අධික ශබ්දයෙන් ආගමික වතාවත් ප්‍රචාරය කිරීමට නීතියෙන් අවසර තිබේද?

sabda

අප උදෑසන අවදි වූ වේලාවේ පටන් රාත්‍රි නින්දට යන මොහොත දක්වා විවිධාකාර ඝෝෂාකාරී ශබ්දයන් අපට ඇසේ.ඇතැම් තැනෙක එය පිරිත් හඬකි,තවත් තැනෙක පල්ලියක යාඥාවකි,තව තැනක පුද්ගලික සාදයකි,තව තැනෙක කර්මාන්ත ශාලාවකින් පිටවන ශබ්දයකි.මේ අනේකවිධ ඝෝෂාවන් නිසා පීඩවට පත්වන සාමාන්‍ය ජනතාවට ඉන් මිදීමට යම් නෛතික යාන්ත්‍රණයක් තිබේද? තිබේ නම් ඒ කුමක්ද යන්න සාකච්ඡා කිරීමට මෙතැන් පටන් අරඹමු.

අධික ලෙස ශබ්දය නිකුත් කිරීම නීතියේදී “ශබ්ද දූෂණය” ලෙස හඳුනවයි.ශබ්ද දූෂණය වලක්වාලීම සදහා අපට යොදා ගත හැකි පනත් ලෙස දණ්ඩ නීති සංග්‍රහය,අපරාධ නඩු විධාන සංග්‍රහය,පොලිස් ආඥා පනත හා ජාතික පරිසර අධිකරිය පනත යන පනත් පෙන්වා දිය හැකිය.ශබ්ද දූෂණය යනු “මහජන කරදරය ” යටතට අයත් වන තවත් එක් අංගයකි.මහජන කරදරය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තියේ අර්ථ නිරූපණය කර ඇත.ඒ අනූව ,
“මහජනයාට හෝ සාමාන්‍යයෙන් අසල පදිංචිව සිටින් හෝ දේපල භුක්ති විඳින ජනයාට පොදු පාඩුවක්,අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇති කරන නැතහොත් යම් පොදු අයිතිවාසිකමක් භුක්ති විඳීමේ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගැනීමට සිදු විය හැකි ජනයාට අවශ්‍යයෙන්ම පාඩුවක්,බාධාවක් ,අන්තරායක් හෝ අප්‍රසන්නතාවයක් ඇතිවන යම් ක්‍රියාවකට හෝ එබඳු නීතිවිරෝධී නොකර හැරීමකට වරදකරු වන තැනැත්තෙකු මහජන කරදරය සිදු කිරීමේ වරදට වැරදිකාරයෙක් වේ”ලෙස සදහන් වේ.මෙම වරදට වරදකරුවෙකු වන අයෙකුට මාස තුන දක්වා සිර දඩුවම් නියම කිරීමට අධිකරණයට බලය ඇත.

ඔබගේ ප්‍රදේශයේ යම් ඝෝෂාකාරී ශබ්ද නිසා ඔබ පීඩාවට පත් වී ඇත්නම් ඔබ කළ යුත්තේ වහාම පොලීසියට ඒ සම්බන්ධව පැමිණිලි කිරීමයි.එහිදී එම ශබ්දය නීතියෙන් අවසර දී ඇති ඩෙසිබල් ප්‍රමාණය ඉක්මවා යන බව තහවුරු කිරීම සදහා මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි විශේෂඥ ආයතනයකින් යම් වාර්තාවක් ලබා ගැනීමට හැකි නම් ඉතා ප්‍රයෝජනවත් වේ.මින් පසු ඔබගේ අසල්වාසීන් සමග ගොස් පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කිරීම මගින් අදාල ශබ්ද දූෂණය කරන පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසියට හැකියාව ඇත.යම් කරදරයක් “මහජන කරදරයක්” වන්නේ එමගින් යම් පිරිසකට හෝ කණ්ඩායකට බාධාවන විටකදීය.අසල්වාසීන් සමග පැමිණිලි කිරීමට යා යුත්තේ ඒ නිසාය.එසේම මේ සම්බන්ධව පොලිස් ස්ථානයකට පැමිණිලි කිරීමකින් තොරව නීතීඥවරයෙකු මාර්ගයෙන් පුද්ගලික පැමිණිල්ලක් වුවද මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමට ද හැකියාව තිබේ.

මහජන කරදරයක් ඇති විටෙක එය වලක්වා ගැනීම සම්බන්ධව ප්‍රතිපාදන සලසා ඇත්තේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත මගිනි.පනතේ 98 වගන්තිය මහජන පීඩාවක් ඉවත් කිරීමට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කිරීමට මහේස්ත්‍රත්වරයාට බලය ඇති බව දක්වයි.මෙම කොන්දේසි සහිත අඥාව ප්‍රකාරව කටයුතු නොකර අදාල ක්‍රියාවේ දිගින් දිගටම යෙදුනහොත් වගඋත්තරකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 185 වගන්තිය යටතේ නඩු පැවරීමට බලය ඇත.යම් හෙයකින් වගඋත්තරකරුවන් අධිකරණයට ඉදිරිපත් වී කොන්දේසි සහිත ආඥා ඉවත්කර ගැනීමට හෝ වෙනස් කර ගැනීමට ඉල්ලීමක් කළ හැක.එහිදී සාක්ෂි සලකා බලා අඥාව නියත කරනු ලැබුවහොත් අධිකරණ ආඥවේ සදහන් කාලයක් ඇතුලත අදාල පීඩාව ඉවත් කළ යුතුය.නොඑසේ නම් නැවැත්වීම කළ යුතුය.මේ කාර්‍යපටිපාටිය අනුගමනය කරමින් ඉතා කඩිනමින් “ශබ්ද දූෂණයයක්” නැවැත්වීමට නීතියේ අවස්ථාව ලබා දී ඇත.

බොහෝ නගරවල මාර්ගයන්හි ලවුඩ්ස්පීකර් යොදා ආගමික යාඥා හා ආගමික දේශන වැනි දේ ඉතා ශබ්දයෙන් ප්‍රචාරය කරනු ලබයි.1865 අංක 16 දරණ පොලිස් අඥා පනතේ 80 වගන්තියේ සදහන් වන්නේ,
” සහකාර අධිකාරීවරයෙකුගේ ශ්‍රේණිට පහල නොවූ ශ්‍රේණියක පොලිස් නිලධාරියෙකු විසින් නිකුත් කරනු ලද අවසර පත්‍රයකින් බලය දෙනු ලැබ ඇත්නම් මිස,ඒ අවසර පත්‍රයේ සඳහන් කරනු ලබන කොන්දේසිවලට අනුකූල නොවන අන්‍යාකාරයකින් කිසියම් තැනැත්තෙකු විසින් යම් ග්‍රැමෆෝනයක්,ශබ්ද විකාශන යන්ත්‍රයක්,මයික්‍රෆෝනයක්,ඇම්ප්ලිපයරයක් හෝ ස්වයංක්‍රීයව හෝ යාන්ත්‍රිකව හෝ විදුලි බලයෙන් ශබ්දය උපදවන, පතුරුවන හෝ විශාල කරන වෙනත් උපකරණයක්
(අ) යම් ප්‍රසිද්ධ ස්ථානයක දි හෝ
(ආ) ප්‍රසිද්ධ ස්ථානයකට ඇසෙන පරිදි යම් ආකාරයකට ශබ්ද උපදවන,පතුරුවන ,විශාල කරන වෙනත් යම් ස්ථානයක දී පාවිච්චි කිරීම හෝ ක්‍රියා කිරීම හෝ ක්‍රියා කරවීම හෝ කිරීමට සැලැස්වීම හෝ ඉඩ දීම නොකළ යුතුය.”
යනුවෙනි.මේ අනූව යම් ප්‍රසිද්ධ ස්ථානයක සවිකර ඇති ලවුඩ්ස්පීකර් එකක් මගින් යමක් ප්‍රචාරය කළ හැක්කේ පොලීසියේ පූර්ව අවසරය ඇත්නම් පමණි.

2000 අංක 53 සංශෝධනය මගින් අවසන් වරට සංශෝධනය වූ 1980 අංක 47 දරණ ජාතික පරිසර අධිකාරිය පනතේද “ශබ්ද දූෂණයට” අදාල ප්‍රතිපාදන දක්වා ඇත.එම පනතේ 23 (P),23(Q) හා 23(R) යන වගන්ති මීට අදාල වේ.23(P) හි සදහන් වන්නේ පනතේ දක්වා ඇති සීමා හා ප්‍රමිතීන්ට පිටින් “ශබ්ද දූෂණය” ඇති වන ක්‍රියා සදහා අවසර නොමැති බවයි.23(R) හි සදහන් වන්නේ බලපත්‍රයක් නොමැතිව පනතේ කොන්දේසිවලට හා සීමාවලට පටහැනිව ශබ්ද දූෂණය කරන අයෙකුට රුපියල් 15,000 කට නොඅඩු රුපියල් 120,000 කට නොවැඩි දඩ මුදලක් නියම කළ හැකි බවයි.

මෙම පනත යටතේ 1996.05.21 වන දින ගෙන ආ 1996 අංක 01 දරණ ශබ්ද පාලන රෙගුලාසි යටතේ යම් ක්‍රියාවකින් නිකුත් කළ හැකි ශබ්ද සීමා සදහන් කොට ඇත.ඒ අනුව යම් සීමාවකින් වට වූ ඉඩමක් තුළ උපරිම ශබ්දය පහතකර වේ.ප්‍රාදේශීය සභා සීමාවක් තුළ නම් දහවල් ඩෙසිබල් 55 රාත්‍රි ඩෙසිබල් 45,නගර සභා සීමවක් තුළ දහවල් ඩෙසිබල් 63 රාත්‍රි ඩෙසිබල් 50 අපනයන සැකසුම් කලාප තුළ දහවල් ඩෙසිබල් 70 රාත්‍රි ඩෙසිබල් 60 උසාවි,රොහල්,පුස්තකාල,පාසල්,ආගමික ස්ථානවලදී දහවල් ඩෙසිබල් 50 රාත්‍රි ඩෙසිබල් 45 වේ.නිවසක් තුළ තිබිය හැකි උපරිම ශබ්දය ඩෙසිබල් 60 කි.

මීට අමතරව මෙම ජාතික පරිසර අධිකාරිය පනතට 2011.12.29 දින අංක 1738/37 දරණ ගැසට් පත්‍රය මගින් වාහන නළා නාද කිරීම සම්බන්ධව සිමාවන් පනවා ඇත.මෙමගින් ද අරමුණු කරගෙන ඇත්තේ ශබ්ද දූෂණය නැවැත්වීම වේ.
අප මීළගට සලකා බැලිය යුත්තේ පන්සල්වලට හෝ පල්ලිවලට තම ආගමික චාරිත්‍ර හා කටයුතු අතරතුරදී අධික ශබ්දයෙන් යුතුව ලවුඩ්ස්පීකර් හෝ වෙනත් ශබ්ද උපදවන ක්‍රම භාවිතා කළ හැකිද යන්නය.හුණුපිටිය විහාරයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ විසින් එක් රාත්‍රියක බෙර ගසමින් ඝෝෂා ඇති කිරීම සම්බන්ධව පොලිස් ආඥා පනත යටතේ ගොනු කරනු ලැබු මාර්ෂල් එරෙහිව ගුණරත්න උන්නාන්සේ (1 NLR 179) නඩුවේදී අධිකරණය ප්‍රකාශ කරනු ලැබුයේ බෞද්ධ හෝ ප්‍රොතෙස්තන්ත්‍ර හෝ කතෝලික කිසිදු ආගමික ආයතනයකට මහජන කරදරයක් කිරීමට අයිතිය නොමැති බවයි.එසේම වැලිගම ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක ශබ්ද විකාශනය සදහා පොලීසිය විසින් අවසර නොදීමට එරෙහිව ගොනු කරන ලද ආශික් එරෙහිව බන්දුල හා වෙනත් අය (2007(1) SLR 191) නම් මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ආගමික කටයුතු ,මහජනතාවට හෝ අසල ජීවත් වන පොදු ජනතාවට පීඩාවක් ඇති කරන “මහජන කරදරය” සදහා අවසරයක් නොවන බවයි.මෙම නඩු තීන්දුවේදී බෞද්ධ පන්සල් මගින් සිදු කරන පිරිත් සජ්ජායනා සම්බන්ධව ද “පූජනීය සූත්‍ර මොරහඬ දී කීම පරිසරයේ නිශ්චලතාවයට බාධාවකි.

