අනුරපුර සල්ගාදු පිටියෙන් ලැබුණු පණිවිඩය “රාජපක්ෂ රජ පරපුර” ඉදිරියටත් පවතින බවද?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජන රැළි මාලාවේ “පළමු පොදුජන රැලිය”පසුගිය 09 වන දා පස්වරුවේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී සුවිසල් ජනතා සහභාගීත්වයකින් යුතුව පැවැත්විණි.

රට තුළ පොදු ජනතාවට බලපාන ප්‍රශ්න ගැටලු අර්බුද දිනෙන් දින ගොඩ නැඟෙමින් පවතින යුගයක ඒ සම්බන්ධයෙන් රජය සෘජුවම වග කිව යුතුව තිබිය දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා අදටත් මෙවන් ජන පවුරක් ගොඩ නැඟීම බොහෝ දෙනා ගේ විස්මයට හේතු වී තිබේ.

ලෝකයේ විවිධ ජන සමාජ දේශපාලනය නම් වන සමාජ යාන්ත්‍රණය දකින විවිධ ක්‍රම තිබේ.ඒවා ඒ ඒ ජන සමාජ වල ආර්ථික සේම ආගමික සංස්කෘතික ධාරාවන් හා බැඳී පවතී.

මෙරට බහුතර ජනතාව රජ පරපුරක් දැකීමට ප්‍රිය කරති.උඩරට රාජධානිය ඉංග්‍රීසි ආධිපත්‍යයට නතු වීමත් සමඟ අපේ රටට රජ කෙනකු නැති අඩුව හුවා දක්වමින්”අනේ කුහුඹුවනේ,තොපටත් රජෙකු ඉන්නේ.අපට නැත ඉන් නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ” ආදී වශයෙන් කුංකුනාවේ හිමියන් ලියූ කවිය අදටත් කවි, ගී පදවලට ඇතුළත්ව ඇත්තේ එබැවිනි.මේ අතර අපේ රට ගොඩ ගත හැක්කේ මතු මෙහි රජ වන දියසෙන් කුමාරයාට පමණක් යැයි තවත් පිරිසක් විශ්වාස කරති.

එහි ජනකාන්ත බව කොතෙක් ද යත් අද වන විට මේ දියසෙන් කුමාරයා යූටියුබ් වෙබ් අඩවියේ නොනිල රජ කමකට පත් ව තිබේ.දියසෙන් කුමාරයාගේ කතාව කරලියට එන්නේ 1950 දශකයේ සිට ය. 15 වෙනි සියවසේ ලියැවුණු “පැරකුම්බා සිරිත” කවි පොතෙහි පදයක් ඇසුරින් මෙය කරලියට පැමිණ තිබේ.

අපේ රට පාලනය කිරීමට රාවණා මොඩලයේ ප්‍රබල නරපතියකු අවශ්‍ය බව යළි කතා වන්නට පටන් ගත්තේ එල්ටීටීඊ යුද්ධය අවසන් වූ පසුව ය. වසර 30 ක යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා එම පුරප්පාඩුව සපුරමින් රජෙකු ලෙස අභිසෙස් කිරීමට අවශ්‍ය පසුබිම එවක ජනමාධ්‍ය ඇතුළු බොහෝ පිරිස් කටයුතු කරනු දක්නා ලදී.

ජනතාව තුළ පැවැති මෙම රජ උන්මාදය කොතෙක් ද යත් ඊට සැලකිය යුතු කලෙකට පෙර රචනා කොට තනුව යොදා ගායනා කෙරුණු “ආයුබෝවේවා මහරජාණෙනි” යන ගීතය එල්ටීටීඊ යුද ජයග්‍රහණයෙන් පසුව ඒවක ජනපති මහින්ද රාජපක්ෂ වෙත ගැයුණු රාජ ප්‍රශස්තියක් ලෙස සමාජ ගත විය.

එම රාජකීය ආරෝපණයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කොතෙක් කැමති වී ද යත් ඊට පසුව ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැති “දැයට කිරුළ” ප්‍රදර්ශන වේදිකාවට ඒ ගීතය නැතුවම බැරි විය.එම ගීතයේ ජනානන්දනීය බව කොතෙක් ද යත් එම ගීය ගැයු යුවතියකගේ නමින් පාරක් නම් කිරීමට පවා කටයුතු යෙදිණ.

මහින්ද රාජපක්ෂ 2015 ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුත් බොහෝ දෙනා ඔහු යළිත් රජු ලෙස බලයට කැන්දාගෙන ඒමට බොහෝ සිරිසකට අවශ්‍ය විය.ඒ ඉන්පසු ජනපති පදවියට පත් මෛත්‍රීපාල සිරිසේන නිකම්ම නිකම් පොලොන්නරුවේ ගොවි පුතෙකු වූ බැවිනි.නමුත් 19 වෙනි ව්‍යස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපති ධූරයට ඉදිරිපත් වීම දෙවරකට සීමා කිරීම නිසා මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට නොහැකි විය.

එබැවින් ඔහු රජෙකු ලෙස සිතා සිටි ජනතාව ඔහු වෙනුවෙන් ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට කටයුතු කළහ. ගෝඨාභය රාජපක්ෂ රජකු ලෙස පිළි නොගත් ජනතාව ද ඔහු මහින්ද මහ රජාණන්ගේ නියෝජිතයකු සේ සිතා ඡන්දය දුන්හ. නමුත් මහින්ද රාජපක්ෂගේ “ඊනියා රාජකීයත්වය” වටා එකතු වූ ජනතාව තවමත් ඉන් ඉවත් වී නැති බව ඉකුත් 09 දා අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ජන රැළියෙන් මනාව පිළිබිඹු විය.

විපක්ෂයේ ඇතැමුන් මෙය සාම්ප්‍රදායික කතා කියමින් අවතක්සේරු කිරීමට උත්සාහ කළ ද අප විශ්වාස කරන ලෙස එහි පැමිණියේ සැබැවින්ම මහින්ද රාජපක්ෂට තවමත් රජෙකු සේ සළකන පොහොට්ටු සාමාජිකයන් ය.එසේ නොමැතිව ගෝඨාභය රාජපක්ෂ වත්මන් අවිචාරවත් පාලනයෙන් සතුටට පත් වූවෝ නොවෙති.

බත් පැකැට්ටුවට සහ රුපියල් 5000 ක මුදලකට පැමිණි පිරිසක් එහි සිටි බව විපක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීහු පවසති. තවත් විපක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් කියන්නේ වන්දනාවේ යන බව කියා ගෙන්වූ අය මෙහි සිටින බව ය. ඒ කිසිවක් සත්‍ය විය නොහැක. වන්දනාවේ යනවා කියා පැමිණියා නම් ඔවුන් මේ රැස්වීම ප්‍රතික්ෂේප කර එතනින් පිටත්ව යනු නියත ය.

අනුරාධපුරය යනු සිංහල රාජ වංශයේ කේන්ද්‍රස්ථානයයි. පණ්ඩුකාභය රජු විසින් පිහිටවු මෙය පළමු රාජධානිය ලෙස ද සැලකේ. එම නිසා අනුරාධපුරයට රජ සංකල්පය අමුතු දෙයක් නොවේ. පොහොට්ටුවේ පළමු රැළිිය ද, ජනාධිපතිවරණ පළමු රැළිය ද පැවැත්වූවේ අනුරාධපුරයේ බවට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා උජාරුවෙන් කීවේ එනිසා විය යුතුය.

