දිගු නිවාඩුවකින් අනතුරුව නැවත පාසල් විවෘත වී තිබේ. නිවසේ සකස් කළ ආහාර දරුවන් වෙනුවෙන් එවන මෙන් පාසල්වලින් වෙතින් දෙමවුපියන් දැනුවත් කර ඇත.
ඔවුහු බත් හෝ ධාන්‍ය වර්ග දරුවන් විවේක කාලයේදී ගන්නා ආහාර වේල වෙනුවෙන් සකසා එවති. එහෙත්, ඇතැම් දරුවන් මේවා කන්නට කැමති නැත.
“මට ඕවා කන්න බැහැ මට ඕනෙ…… ” ඒ වෙනුවට දරුවා ක්ෂණික ආහාරයක නමක් කියයි. ඒ් තරමටම ඔවුන් ක්ෂණික ආහාරවලට නැඹුරු වී අවසන් ය. මේ තත්ත්වයට ඔවුන් පත්වීම ගැන මුලුමනින්ම වගකිව යුත්තේ දෙමවුපියන් ය.
මීට දශක කිහිපයකට පෙර අපේ වැඩිහිටියන් මේවා හඳුන්වන ලද්දේ “කඩචෝරු”යන සරදම් නමිනි.එහෙත් අද මේ කඩචෝරු රට පුරා පැතිර ඇති අතර ඒ නම පමණක් භාවිතයෙන් ඉවත් වෙමින් තිබේ.කොටින්ම කිවහොත් වත්මන් සමාජය කඩචෝරු මේනියාකට ගොදුරු වී තිබේ.එය අපගේ අනාගත පරපුර බිළිගන්නා අදිසි මාරකයක් වී ඇත.
අද අප සමාජයට පිළිලයක් බවට පත්ව ඇති ක්ෂණික ආහාර යනු මොනවාද? මේ ප්‍රශ්නයට දියහැකි කෙටිම, පැහැදිලිම පිළිතුර වන්නේ අවශ්‍ය ප්‍රමාණයට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන, සිරුරට අහිතකර සංඝටක බහුලව අඩංගු,හුදෙක් රසය මුල් කොට පිළියෙළ කළ ආහාර යන්නයි.
අපගේ සිරුරට දිනකට ලැබිය යුතු ලුණු ප්‍රමාණයක් ඇත. මේ ප්‍රමාණය දළ වශයෙන් ග්‍රෑම් 5 ක් හෙවත් තේ හැන්දකි. නමුත් බර්ගර් පීසා වැනි ආහාරවල අඩංගු තෙල් සහ ලුණු ප්‍රමාණය ඉතාමත් අධික ය.
නියමිත ප්‍රමාණයට වඩා අධික ලුණු ප්‍රමාණයක් ශරීරයේ පවතින විට ඊට සමාන්තරව සිරුරේ ජල මට්ටම ද ඉහළ යයි. ඒ හේතුවෙන් රුධිරයේ පරිමාව ද වැඩි වේ. ඒ් තත්ත්වය පාලනය කර සමතුලිතව පවත්වා ගැනීමට සිරුර තුළ ක්‍රියාදාමයන් රැසක් සිදුවේ. ඒ වැනි අවස්ථාවලදී හෘදයට, වකුගඩුවලට වැඩි වැඩ කොටසක් පැවරේ. අමතර වෙහෙස නිසා මේ ඉන්ද්රියයන් ඉක්මනින් දුබල වේ.
අධිකව ලුණු ආහාරයට ගැනීමෙන් ම්රුත්රා මගින් ශරීරයේ වැඩි කැල්සියම් ප්‍රමාණයක් පිටවේ. මෙසේ කාලාන්තරයක් පුරා සිදුවීමෙන් සිරුර තුළ කැල්සියම් ඌණතාවක් ඇතිවේ. ඉක්මනින් අස්ථි දුබලතාවන්ට ගොදුරු වීම මේ තත්ත්වයේ ප්රතිඵලයකි.
ක්ෂණික ආහාරවල වැඩිපුරම ඇත්තේ ලුණු සහ තෙල් ය. මේ ආහාරවල අපේ ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වන ඛනිජ ලවණ, විටමින්, අයඩීන්, කැල්සියම් ආදිය ඇත්තේ බොහෝ අඩු මට්ටම්වලිනි. මේ පෝෂ්‍ය පදාර්ථ හිඟ වූ විට අපේ ප්‍රතිශක්තිකරණය දුබල වේ. එනම් ලෙඩ රෝගවලට ගොදූරු වීමේ හැකියාව ඉහළ යයි.
අනාගතයේදී මවක් වීමට නියමිත ඔබේ දයාබර දියණියට නිසි පෝෂණයක් නොලදහොත් කුමක් වේද? ඇය මන්දපෝෂණයේ නීරක්තියේ බිල්ලක් වනු නොඅනුමාන ය. එය කුස තුළ වැඩෙන දරුවාට ද අනිවාර්ය අහිතකර බලපෑම් උරුම කරවයි.
අද සමාජය තුළ ඇතැම් දරුවන් කෘත්‍රිම පැණි බීමවලට තදින්ම ඇබ්බැහි වී ඇත. මේවායේ අඩංගු සීනි ප්‍රතිශතය ඉතාමත් ඉහළ ය. රුධිරයට සීනි අධිකව එක්වන විට දියවැඩියාව ඇතිවීමේ වැඩි ඉඩක් ඇත. අවාසනාවක මහත! මෑතකාලීනව කෙරුණු සමීක්ෂණයකින් හෙළිදරවු වී ඇත්තේ දරුවන් තුළ හටගන්නා නිදන්ගත රෝග අතරින් දෙවැනි ස්ථානය දියවැඩියාවට හිමිවී තිබෙන බවය.
ඔබ ඔබේ දරුවාට දක්වන්නේ අසීමිත, අපරිමිත ආදරයකි. එය සැබෑවක් වන එක් සාධකයක් වන්නේ ඔවුන්ට ලබාදෙන ආහාරයයි. කිසි දිනක ඔබත් ක්ෂණික ආහාරවලට සීනි බහුල පැණි බීමවලට ලොල් නොවන්න. ඔබේ දරුවාත් ඒ්වාට බිලි නොකරන්න.මක් නිසා ද දරුවන් ඒවාට ඇබ්බැහි විය හැකි බැවිනි.
ඒ් වෙනුවට දරුවන්ට නැවුම් එළවලු, පළතුරු දෙන්න. ශරීරයට ශක්තිය ලබාදෙන, ශරීරයේ වර්ධනයට උදවු වන, ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන සමබර ආහාර වේල්වලට :සමබර ආහාර වේලකට පිටි සහිත ආහාරයක්, එළවලුවක්, පළා වර්ගයක්, කරවල,මස්,මාලු,බිත්තර, මෑ,බෝංචි,පරිප්පු වැනි ධාන්‍ය වර්ගයක් පළතුරක් යනාදිය ඇතුළත් ආහාර රටාවකට ඔවුන් හුරු කරවන්න.
ඔවුන්ට පිරිසිදු ජලය පානයට දෙන්න. ශරීරය වෙහෙසෙන ක්‍රීඩාවලට ඔවුන් යොමු කරවන්න. අධ්‍යාපනය සඳහා වඩ වඩාත් ඔවුන් උනන්දු කරවන්න :නමුත් බල නොකරන්න. ඔබට නිරෝගී, බුද්ධිමත් දරු සම්පතක උරුම කරුවෙකු විය හැකි වන්නේ මෙවන් වැඩපිළිවෙළක් තුළින්ම පමණි.
නඳුන් අමන්ද මනමේන්ද්‍ර ආරච්චි