එසේම එවැනි සජ්ජායනකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත ඒවා බලෙන් පැටවීම බුදුන්වහන්සේගේ ඉගැන්වීම්වලට සම්පුර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි” යනුවෙන් සදහන් කරන ලදි.මෙම නඩු තීන්දුව ඉතා වැදගත් තීන්දුවකි.මෙම නඩුවෙන් පැහැදිලි වන කරුණ නම් ආගමක් ඇදහීමට ඇති අයිතිය භාවිතා කරමින් ශබ්ද දූෂණය හරහා කිසිවෙකු පීඩාවට පත් කළ නොහැකි බවයි.මෙම නඩුව “ශබ්ද දූෂණ නඩුව” ලෙස ද හඳුන්වන අතර ඒ දක්වා පැවති පීඩාකාරී ශබ්ද දූෂණ ක්‍රියා යම් තාක් දුරකට සීමා කිරීමට මෙය යම් රුකුලක් විය.
“මහජන කරදරය” යන නීතිමය සංකල්පට අමතරව “පුද්ගලික කරදරය” යන දිලීක්තමය වගකීම යටතේ දිසා අධිකරණයේ ද ශබ්ද දූෂණට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතී.මේ හරහා අදාල ශබ්ද දූෂණය වැලක්වා ගැනීමට මෙන්ම වන්දි මුදලක් ලබා ගැනීමේ හැකියව ද පවතී.

ශබ්ද දූෂණයට සියලු පුරවැසියන් එකාවන්ව විරුද්ධ විය යුතුය.මන්ද පීඩාකාරීත්වයෙන් මිදී සුවපහසු ජීවිතයක් ගත කිරීම සෑම පුරවැසියෙකුගේම අයිතියක් වන හෙයිනි.නමුත් ආගමේ නාමයෙන් සිදු වන ශබ්ද දූෂණයට ඇතැමුන් යම් ව්‍යංග එකඟතාවයක් පළ කරනවාද යන්නත් ඇතැම්විට සිතේ.එයට හේතුව නම් කර්මාන්තශාලා වැනි ස්ථානවලට එරෙහිව හඬ නගන බොහෝ අය ආගමික ආයතන කරනු ලබන මෙවැනි ක්‍රියා සම්බන්ධව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය.ආගමක් යනු මිනිසුන් පීඩාවට පත් කරන්නක් නොවේ.මිනිසුන්ගේ මානසික සුවය ඇති කරන්නකි.නමුත් භාවිතයේදී ආගමක් යම් අයෙකුට කරදරයක්,හිංසාවක්,බාදාවක් හෝ මානසික වශයෙන් පීඩාවක් ඇති කරනවා නම් එය සැබෑ ලෙසම එය ආගමක්ද යන්න හා ඔබේ ශාස්තෲ වරයා දේශනා කළ ධර්මයම ද ‍යන්න ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කළ යුතුය.

නීතීඥ සාරංග වාදසිංහ

එතෙර - මෙතෙර