අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීම යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, වැඩ බලන අධ්‍යපන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව හෝමාගම පුරවරය කේන්ද්‍ර කරගනිමින් දෙවැනි වරටත් සංවිධානය කෙරුණු ‘ධර්ම රශ්මි 2024’ පොසොන් කලාපයේ පැවති පාසල් අංශයේ පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් ප්‍රදානයට හෝමාගම පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී එක් වෙමිනි.
මේ අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය:
“අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අවුරුදු දහස් ගණනකට පෙර මෙරටට වැඩමවීමෙන් අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය හා ශිෂ්ටාචාරය නිර්මාණය වූ බව කවුරුත් පිළිගන්නා සත්‍යයක්. ඒ අනුව ලාංකේය අධ්‍යාපනයේ ආරම්භයත් සමඟ අභයගිරිය හා මහා විහාරය ආශ්‍රිතව අන්තර්ජාතික මට්ටමෙන් විශාල දැනුම් සම්භාරයක් බෙදා දීමෙන් දැනුම් කේන්ද්‍රය බවට පත් වුණේ මහින්දාගමනයෙන් පසු අනුරාධපුරයයි. පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු සඳහන් කරන පරිදි අවුරුදු දාහක් ලාංකේය ශිෂ්ටාචාරයේ දියුණුවේ කේන්ද්‍රීය නගරය ලෙස පැවති අනුරාධපුරය ලෝකයේ එවකට පැවති දියුණුම නගර අතර දස වැනි ස්ථානයේ පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළි වන බව සඳහන් වනවා. ඒ අනුව ලාංකේය අධ්‍යාපනයේ හැඩතලය නිර්මාණය කිරීමේ කාර්යභාරය මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සමඟ ආරම්භ වූ බව මොනවට පැහැදිලියි.
“අධ්‍යාපනයේ එක් අරමුණක් වන්නේ අපේ සංස්කෘතිය අනාගත පරම්පරාවට පවරා දීමයි. සභ්‍යත්වය, ශිෂ්ටාචාරය පරම්පරාවෙන් පරම්පරාවටම ඉදිරියට ගෙන යෑම මේ දරුවන් සත්පුරුෂයන් බවට පත් කළොත් පමණයි සිදු විය හැක්කේ. නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා විසින් ප්‍රකාශ කර තිබෙන ලොව පුරා ප්‍රචලිත ප්‍රකාශයක් තිබෙනවා ‘Education is the most powerful weapon which you can use to change the world’ ‘අධ්‍යාපනය කියන්නේ ප්රබලතම ආයුධයක්. මක් නිසාද යත්: නුඹට ලෝකය වෙනස් කිරීමට එය භාවිත කළ හැකි බැවිනි’. ඒ නිසා ලෝකය ඉදිරියටම ගෙන යන විවිධ දක්ෂතා කුසලතා නිර්මාණාත්මක හැකියාව ඇති මිනිසුන් බිහි කරන්නේ අධ්‍යාපනයෙන්. දරුවකු කුඩා කල පටන් සිතනවාට වඩා වැඩිපුර යමක් සිතන්න, දකිනවාට වඩා වැඩිපුර යමක් දකින්න, ඇසෙනවාට වඩා වැඩිපුර යමක් අසන්න දියුණු චින්තනයක් සහිත නිර්මාණාත්මක මිනිසුන් බිහි කිරීම සඳහා පාසලේදී ලැබෙන නිර්මාණකරණ අත්වැල උපකාරි වෙනවා.
“අප කුඩා කාලයේ වෙසක් එකට, පොසොන් එකට අපේ ගම් පළාතේ අපේ යාළු මිත්‍රාදීන් සමග කූඩු නිර්මාණය කළා. බට ගහක් කපාගෙන ඇවිල්ලා ඔට්ටපාලුවලින් කූඩු බැඳලා රබර් කිරිවලින් කොළ අලවලා කූඩු හදන වැඩ තමයි අප කුඩා කාලයේ අපේ ගම්වල කළේ. ඒ නිසා එවැනි අත්දැකීම් මත පන්සල, දහම් පාසල, පාසල පදනම් කරගෙන නිර්මාණාත්මක දේ කරන්න පුරුදු වීම නිසා මට පුළුවන්කම ලැබුණා මේ ප්‍රදේශය වෙනස් ආකාරයකට නිර්මාණය කරන්න. ඒ අනුව මීට අවුරුදු දහයකට දොළහකට පෙර නාටුගැහුණ පොල් ඉඩමක් ලෙස පැවතුණු මේ භූමිය කිසිවකුත් කිසිදාකවත් අනුමත නොකරන පාරක්තොටක් නැතුව ඉඩමක් මැද්දේ පාසලක් හදන්න මා තීන්දුවක් ගත්තා.
