පෙබරවාරි 4 යනු ශ්‍රී ලංකාවේ නිදහස් දිනයයි.මෙය ප්‍රාථමික පාසල් වියේ සිටම ජන මනැසට සාන්ද්‍රණය වන්නකි.එය ලොව සෑම සමාජයකටම පොදු තත්වයකි. මේ 2023 වසරට යෙදී තිබෙන්නේ 75 වැනි නිදහස් සැමරුම ය.
අපේ රටේ වර්තමානයේ පවත්නා විවිධ ආර්ථික හා සමාජීය ගැටලු නිසා ජනතාව මහත් වූ දුෂ්කරතාවයන්ට පත්ව පීඩා විඳිති. ආහාර හිඟය, ඖෂධ හිඟය, ඉන්ධන හිඟය ආදී වූ විවිධාකාර ගැටලු හේතුවෙන් එම දුෂ්කරතාවයන් තවදුරටත් තීව්‍ර වී තිබේ. මෙම පීඩාවන් හමුවේ ජනතාවට තම නිදහස සීමා වූ බව දැනීම දැනීම අරුමයක් නොවේ.ජනතාවට සතුටින් ජීවත් වන්නට තිබූ නිදහස දැඩි සේ වී ඇත. මේ හේතුව නිසා කලකිරීමටත්, සංවේගයටත් පත් ජනතාව තම පීඩනය පිට කරන්නේ උද්වේගකාරී අන්දමිනි.මනෝ උද්වේගය අධික වූ විට එය සමාජ වෛරයකට හා ප්‍රචණ්ඩත්වයකට පෙරළීමට තිබෙන ඉඩකඩ වැඩි ය. එදිනෙදා ජීවිතයේ දී මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද මෙය ප්‍රකාශයට පත්වන අන්දම දැකිය හැකිය.සමාජ විද්‍යාත්මකව සමාජ සංත්‍රාසය (Social panic) ලෙස හැඳින්වෙන්නේ ද මෙවන් තත්වයකි.මෙය එක හා සමාන පුද්ගල මානසිකත්වයන් බද්ධ වූ කණ්ඩායම් ආවේගයක් මත පැනනඟින ලද්දකි.පසුව එහි සමාජමය ව්‍යාප්තියක් ද දැකිය හැකිව තිබේ.
අප යටත් විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගත් දිනය නිදහස් උත්සවය ලෙස 1948 වසරේ සිට සමරමින් ආවෙමු. සියවස් හතරකට අධික කාලයක් විවිධ ජාතීන්ට යටත් වී සිටි අප ඔවුන්ගේ පාලනයෙන් මිදීම සැමරීම සහ එලෙස නිදහස ලබා ගැනීම උදෙසා සටන් කළ වීරයන් අනුස්මරණය කිරීම වසරක් පාසා මෙම දිනයේදී සිදු කළෙමු. ඊට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සහභාගී වූයෙමු.
නමුත් මේ වනවිට මෙම 75 වැනි නිදහස් දින සැමරුම විවිධ පාර්ශ්වයන්ගේ විරෝධාකල්ප දිනයක් බවට පත්වී ඇත. එලෙස විරෝධාකල්ප ඇතිවී තිබෙන්නේ ඔවුන් වර්තමානයේ අත්විඳින පීඩනය නිසා ය. එම පීඩනය බාහිරට පෙන්වන ක්‍රමයක් ලෙස භාවිතා කරනු ලැබුවේ නිදහස් දිනයට කළු කොඩි එසවීම ය. එය සමාජ මාධ්‍යවලින් ද අපි දකිමු. මෙහිදී සමහරුන් ප්‍රතික්ෂේප කරන්නේ නිදහස සැමරීමට විශාල වශයෙන් මුදල් වැය කිරීම ය. තවත් සමහරුන් නිදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අන්දම ද දක්නට ලැබේ. තමන් අකමැති දෙයක් කළු කොඩි ඔසවා ප්‍රතික්ෂේප කිරීමට ජනතාවට අයිතියක් ඇත. නමුත් නිදහස සැමරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකිද ?අනෙක නිදහස සැමරීම ආණ්ඩුවේ යුතුකමක් වගකීමක් සේ දැකිය හැකිද.? එය රාජ්‍යයේ පුරවැසියන් සතු යුතුකමක් සේ නොසිතුවේ ඇයි?
