හදිසි අනතුරකදී සිදුවන කායික හානි වශයෙන් අප බොහෝ දෙනෙකු දකින්නේ ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවන තුවාල සහ අස්ථි බිඳීම් වැනි දේ පමණි. එහෙත් එවැනි අනතුරකදී ස්නායු පද්ධතියට හානි සිදු වුවහොත් ඉන් ඇති වන අනතුර සහ හානිය ඉතාමත් බරපතල විය හැකිය. එනිසාම ස්නායු පද්ධතිය අප ශරීරය තුළ ඉතා ආරක්ෂාකාරී අන්දමින් ආවරණය වී පවතී. නිදසුන් වශයෙන් ගත් කල මොළය ආරක්ෂා වන්නේ හිස් කබලෙනි. සුෂුම්නාව කශේරු නාලය තුළ පිහිටා තිබේ.
ස්නායු පද්ධතියට හානි සිදු වන්නේ කොහොමද?
ප්‍රධාන වශයෙන්ම හදිසි අනතුරු යනු රිය අනතුරු, වැටීම් සහ අනෙකුත් ගෘහස්ථ අනතුරු ආදියයි. මේ හේතුවෙන් මොළයට සහ සුෂුම්නාවට හානි සිදුවිය හැකි අතර හානියේ ස්වරූපය අනුව රෝග ලක්ෂණ සහ සුව වන ප්‍රමාණයත් වෙනස් වෙයි.
අපි මෙලෙස උදාහරණ මගින් පැහැදිලි කර ගනිමු.
හිසට සුළු හානියක් සිදු වූ විට
අනපේක්ෂිත ලෙස යම් පුද්ගලයකු උඩක සිට බිමට ඇද වැටී හිස බිම වැදුනේයැයි සිතමු. මෙහිදී හිසට සිදුවන හානිය සුළු එකක් නම් (minor head injury) හිස් කබලට මොළයට හානි සිදු වන්නේ නැත. නමුත් රෝගියාට සිහිය නැතිව යා හැකිය. එසේ වුවද බරපතළ අනතුරක් සිදු නොවූ නිසා පසුව රෝගියා ප්‍රකෘති තත්ත්වයට පත්වන අතර අනතුර නිසා හානියක් සිදුවී ද නැත.
ඊට වඩා මඳක් වැඩි හානියක් වූ විට
ඉහත කී අනතුරම ඊට වඩා ප්‍රබලව සිදුවූයේ යැයි සිතමු. එවිට ද රෝගියාට සිහිය නැතිව යයි. එසේම වැටීමට පෙර හා වැටීමට පසුව ගතවූ සුළු කාලයක් ඇතුළත සිදුවූ දේවල් සම්බන්ධ මතකය රෝගියා තුළ නැති වී යයි. මෙහිදීද මොළයට හානි සිදු නොවුණත් එම සිද්ධිය සම්බන්ධයෙන් නැති වී ගිය මතකය යළි ආපසු ඇති නොවේ. සිද්ධිය සම්බන්ධ මතකය ආපසු ගත නොහැකි වුවත් රෝගියාගේ සාමාන්‍ය මතකය හා මතක තබා ගැනීමේ හැකියාව නැතිවී යන්නේ නැත. රෝගියා ගේ හිසට වූ හානියට වේදනා නාශක ගැනීම ප්‍රමාණවත් වේ.
තදබල වැටීමකදී මොළය තුවාල වීම
සමහර අවස්ථාවල තදබල ලෙස සිදු වන මෙබඳු වැටීමකදී රෝගියාගේ මොළය තුවාල වීමට පුළුවන. එහිදී තුවාල වූ ස්ථානය හා තුවාලයේ ප්‍රමාණය අනුව රෝග ලක්ෂණ ද වෙනස් වේ. තුවාලය ස්ථිර එකක් වුවහොත් රෝග ලක්ෂණ ද සැමදාට ම පවතිනු ඇත.
එය තවදුරටත් මෙලෙස විස්තර කළ හැකිය.
හිස වැදීම නිසා මොළය තුවාල වීමෙන් යම් කෙනකුගේ එක් පැත්තක අතක් සහ කකුලක් අප්‍රාණිකව ගියහොත් එහි අරුත ඒ පුද්ගලයා අංශභාග රෝගියකු බවයි. එම පුද්ගලයාගේ මොළයේ විනාශ වූ කොටස යළි යථා තත්ත්වයට පත් කළ හැකි නොවේ. එම හානිය සදාකාලික ය. එනිසා මොළයේ එම කොටසින් කරන ලද ක්‍රියාවක් යළි පෙර මෙන් කිරීමට නොහැකි වනු ඇත.
අනතුරකින් ස්නායු පද්ධතියට සිදුවන හානියක් ප්‍රකෘති තත්ත්වයට පත්වීම එක් එක් පුද්ගලයාට අනුව වෙනස් වන බව ඉහත සඳහන් කළෙමු. එසේම අනතුරක් නිසා වන හානියක් ස්ථිර වශයෙන්ම සුව වේවි යැයි හෝ ස්ථිරවම සුව නොවේවි යැයි නිශ්චිතව යමක් පැවසීම අසීරු ය. බොහෝ විට මෙය සුව වන්නේ ප්‍රතිකාර මගින් නොව ඉබේම ය. ඇතැම් විට භෞත චිකිත්සක ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය. එහෙත් මේ සම්බන්ධ අවබෝධයක් නැතිකම නිසා මෙම අනතුරුවලට ලක්ව රෝහල්වලින් නික්මෙන සමහරු විකල්ප වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් අතිවිශාල ලෙස මුදල් වැය කරති.
මොළය ක්‍රියා කරන්නේ විද්යුත් ක්‍රමයකට අනුවය. වැටීම නිසා මොළයේ එම විද්‍යුත් ක්‍රියාවලියේ වෙනස්කම් සිදුවේ. එනම් තුවාල කැළල්වලින් විදුලි කාන්දුවක් සිදු විය හැකිය. එය හඳුන්වන්නේ ෆිට් එක හෙවත් අපස්මාර රෝගය ලෙසිනි. අපස්මාර රෝගය පාළනය කිරීම සඳහා ප්‍රතිකාර තිබේ. නිසි ලෙස රෝගය පාළනය කිරීමට නම් නොකඩවා ඖෂධ ගත යුතුය.
ස්නායු ආබාධවලට ප්‍රතිකාර
හදිසි අනතුරක් නිසා හටගත් ස්නායු ආබාධ සඳහා ප්‍රතිකාර තීරණය වන්නේ අනතුරින් සිදුවී තිබෙන හානියට වෛද්‍ය විද්‍යාත්මකව කළ හැකි දේ අනුවය. මෙහිදී මොළය තුළට ලේ ගලා ඇත්නම් එය ඉවත් කිරීම අනිවාර්ය වේ. ඇතැම් විට හදිසි සැත්කමක් කර ලේ ඉවත් කිරීමට සිදුවනු ඇත.
පශ්චාත් විකම්පන ආබාධය ( post concussional disorder)
කිසියම් අනතුරකදී, එනම් මධ්‍යම ප්‍රමාණයේ කම්පනයක දී මොළයට දැනෙන මෙම තත්ත්වය බාහිර තුවාල ඇතිව හෝ නැතිව වුවද හට ගත හැකිය. මාස තුනක් පමණ පැවතිය හැකි මෙම තත්ත්වයේදී කලකිරීම් සහගත බව, මනසේ කලබලකාරී බව, කාංසාව, නින්ද නොයාම, ඔක්කාරය, හිසරදය ආදී ලක්ෂණ හට ගැනීමට පුළුවන.
පශ්චාත් ක්ෂතික ආතති ආබාධය ( post traumatic stress disorder – P.T.S.D.)
හිසට සිදුවන අනතුරුවල දී ඕනෑම කෙනෙක් තදබල ලෙස බියට පත් වනු ඇත. එහිදී පශ්චාත් ක්ෂතික ආතති ආබාධය හට ගැනීමට අවකාශ ඇති අතර එම සිද්ධියෙන් මාසයක් ගත වූ පසුවත් කලබල වීම, තැති ගැනුණු ස්වභාවය, නින්ද නොයාම, කෝපය, මානසික ආතතිය, එදිනෙදා ජීවන රටාවෙන් බැහැර වීම වැනි ලක්ෂණ රැසක් ඇතිවේ. මෙවැනි තත්ත්වයක් නම් මනෝ වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ හැකිය.
සුෂුම්නාවට හෙවත් කොඳු නාරටියට හානි වීම
කොඳු නාරටියට හදිසි අනතුරකින් හානි සිදු විය හැකි ක්‍රම දෙකකි. අනතුරකින් බෙල්ල ප්‍රදේශය තුවාල වී සුෂුම්නාවට හානි සිදු වුණොත් අත් දෙක ක්‍රියාකාරී ව තිබුණත් ඉඟටියෙන් පහළ කොටස සහ දෙපා පණ නැති වෙයි. මළ මුත්‍රා පහ කිරීම ද අපහසු වනු ඇත.
ස්නායු බෙල්ල හරහා පැමිණ අත්වලටත්, තුනටියෙන් කකුල් දක්වාත් යනු ඇත. එනිසා අනතුරකින් තුනටියට හානි සිදු වුණොත් ඉඟටියෙන් පහළ දෙපා අප්‍රාණික වන අතර මළ මුත්‍රා පහ කිරීමද අපහසු වෙයි.
මෙවැනි අවස්ථාවල එම රෝගියාට ප්‍රතිකාර කළ හැක්කේ රෝග ලක්ෂණවලට ය. අත් පා ක්‍රියා කරවීමට භෞත චිකිත්සක ප්‍රතිකාර කළ යුතුය.
අනතුරක් වූ විට ප්‍රතිකාර කිරීම වරදක් නොවේ. නමුත් වඩා සුදුසු අනතුරක් වන්නට ඇති ඉඩ ප්‍රස්ථා මග හැරීම ය.
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා
ඉන්දු පෙරේරා