“ඒ අනුව සියලු දෙනාම මෙය අසාර්ථක වෙනවා යයි කියද්දිත් මම පන්ති කාමර 17ක් සහිත සමාන්තර ශ්‍රේණි සහිත හය වැනි ශ්‍රේණියේ සිට ද්විතීයික පාසලක් ආරම්භ කළා. විශේෂ ගුණාංග රාශියක් සහිතව අපි උදේ 7.30 සිට හවස 3.30 දක්වා ඒ වෙනුවෙන් කැප වෙන්න කැමති රජයේ ගුරු සේවයේ උත්තම ගුරුවරු පිරිසක් සේවයට කැඳවාගත්තා. තමන් හැදූ වැඩූ මවුපියන්ට දණගහලා වැඳලා ආවද කියලා ළමයින්ගෙන් විමසලා බලන්න කිවුවා. කැන්ටින් කිසිවක් නැති මේ පාසලට එන විට බත් පාර්සල් දෙකක් අරගෙන එන්න කීවා. සිකුරාදා දිනවලට ජාතික ඇඳුම අඳින්න කිවුවා. පෝය දවසට පාසලේ සිල් ගන්න කිවුවා. දරුවන් ඉතා විනයගරුක වුවමනාවෙන් ජීවිතය ගොඩනඟාගන්න දරුවන් බවට පත් වුණා. විදුහල්පතිවරුන් ගුරුවරුන් මහන්සි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට පන්ති 128ක් තිබෙනවා. සිසුන් හත් දහසකට ආසන්න පිරිසක් ඉන්නවා. ගුරුවරුන් තුන් සියයකට ආසන්න පිරිසක් ඉන්නවා. ආසියාවේ විශාලතම ආදර්ශ ද්විතීයික පාසල බවට මහින්ද රාජපක්ෂ විද්‍යාලය පරිවර්තනය වෙලා තියෙනවා.
“ඒ වාගේම වර්ග සැතපුම් 25,332 ඇතුළෙ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ මහින්ද රාජපක්ෂයෙන්. ඒ 768 දෙනෙක්. මේ 768 දෙනාම සියයට සීයක් ප්‍රතිඵල ලබමින් උසස් පෙළ කරන දරුවන් බවට පත් වුණා. ඔවුන්ට අප සියලු දෙනා උදවු කළා. ඒ කාලේ මම අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් සිටියදී මගේ ගෝලයෝ මහාචාර්ය හරේන් ප්‍රනාන්දු වගේ අයත් උසස් පෙළ පන්තිවලට ඇවිත් ඉගැන්නුවා. මමත් ඉගැන්නුවා විවිධ රටවලින් විශාල ලෙස උදවු කළා. මේ පාසලේ විතරයි අංග සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කළ පන්ති කාමරයක් තිබෙන්නේ. කොරියාවෙන් වියදම් කරලා එය හැදුවේ.
“ඒ වගේම අපේ විද්‍යාලයේ ඉතා කාර්යක්ෂම ලෙස ඵලදායක වැඩ කරපු ගුරුවරු වැඩි දෙනෙක් මේ කලාපය අවට පාසල්වල විදුහල්පතිවරුන් ලෙස සේවය කරනවා. ඒ අය ඒ ආදර්ශය පල්ලෙහාට ගෙනිච්චා. ඒ නිසා මා අධ්‍යාපන ඇමැති වන විට හෝමාගම අධ්‍යාපන කලාපය බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප අතරින් අවසාන ස්ථානයේ සිටියේ. මේ වන විට එය බස්නාහිර පළාතේ පස්වැනි ස්ථානයට පත්වෙලා තියෙනවා. මම අධ්‍යාපන ඇමතිවරයා නොවුනත් මෙවර මගේ අයවැය ප්‍රතිපාදන යටතේ මේ කලාපයේ සියලුම පාසල් සඳහා සුහුරු පන්ති කාමරය බැගින් ලබාදීම සඳහා ලක්ෂ හත්සීයක මුදලක් කලාපයට වෙන් කරලා තියෙනවා.”
හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ. දමින්ද චින්තක, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද, ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සිසිර පරණතන්ත්‍රී, මෙහෙයුම් අධ්යක්ෂ නීතිඥ ජනක රණතුංග, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල මහත්වරුන්, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ සහකාර විදුහල්පති යසස්සි හිමි, හෝමාගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි පුෂ්පානි ආදිහෙට්ටි මහත්මිය ප්රමුඛ විදුහල්පතිවරුන්, ගුරු මහත්ම මහත්මීන්, මවුපියන් හා සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.