දුටු ගැමුණු රජු සිය රාජධානිය පිහිටුවන්නේ ද අනුරාධපුරයේ ය. රුවන්වැලි මහා සෑය ආදී චෛත්‍ය ඉදි කිරීමත් එළාර රජු පරාජය කිරීමත් යන කාරණා මත ඔහුට රටේ ඇත්තේ ඉමහත් පිළිගැනීමකි. දුටුගැමුණු චිත්‍රපටයේ දුටුගැමුණු චරිතය රගපෑ උද්දික ප්‍රේමරත්න පවා ඉහළ මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේ ද එනිසාවෙන්දෝ යන සැකය ජන මනස තුළ ඇතිවීම ස්වභාවික ය.

එල්ටීටීඊ යුද ජයග්‍රහණය සමරනු වස් තවත් රුවන් වැලි සෑයක් අනුරාධරපුර පුද බිමේ තැනවීම තුළින් දෙවන දුටු ගැමුණු කෙනකු බවට පත් වීමට මහින්ද රාජපක්ෂ තුළ පැවැති සිහිනය විද්වත් සමාජයේ අවධානයට යොමු වී තිබේ.

අනුරාධපුර අටමස්ථාන අතරේ රණ විරු සෑය නම් දෙවන රුවන් වැලි සෑයක් බඳු යුද ස්මාරකයක් තනා එහි සමරු ඵලකයේ තම නම සටහන් කිරීමට මහින්ද රාජපක්ෂ දැරූ උත්සාහය අද වන විට සමාජ ගත වී හමාර ය.පළමුව එම ස්ථූපය අනුරාධපුර ඇතුළු නුවර තැනීමට කටයුතු කරද්දී අටමස්ථානාධිපත් නා හිමි වරුන් සහ හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා ඊට එරෙහි වූහ.එම ස්ථූපයට ශාසනික පසුබිමක් නොමැති බව නා හිමි වරුන් ගේ තර්කය වූ අතර හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා අවධාරණය කළේ එබඳු ඉදි කිරීමකින් පුරා වස්තු ආඥා පනත පවා උල්ලංඝනය වන බව ය.

පසුව එම යුද ස්මාරකය “සෑය සඳ හිරු සෑය” නමින් නම ද වෙනස් කොට අනුරාධපුර ඇතුළු නුවරින් බැහැර තැනක් ඉදි කරන ලද්දේ අති විශාල ධනස්කන්ධයක් වැය කරමිනි.එහෙත්,මෑත කාලීන එල්ටීටීයුද්ධය හා අනුරාධපුර පූජා නගරය අතර ඇති සබැඳියාව කුමක්ද?ඊට මහින්ද රාජපක්ෂ පිළිතුරු දී නැත.

අතීතයේ අප රට පාලනය කළ රජවරුන් රට ඉතා හොඳින් දැහැමින් සෙමෙන් පාලනය කළ බවටත්, රාජ යුගයේ රට සශ්‍රීක වූ බවටත් කල්පිත මතයක් ගොඩනඟා ඇත්තේ වංශ කතා රචනා කළ හිමිවරුන් විසිනි. ඔවුන් රජවරුන්ගේ හොඳ පැත්ත පමණක් ලියූ බව පැහැදිලිය.එමෙන්ම එවක පැවැති සංඝ ආධිපත්‍යයට විරුද්ධ රජවරුන්ගේ සැබෑ වීරත්වය යටපත් කොට සීතවක රාජසිංහයන් වැනි රජ වරුන් වෙත එල්ල කළ පීතෘ ඝාතන අභූත චෝදනා එල්ල කොට ඔවුන් දුෂ්ඨයන් ලෙස පෙන්වා හුවා දැක්වීම ද ඒම ග්‍රන්ථ වලින් දැකිය හැකි පැහැදිලි ලක්ෂණයකි.

සිංහල රාජ වංශය ගත් කළ විජය රජුගේ සිට මෙරට රජව ඇති රජවරුන් ගණන එකසිය අසූ දෙකකි. මේ අය අතුරින් ඉතිහාසයේ සනිටුහන් වන යමක් කළ රජවරුන් ගණන දහයකටත් අඩු බව සම්මත ඉතිහාසඥයන් අබිබවා යමින් ඉතිහාස ගවේෂක විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විවිධ මූලාශ්‍ර ඔස්සේ කළ ඉතිහාස ගවේෂනයක් මඟින් තහවුරු කොට ඇත. ඔවුන් අතර මිනී මරු සේම බේබදු රජවරුද සිටිති. ලක් ඉතිහාසයේ තමන්ට පෙර රජව සිටි රජවරුන් මරා දමා බලයට පැමිණි රජවරුන් ගණන විසි නවයකි .

විසි හය දෙනෙකු තමන්ට පෙර සිටි රජු බලයෙන් පහකර දමා බලයට පැමිණියෝ වෙති.අපේ රජවරුන් අතරින් තිස් නවයක්ම දෙනෙකුම සෙනවියන් හෝ තම සෙහොයුරන් හෝ තම දරුවන් හෝ බිරිඳ අතින් ඝාතනයට ලක්ව ඇත. අනුරාධපුර යුගයේ විසු රජවරුන්ගෙන් දෙදෙනෙකු මිය ගියේ අධික මත් පැන් පානයෙනි. නුවර යුගයේ නරේන්ද්‍රසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ ද බේබදු රජවරුන් ය.

නමුත් රට වැසියා කාලාන්තරයක් තිස්සේ ඉගෙන ගන්නේ ශ්‍රී ලංකාව දැහැමි රජ දරුවන්ගෙන් පිරීගත් කේතුමතී රාජ්‍යක් බව ය.ඇත්ත වශයෙන්ම කිව හොත් මෙය අප රටේ සමකාලීන පාලකයන්ගේ බලය තහවුරු කිරීම පිණිස තත් කාලීන සංඝ සමාජය පැතිර වූ බරපතල සමාජ මිථ්‍යාවකි.තවමත් මේ මිථ්‍යා උගුලේ සිරවී සිටින ජනතාව අප රජවරුන්ගේ පාලනයක් යටත්ව වෙසෙන ක්‍රමයක් ගැන සිතීම සාධාරණ ය.

ජනතා පරමාධිපත්‍යය පිළිබඳව හයක් හතරක් නොදත් බොහෝ දෙනෙකු අදටත් කැමැත්ත පළකරන්නේ වැඩවසම්වාදී යුග වල සිටි වහලුන් ලෙස ජීවත් වීමට ය. එම නිසා පාලකයා රජ චරිතය නිරූපනය කරමින් හෝ රටේ බලය ලබා ගැනීමට කටයුතු කිරීම වැරැද්දක් නොවේ. ඒ ඔහු ජනතා සිතුම් පැතුම් මනාව තේරුම් ගැනීම නිසාවෙනි.

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු රැලියෙන් රටේ විපක්ෂයට ප්‍රබල පණිවුඩයක් දී තිබේ. ඒ විපක්ෂය බෙදී සිටිනතාක් පොහොට්ටුව ජයග්‍රහණය කරන බවය.

වත්මන් විපක්ෂ නායකයා ද”මගේ ආදරණීය, සදාදරණීය පියාණන් වන දිවංගත ශ්‍රීමත්”වැනි ආටෝපකාරී වදන් යොදමින්; තම පියා සිහිපත් කරමින් ජනාධිපති පදවිය පාරම්පරික යුරුමයක් සේ සළකා තනිව “රජ වීමට” පෙරුම් පුරනු පෙනෙයි. එනිසා සැබෑ පොදු විපක්ෂයක් ගොඩ නැඟෙන්නේ ද නැත.

මේ පසුබිම යටතේ සල්ගාදු පිටියෙන් දුන් පණිවුඩය අනුව නම් ඊළග ජනාධිපතිවරයා ද රාජපක්ෂ රජ පරපුරේ කෙනෙකු මිස වෙන කිසිවෙක් නොවන බව ය.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර