අන් සතු ළඳුන් ගෙන් කම් සුව පැතූ කැලණි ගඟ බඩ ධනවතතෙකුට එල්ල වූ සොඳුරු ජන කවි ප්‍රහාරය

ජන වහර යනු අප සමාජ විඥානය තුළින් මතු වන සාමූහික,පොදු හැඟීම්,ආවේග,අදහස් උදහස් සිතුම් පැතු ආදියේ පොදු පිළිබිඹුවකි.

හුදෙක් උගතුන්,බුද්ධිමතුන් නොවන සාමාන්‍ය ජන සමාජයෙන් ප්‍රේරණය වීම ඒවායින් දැකිය හැකි සරළ බව ආදිය සළකා ඒවා අතීත ගැමියන්ගේ මෝඩ සිතුවිලි සේ සළකා බැහැර කිරීමට නූතන පරපුරේ ප්‍රබුද්ධයැයි කියා ගන්නා පිරිස් පසුබට නොවෙති.

‘‘කැලණි ගඟානෝ – නිතරම වතුර ගලානෝ

කෙටල පටානෝ – නිතරම උඩ යට යානෝ

මී හරකානෝ – නිතරම ඔලූව වනානෝ

ඇටිකිති ජානෝ – නිතරම ජෙග ජෙග ගානෝ ’’

ඉහත සඳන් වනුයේ ඉතා සරල වදන් පෙළකින් යුතු ජන කවියකි. සියනෑ කෝරළයේ ජන කවියක් සේ සැළකෙන මෙය සියනෑ කෝරළයේ හෝ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල වැඩිදෙනෙකු අසා පුරුදු සරල පැදියකි.

අප රටේ සිටි සිවිල් සේවා නිලධාරියෙකු සහ විශිෂ්ට ජනශ‍්‍රැති පර්යේෂකයෙකු වූ නි.බ.මා. සෙනෙවිරත්නයන් විසින් 1964 වසරේ සම්පාදනය කළ ‘‘සිංහල කාව්‍ය සංග‍්‍රහය – මාතර යුගය’’ කෘතියෙහි (පිටුව 200) ද සඳහන් ය. මෙය ජාතික කෞතුකාගාර ප‍්‍රකාශනයකි.

මාතර (සාහිත්‍ය) යුගය ක‍්‍රි.ව. 1720 – 1830 දක්වා වන වසර 110ක කාල පරිච්ඡේදයක් පුරා දිව යන්නකි.

ළමා නිර්මාණයක් සේ ප්‍රාථමික නිර්මාණ ලක්ෂණ පළ කරන ඉහත සඳහන් ජන කවියෙහි මතුපිට අරුත වනුයේ වරින් වර පිටාර ගලන කැලණි ගඟ නිසා ගඟ දෙපස ඇති කෙටල පඳුරු වරින් වර දියෙන් යටවී යළිත් මතු වී පෙනෙන බව ය.

මේ අතර ගඟ ආසන්නයේ බැඳ සිටින මී ගවයන් හිස වනන අයුරුත් ඇටිකිත්තන් යනුවෙන් හැඳින්වෙන ජලාශ‍්‍රිත කුඩා මැඬි විශේෂය නිතර හඬනගන අයුරුත් ඉන් පැවසේ.

කැලණි ගඟ බඩ ජීවත් වූ මේ කවිය ප්‍රබන්ධය කළ ජන කවියා මෙමඟින් තමන් නිතර දකින අසන යමක් මුල් කොට මෙම කවිය ගොතා ඇති බව මූලිකව අපට හැඟී යයි.

නමුත් පසුගිය කාලයේ සියනෑ කෝරළයේ ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ ගවේෂණයක යෙදුණු මට එම ජන කවියෙන් මතුවන ඊට වඩා ගැඹුරු ද්වනිතාර්ථයක් පිළිබඳව අනාවරණය කර ගත හැකි විය.

ඉන් පැවසී ඇත්තේ සියනෑ කෝරළයේ විසූ මහා ධන කුවේරයෙකුගේ ලිංගික ජීවිතය පිළිබඳව බව මීට දශක තුනකට පමණ ඉහත දී දොම්පේ ප්‍රදේශයේ දී මට අසන්නට ලැබිණ.ඒ කාලය තෙක් දොම්පේ මුල් කොට බිහි වූ උගතුන්ගේ ඒක රාශිත්වයක් තිබූ අතර ගුරු,විදුහල්පති,වෙද ආදී වෘත්තීන්හි යෙදුණු විද්වත් ප්‍රජාවක් එහි සාමාජිකයෝ වූහ.

මෙම ජන කවියට පාදක වූ සියනෑ කෝරළයේ විසූ මහා ධනකුවේරයා දහ හත්වන සියවසේ අග භාගයේ හෝ දහඅට වන සියවසේ මුල් භාගයේ දී සියනෑ කෝරළයෙහි විසූ රදලයෙකි.

අක්කර සිය ගණනක පොල් වතු ඇතුළු සුවිසල් දේපළකට හිමිකරුවෙකු වූ මොහු තමන් යටතේ වැඩකරන සේවකකාරකාදීන්ගේ රූමත් අඹුවන් සොයා ගොස් ඔවුන් සමඟ අයථා සබඳතා පැවැත් වූ අයෙකි.

ඔහුගේ ප‍්‍රතාපය නිසා මෙම සංසිද්ධිය සෘජුව ඉලක්කගත කිරීමට නොහැකි වූ ජන කවියා ‘‘කැලණි ගඟානෝ නිතරම වතුර ගලානෝ’’ යනුවෙන් පවසා ඇත්තේ ඔහුගේ එම ලිංගික චර්යාවයි.

මෙහි “වතුර ගැලීම” යනුවෙන් අදහස් කරන්නේ ගං දිය පහළට ගලා ඒම නොවේ. එය පිටාර මට්ටම ඉක්මවා දෙපසට ගලා යාමයි. එහි පිටාර මට්ටම යනු සම්මතය වන අතර පිටාර මට්ටමෙන් ඉවතට ගැලීම යනුවෙන් ජන කවියා අදහස් කර ඇත්තේ එම ප්‍රභූ වරයාගේ අසම්මත ලිංගික චර්යාව බව පැහැදිලි ය.

එහි දෙවන පදයෙන් පැවසෙන ‘‘කෙටල පටානෝ නිතරම උඩයට යානෝ’’ යනුවෙන් පැවසෙනුයේ ඔහුගේ ලිංගික ආධිපත්‍යයට නතු වූ එම කාන්තාවන් පිළිබඳව ය.

මෙහිදී ‘‘වතුර ගැලීම’’ සහ ‘‘උඩ යට යාම’’ යන්නෙන් ලිංගික ක්‍රියාව පිළිබඳව ඉඟි පළ කෙරන අතර ඇතැම් විට වරින් වර හිමි වන ඔහුගේ ඇසුර නිසා එම කතුන්ගේ උඩඟු බව අඩුවැඩි වීම ද ජන කවියා එලෙසින් දකින්නට ඇත. යමෙකුගේ උඩඟු බව දැක්වීම පිණිස ‘‘දැන් එයා සෑහෙන්න උඩ ගිහින්’’ යනුවෙන් සමාජයේ පොදු වහරක් ඇති බව අපි කවුරුත් දනිමු.

මෙහි ඊළඟ පදයෙන් පැවසෙන ‘‘මීහරකානෝ නිතරම ඔලූව වනානෝ’’ යන්නෙන් එම බිරියන්ගේ සැමියන් පිළිබඳව පැවසෙන බව මෙහිදී අනාවරණය කර ගැනීමට මට හැකිවිය.

මක්නිසාද යත් එම ප‍්‍රභූවරයාගේ දාසකාරකාදීන් වන ඔවුනට තම හාම්පුතාගෙන් තමන්ට සිදුවන කිනම් අසාධාරණයක් හෝ ‘‘ඔලූව වනා’’ අනුමත කිරීම හැරුණු කොට ඊට එරෙහිව නැඟීසිටීමේ හැකියාවක් එකල සමාජයේ නොතිබූ බැවිනි.

මෙහි වඩාත්ම උපහාසයක් ද්වනිත කරවනුයේ එහි ‘‘ඇටිකිති ජානෝ නිතරම ජෙග ජෙග ගානෝ’’ යන්නෙනි. මෙහි ඇටිකිත්තන් යනු කුඩා මැඬි විශේෂයක් වන අතර ඒ සමඟම උන් හැඳින්වීමට යෙදෙන ‘‘ජානෝ’’ යන වචනයෙන් හැඟවෙනුයේ ජනතාව යන්න ය.

එසේ නොමැතිව ඇටිකිත්තන් හැඳින්වීම පිණිස “ජන” යන වදන නොයෙදෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ අනුව එම ‘‘ඇටිකිති ජානෝ’’ යන්න අවශේෂ ජනයා ලෙස අර්ථකතනය කිරීමේ පහසු හැකියාවක් තිබේ..

සමාජයේ ප‍්‍රභූවරයෙකු විසින් ප‍්‍රසිද්ධියේ සිදුකරන මෙම සදාචාර විරෝධී ක‍්‍රියාවට, ලිංගික සූරාකෑමට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වීමට හෝ අභියෝග කිරීමට හැකි සමාජ පරිසරයක් එකල නොතිබුණි.

එබැවින් අවශේෂ ජනයාට හැකි වූයේ ඒ පිළිබඳව නිරතුරුවම ඔවු`නොවුන් අතරේ රහස් කතිකාවක් ගොඩනංවා ගැනීමට පමණි. නමුත් එම සිදුවීම සංකේතාත්මක ලෙස ඉදිරිපත් කරන මෙම කවිය කිසිදු හිරිකිතයකින් තොර ව සමාජ ගත කිරීමේ විශිෂ්ඨ ප්‍රතිභාවක් එය නිර්මාණය කළ අප්‍රකට ජන කවියා තුළ තිබිණ.

මෙහි මා දුටු තවත් විශේෂත්වයක් තිබේ. අරාබි බසින් ලිංගික ක‍්‍රියාව හඳුන්වන පහත් ඕලාරික වදනක් වනුයේ ‘‘ජිගි ජිගි’’ යන්න ය. මෙය ජිගි යන්න ඉංග‍්‍රීසි ශබ්දකෝෂවල සඳහන් වන්නේ Having Sex යන්නෙහි අවියත් වදනක් ලෙසිනි.

ඒ අනුව තම ප‍්‍රදේශයේ ප‍්‍රභුවරයෙකුගෙන් සිදුවන ලිංගික සූරාකෑමක් පිළිබඳව කැලණි ගඟ මුල්කොට මෙසේ උපහාසාත්මක යටි අරුතක් පළ කළ ඒ අප‍්‍රකට ජන කවියාගේ චින්තනය, සෞන්දර්යාත්මක ප්‍රතිභාව කැලණි ගඟටත් වඩා ගැඹුරු බව නම් නොකියාම බැරි ය.

එමෙන්ම මීට දශක කිහිපයක් තෙක් දොම්පෙ ජනතාව මෝඩයන් වශයෙන් සමාජය පුරා පැතිර තිබූ පටු ආකල්පයට ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල කරමින් මීට දශක තුනක පමණ කාලයක් තෙක් දොම්පෙ මුල් කර ගෙන මතු වී පෙනුණු එම ප්‍රබුද්ධ රැල්ල ද මේ වන විට ඉබේම යටපත් ව ඇති බව ද මෙහි දී විශේෂයෙන් කිව යුතු ය.

තිලක් සේනාසිංහ

අරුමැසි පුවත්