නිදහස් දිනය සැමරීම සහ නිදහස ලබා ගැනීම සඳහා සටන් කළ වීරයන් සැමරීමෙන් අදහස් කරන්නේ යටත් විජිත පාලනයෙන් මිදීම සැමරීමයි .ස්වාධීන ජාතියක් ලෙස ජීවත් වන්නට ලැබීම අපි වසර හැත්තෑ පහක සිටම සමරන්නෙමු.නමුත් නිදහසින් පසු පත්වූ විවිධ පාලකයන්ගේ,රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම ඡන්ද දායක පුරවැසියන්ගේ ද වැරදි නිසා ඇති වූ සමාජ ආර්ථික අර්බුද හේතුවෙන් අද නිදහසේ ජීවත් වීම යන්න තර්ජනයකට ලක්ව තිබේ. එබැවින් නිදහස් දිනය එම ඛේදවාචකයට වගකිව යුතු නැත. ඊට වගකිව යුත්තේ නිදහසින් පසු ජීවත් වූ අපම ය.යමකුට කළ හැකි පරම නිග්‍රහය ඒ තැනැත්තාගේ මව සිහිකොට බැන වැදීම ය.නමුත් ඇත්ත වශයෙන්ම යමකුගේ වැරදි අඩුපාඩු සියල්ලට ඔහුගේ දෙමාපියන් වග කිව යුතු නැත.එය මව සිහිපත් කොට බැන වදින්නා ද දනියි.එය දැන දැනම තවෙ`කෙකුට මව සිහි කොට බනියි.ඒ බුද්ධිය ඉක්මවා ඉස්මතු වන හැඟීම් ආවේග නිසා ය.අප සමාජයේ බොහෝ දෙනෙක් මෙවර නිදහස් සැමරුමේ දී විවිධ අයුරින් පිට කරන ලද්දේ ඒ මනෝමය ආවේගයන් ය. නිදහස් දිනය යනු පීඩකයා නොවේ. පසුව අපහරණයට ලක් වූ පීඩිතයා ය.
නිදහස් දිනය දා කළු කොඩි එසවීමෙන් ජාතියක් ලෙස අප, අපේ දරු පරපුරට සහ ලෝකයට නිෂේධාත්මක පණිවිඩයක් ලබා දී ඇත.එය ඉතා අයහපත් පූර්වාදර්ශයකි.අප රටේ බොහෝ දෙනා නිදහස වෙනුවෙන් දිවි දුන්;කැප වූ සියලු දෙනාම මෙමගින් අවතක්සේරුවකට ලක් කොට තිබේ. නමුත් කවර විපත්තිකර තත්වයක් මැද හෝ ජාතියක් ලෙස අප නැගිටීමට උත්සුක විය යුතුය. එය සත්‍යයකි. ඒ සඳහා පදනම් වන විශේෂිත ගුණාංග අප තුළ වර්ධනය කර ගත යුතු ය. යටත් විජිත පාලනයෙන් මිදීම ශක්තිමත් කළ යුතු මතවාදයක් විනා වර්ජනයට සහ අපවාදයට ලක් කළ යුත්තක් නොවේ. තම නිවස ගින්නකින් දැවී ගියහොත් ඉතිරි වන ලී ගඩොල් ආදියෙන් නැවත එය ගොඩනඟනු මිස ගින්නෙන් පළිගැනීමට ඒවා ද විනාශ කරන්නට යාම යහපත් පූර්වාදර්ශයක් වන්නේ නැත. සියලු දේ විනාශ වූ රටවල් එම අර්බුදවලට මුහුණ දී ඒවා මැඩගෙන ගොඩනැගී ඇත්තේ ජාතියක් ලෙස තමන්ගේ වටිනාකම් සහ ඒවා මත මානව සම්බන්ධතා වර්ධනය කිරීමෙන් මිස සමාජයට වෛර කිරීමෙන් නොවන බව අවධාරණය කළ යුතු ය.එසේ කළ හොත් සිදු වනුයේ දැනට අප සමාජයක් ලෙස අත්විඳින පරාජය තව දුරටත් තහවුරු වීම පමණි.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ඉන්දු පෙරේරා