‍යට එරෙහි ජටිල, ආජීවක,පරිබ්‍රාජක ඇතුළු ශ්‍රමණ සම්ප්‍රදායන් විසින් එම දේව සංකල්පය මුළුමනින් ප්‍රතික්‍ෂේප කොට තිබූ බැවිනි. බෞද්ධ ත්‍රිපිටකයට අයත් දීඝ නිකායේ සාමඤ්ඤ ඵල සූත්‍රයට අනුව බුදුන් දවස භාරතයේ සිටි ෂට් ශාස්තෘන් වශයෙන් හැඳින්වුණු ආගමික නායකයෝ ද එම පැරණි දේවවාදය ඉඳුරාම ප්‍රතික්‍ෂේප කළහ. ඔවුන් අතුරින් වඩාත් දාර්ශනික මුහුණුවරකින් යුතු ජෛන දහම ලොවට හඳුන්වා දුන් වර්ථමාන මහාවීර හෙවත් නිගන්ඨනාථ පුත්ත ද දේවවාදය මුළුමනින් පිළිකෙව් කළ අදේවවාදී ශාස්තෲ වරයෙකි.

එතුමන් ගේ සමකාලීනයකු වන සිද්ධාර්ථ ගෞතම හෙවත් බුදුන් වහන්සේ ද මැවුම්කාර දේව විශ්වාසය (ඉස්සර නිම්මානවාදය) පරම මිථ්‍යාවක් බව සෘජුවම දේශනා කළහ. තිපිටකයට අයත් අංගුත්තර නිකායේ නික නිපාතයේ තිත්ථායතන සූත්‍ර දේශනාවේ ඒ බව පැහැදිලිවම සඳහන් වෙයි.නමුදු එම බෞද්ධ ලේඛන ක්‍රිස්තු පූර්ව පස්වන සියවසට පසුකාලීන වීම මත මෙම අදේවවාදී සංකල්පයන්හි තිඹිරිගෙය ග්‍රීක ශිෂ්ටාචාරය බවට පොදු පිළිගැනීමක් තිබේ.ඒ කෙසේ වුව ද අප සමාජයේ “නිරා” නමින් හැඳින්වෙන තරුණ පෙළ අලුතින් බිහි වූ අදේව වාදීන් ලෙස හැඳින්විය නොහැක්කේ ඔවුන් ගේ බහුතරය වන බෞද්ධයන් ද දාර්ශනික වශයෙන් හුදු අදේවවාදීන් වන බැවිනි. බෞද්ධ සාහිත්‍යය දෙවි වරුන් පිළිබඳ සිය දහස් ගණන් රස කතා වලින් හැඩගැන්වී තිබීම වෙනම කරුණකි. නමුත් බුදු දහමේ දාර්ශනික හරය විදහා දැක්වෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, ත්‍රිලක්ෂණය ආදී කිසිදු මූලික ඉගැන්වීමක දේව සංකල්පයක් ගෑවී හෝ නැත.

එක්සත් ජාතීන් ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිල සංඛ්‍යා ලේඛන අනුව සමස්ත ලෝකයේ සිදුවන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය හා ලොව පුරා සාගින්න පැතිර යාම සම්බන්ධ බරපතල ගැටළුවක් පවතී. එනම් ලෝකයේ නිෂ්පාදනය වන ආහාර වලින් කොටසක් අපතේ යන හෝ අපතේ දැමෙන පසුබිමක් තුළ ලෝක ජනගහනයෙන් සැළකිය යුතු කොටසක් මිනිසකුට දරා ගත නොහැකි මට්ටමේ කුසගින්නකින් නිරතුරුව පීඩා විඳීම ය. ඒ නිසාම සිදුවන අකල් මරණ අතර මන්ද පෝෂණය හේතුවෙන් ළමා විය පසු කර ගත නොහැකිව සිදුවන ළදරු සහ ළමා මරණ ද වාර්තා වේ. මෙවන් කටුක යාර්ථයක් හමුවේ “සියල්ල කළ හැකි” බව පවසන දෙවියන් වහන්සේට එම අසරණ ජනතාවට ආහාර මවා දීම කෙසේ වෙතත් නිරන්තරයෙන් ඉවත යන හෝ ඉවත දැමෙන ආහාර අතිරික්තය ඔවුන් අතරේ සමසේ බෙදා හැරීමට නොහැකි මන්දැයි යුරෝපාකරයේ සහ ඇමරිකාවේ නූතන තරුණ පරපුර දැඩි සේ ප්‍රශ්න කරති. ඔවුන් අතුරින් එතෙක් පැවැති සාම්ප්‍රදායික දේව ධර්මවාදී (Theology) සංකල්ප ගිලිහී යාමටත් අදේවවාදී සංකල්ප මතුවීමටත් මෙය හේතු වී තිබේ.නමුත් ඥාන විමංසාවාද( Epistemology ) ලෙස ගැනෙන බුදු දහම වැනි දාර්ශණික පදනමින් යුතු ශාස්තෘ දේශනා කෙරෙහි මෙම අදේවවාදී බලපෑම් එතරම් එල්ල වී නැත.

මේ අතර මාක්ස්, ලෙනින්, ෆෙඩ්රික් එංගල්ස් ආදී දේශපාලන මත ඉදිරිපත් කළ දාර්ශනිකයන් ද ආගම් මගින් සමකාලීන සමාජ යථාර්ථය යටපත් කොට ජනතාව පාලකයන් ගේ වහලුන් කිරීමට දේවවාදී ආගම් වලින් ලැබෙන නොමඳ පිටිවහල දැඩි විවේචනයට ලක් කළහ. ඒ අතුරින් 1843 ලියන ලද “හේගල්ගේ දක්ෂිණාංශික දර්ශනය පිළිබඳ විචාරයක්” (Critique of Hegel`s Philosophy of Right)නම් නිබන්ධනය මගින් කාල් මාක්ස් සඳහන් කොට පසුව ලොව පුරා ප්‍රචලිත ‘ආගම අබිං වගේ’ යන ප්‍රකාශය හුදෙක් එම දේවවාදී ආගම් මත පදනම් වූවකි.මෙම 1927 වසරේ මුද්‍රණයෙන් නිකුත් වී තිබේ.

මෙලෙස පසුකාලීනව ලෝක වාමාංශික ව්‍යාපාරය විවිධ බෙදීම් වලට ලක්වන අතරේ 1935 දෙසැම්බර් මාසයේ ලංකා සම සමාජ පක්ෂය පිහිටුවා ගැනීමත් සමඟ ආරම්භ වූ ශ්‍රී ලාංකේය වාමාංශික ව්‍යාපාරය තුළ ද මෙම නිර් ආගමික මතය ස්ථාපිත වූ අතර එය හුදෙක් අදේවවාදී ස්වරූපයකට වඩා ආගම් වියුක්තික සහ ලෞකික (Non Religious;Secular ) ස්වරූපයක් ගන්නා ලදී. මේ වන විට ලොව බොහෝ රටවල් ද ආගම් වලින් වියුක්ත රාජ්‍ය දේශපාලනයක් ක්‍රියාත්මක වන අතර ඒ බොහෝ රටවල් ආගම ඇදහීම පුද්ගලයන්ගේ පෞද්ගලික හිමිකමක් ලෙස පමණක් තහවුරු කොට තිබිණ.ඉස්ලාම් ආගම පදනම් කර ගත් ෂරියා තීතිය මත ස්ථාපිත සමාජ දේශපාලන ක්‍රමයක් සහිත සෞදි අරාබියේ පවා පුද්ගල නිදහසට බාධා පමුණුවන ආගමික අංග ඉස්ලාම් ධර්ම ධරයන්ගේ සභාවේ(ජඉමතුල් උලෙමා) අනුමැතියට යටත්ව කෙමෙන් ඉවත් කිරීමට එහි පළමු නියෝ‍ජ්‍ය අග්‍රාමාත්‍ය සහ ඔටුන්න හිමි කුමරු සේම නීති වෘත්තිකයකු ද වන මොහොමඩ් බින් සල්මාන් අල් අවුද් කුමරු කටයුතු කරමින් සිටියි.එය ඉතා සාධනීය තත්වයකි.

මේ අතර අදත් ලෝකයේ කිසිදු ආගමකට නතු නොවන (Irreligion) සැළකිය යුතු ජන කොටසක් හිඳින අතර ආගම පිළිබඳව විමසීමේ දී ඔවුන් ලබා දෙනුයේ නිදහස් (Free) යන වදන පමණි.එහෙත්, බුදුන් විසින් ලොවට හඳුන්වා දුන් එවකට භාරතයේ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වෙමින් සිටි භික්ෂු නමින් හඳුන්වන ශ්‍රමණ පරපුර ශ්‍රී ලංකාව තුළ සංඝ සමාජය ලෙස ප්‍රතිෂ්ඨාපනය වීමේ දී තම නෛසර්ගික ස්වරූපය අමතක කොට පැරණි භාරතීය බ්‍රාහ්මණයන් හිමි කර ගෙන සිටි පූජක ස්වරූපයට පත් වීම නිසාත් ශ්‍රී ලංකාව තුළ බෞද්ධ භික්ෂුව සිංහල රජවරුන් ගේ පුරෝහිත භුමිකාවට සැපත් වීම නිසාත් හටගත් ශාසනික විලෝපනය පිළිබඳ මූල බීජය මේ වන විට බරපතල ලෙසින් වර්ධනය වී තිබේ.අප රටේ සිටි ථේරවාදී බුදු දහම සම්බන්ධ ගැඹුරු පර්යේෂණාත්මක දැනුම් සම්භාරයක් හිමි විද්වතකු වූ මහාචාර්ය ඩබ්ලිව්.එස් කරුණාරත්න සූරීන් මෙම බෞද්ධ පූජක රාජ සුසංයෝගය හඳුන්වන ලද්දේ “බමුණන් සිවුරු දැරීම” වශයෙනි.

මෙවන් විවිධාකාර තත්වයන් යටතේ ගැඹුරු ළිඳක් සමීපයට ගොස් එහි පත්ල දෙස බලන්නාක් මෙන් ගිහි සමාජය දෙස බැලිය යුතුය යන බුද්ධාවාදයෙන් හික්මිය යුතු භික්ෂුව වර්තමානයේ එම ගැඹුරු ළිංපත්ලේ මඩ ස්නානය කරමින් හිඳින බවට යමකු චෝදනා කළහොත් එය එක එල්ලේ ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් අප තුළ ද නොමැති බව අවංකවම කිව යුතු ය. එහෙත්, අපගේ මේ සඳහන අදටත් ශ්‍රී ලාංකේය භික්ෂු සමාජය නියෝජනය කරන අති සීමිත වූ සුපේශල ශික්ෂාකාමී ධර්මධර විනයධර භික්ෂුන්ට කෙසේ වත් අදාල නොවන බව ද විශේෂයෙන් කිව යුතු ය.

මෙම කරුණ සම්බන්ධයෙන් පසුගිය දිනයෙක අප හා අදහස් දැක් වූ නාහිමි නමක අතිශය සංවේගප්‍රාප්ත ලෙස කියා සිටියේ නූතනයේ අසන්නට ලැබෙන භික්ෂුන් ගේ අනේක විධ අවකල් ක්‍රියාවන් පිළිබඳව විමසීමේදී ඔවුන් අද වන විට විනය සංවරය හා ශික්ෂාකාමීත්වය අතින් භික්ෂූන් ගිහි සමාජයටත් වඩා පහල අඩියකට වැටී හෝ වැටෙමින් පවතින බවකි.
මෙවන් පසුබිමක් යටතේ අප සමාජයේ බෞද්ධ තරුණ පෙළ “නිරා” ලා හෙවත් නිර් ආගමිකයන් ලෙස කල්ලි ගැසීමට හේතුව ශ්‍රී ලාංකේය සංඝ සමාජය සාරධර්ම සේම සදාචාරාත්මක අතින් ශීඝ්‍ර පරිහානියකට පත් වෙමින් හිඳීම බව ද අප අකමැත්තෙන් වුව ද පිළිගත යුතු ය.නමුදු නූතන තරුණ පෙළ මෙලෙස ආගම් හැර යාමේ නිරාගමික වීම එක් අන්තයකි.එහෙත් මෙහි ඊට වඩා බියකරු අන්තයක් ද තිබේ.එනම් ඇතැම් විට ඔවුන් අතුරින් ත්‍රස්තවාදී ක්‍රියා සඳහා ද මුල් විය හැකි ආගමික කල්ලි( Cult ) බිහි වීමට ඇති හැකියාව ය. ඒ අනුව වත්මන් සංඝ සමාජයේ මෙම පරිහානී ලක්ෂණ සමාජයට කෙතරම් අවැඩදායක ද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර