ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූයේ ණය ගෙවීම පැහැර හරින හරින්නට සිදුවන බවට මහ බැංකුව ඉකුත් අප්‍රේල් මස අඟ නිවේදනය කිරීමත් සමඟ ය. ඒ වන විටත් ලෝක ආර්ථික විශේෂඥයන් ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටී ඇති බව ප්‍රකාශ කොට තිබිණ. එහෙත්, එය නිල වශයෙන් ප්‍රකාශ වූයේ මෙරට මහ බැංකුව අප ගත් ජාත්‍යන්තර ණය ගෙවිය නොහැකි බව බව ප්‍රකාශ කිරීමත් සමඟ ය.
ඩොලර් බිලියන 28 ක පමණ ණයක් අපට ගෙවීමට සිදුව තිබෙන අතර එය 2050 පමණ වන තෙක් ගෙවීමට තිබේ. එය මේ වන විට ණය ගෙවීමට ඇති කාලය වන නමුත් ඉදිරියේදි තවත් ණය ගැනීම නිසා එම කාලය තවත් ඉදිරියට යනු ඇත. ලංකාව රාජ්‍යයන් රාජ්‍යයන් අතර ලබා ගන්නා ණය ලෙස ණය ලබා ගෙන ඇති අතර බැදුම්කර වෙන්දේසිය මගින් පෞද්ගලික ආයතන හා පුද්ගලයන් වශයෙන් ද ශ්‍රී ලංකාව ණය ලබා ගෙන තිබේ.
මෙරට ආදායමට වඩා ණය පොලිය ඉහළ යාම නිසා ලංකාව තව තවත් ණය ගැනීමට පෙළඹුණේ ණය ගෙවීමට හා රටේ ආනයන වියදම් පියවා ගැනීමට ය. ආදායම් දිගින් දිගටම පහළ බැසීමත් ණය ගැනීම දිගින් දිගටම ඉහළ යාමත් තුළ රටේ ආර්ථිකය කඩා වැටුණේය. එහි ප්‍රතිඵලය වූයේ ණයකරුවන් ඉහළ ගොස් ඉන්ධන, ගෑස්, ඖෂධ හා පොහොර ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ පවා ආනයනය කිරීමට නොහැකිවීම ය. අද පවතින ඉන්ධන පෝලිම් ඇතිවීමට හේතුවක් වූයේ පැවැති රජය අසාමාන්‍ය ලෙස ණය ගැනීම හා ආදායම් – වියදම් නිසි කළමනාකරණයක් කර නොගැනීම ය.ඔවුන් ගත් ණය වලින් වැඩි කොටස “නාස්තිකාර සංවර්ධනයක්”සඳහා යෙදවීම තුළ අද අප මූලික අවශ්‍යතා වත් සපුරා ගත නොහැකි අන්ත අසරණ මට්ටමකට පත් ව හිඳිමු.
ශ්‍රී ලංකාව අද ලෝකයේ උද්ධමන වේගය ඉහළ රටවල් අතරින් දෙවෙනි තැනට පත්ව තිබේ. අපට ඉහළින් හා පහළින් සිටින්නේ ලෙබනනය, සුඩානය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව වැනි රාජ්‍යයන් ය. ශ්‍රී ලංකාවද මේ වන විට එම රටවල් අතරට පැමිණ සිටියි. ලංකාවේ උද්ධමන වේගය මේ වන විට 120% කි. ඉකුත් වසර දෙක තුළ 60% කින් උද්ධමන වේගය ඉහළ ගොස් තිබේ.
ඒ අනුව අප ගමන් කරමින් සිටින්නේ ලෝකයේ දිළිඳුම රාජ්‍යයන් අතරට ය. අප එම රාජ්‍යයන් එදා දැක්කේ රූපවාහිනිය හා අන්තර්ජාලය හරහා ය. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහලේකම් කාර්යාලය ගෙනවිත් දෙන පිසූ ආහාර ගැනීමට බෙලෙක් පිගන් රැගෙන සිටින බාල මහළු පුරවැසියන් සුඩානය වැනි රටවල සිටිනු අපි දැක ඇත්තෙමු.. දැන් එම තත්ත්වය අපට ද අත්දකින්නට සිදුවන කාලයක් ළඟා වෙමින් තිබේ.
රසායනික පොහොර තහනම මත කෘෂිකර්මාන්තය කඩා වැටීම නිසා ආහාර හිඟයක පෙර නිමිති පහළ වී ඇත. ඖෂධ හිඟය හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරටට මානුෂීය ආධාර අවශ්‍ය බවට ලෝකයටම නිවේදනය කර තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ලංකාවට ණය ලබා දීමට පෙර රටේ ණය ස්ථායිකරණයක් මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බව දන්වා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ රට තුළ මූල්‍ය විනයක් පැවැතිය යුතු බවකි. එසේම දේශපාලන අස්ථාවරත්වයක් ඇති රටකට ඔවුන් ණය ලබා දෙන්නේ නැත. මන්ද ඔවුන්ගේ නීති රෙගුලාසි අනුව එසේ කළ නොහැකි බැවිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජෝර්ජිවා කියා තිබුණේ ලංකාව අද පත්ව ඇති තත්ත්වය ගැන තමන් කණගාටුවට පත්වන බවයි. ඔවුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ මූල්‍ය අරමුදලේ නීති අනුව බැවින් ඉන් එහා කළහැකි දෙයක් නොමැති බවද ඇය පවසා තිබුණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළබඳ මහාචාර්ය ස්ටීව් හැන්ක් ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එය බරපතල ප්‍රකාශයකි. ඔහු එයට හේතු සාධක ලෙස දක්වා ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීමට ඉදිරිපත් කළ වැඩසටහන් 16 ක්‍රියාත්මක නොවීම බවය.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවමත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කර නොමැත. ඔවුන් එය ප්‍රකාශයට පත් කරනු ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර ආයතන දෙක විසින් ලබා දෙන වාර්තාව අනුවය. ඔවුන්ගේ වාර්තාව ලබන මාසය වන විට ලබාදෙනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. එසේම ඔහු කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවකි.
එය කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන හතරක ණය මුදල නොලද හොත් ලංකාව සුඩානය, ලිබියවට වඩා අන්ත වනු ඇත. කෙසේ නමුත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය මේ වන විටත් ලංකාව සම්බන්ධයෙන් සිය සැලසුම ඉදිරිපත් කර තිබේ. ඔවුන් කියන්නේ ලංකාව ඉදිරි මාස කිහිපය තුළ සරණගාතයන් ඇතිවීමේ අවදානමක් පවතින බවකි..
රැකියා අහිමිවීම් මත ස්ථිර ආදායම් ලබන පිරිස් සිය ආදායම් අහිමිවීමෙන් පීඩාවට පත්විය හැකි බව ඔවුන් සඳහන් කර තිබේ. එසේම දෛනික ආදායම්ලාභීන් රැසකට ජීවත්වීමේ ගැටළු පැන නැගී ඇති බවට පෙන්වා දී ඇත. මේ අතර වැටුප් ලබන පිරිසට තම වැටුපට වඩා දෙතුන් ගුණයක් වියදම් කිරීමට සිදුව ඇති බැවින් ඔවුන් අසරණභාවයට පත්ව ඇති බවද පෙන්වා දෙයි.
එම නිසා ජීවත්වීමේ දැඩි අර්බුදයකට ශ්‍රී ලාංකික පුරවැසියන් මුහුණ දී සිටින බවට ද ඔවුහු පවසති. ඒ අනුව ශ්‍රී ලංකාව ආහාර අහේනියකට ළගා වෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ නිර්දේශය වී තිබේ. ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස ඔවුන් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
මෙයින් පැහැදිලි වන්නේ ලංකාව ආහාර ලබා ගැනීම වෙනුවෙන් පෝලිම්ගත වන දිනය වැඩි ඈතක නොවන බවය. පිසූ ආහාර වෙනුවට මූලික වටයේ වියළි ආහාර ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කර තිබේ. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප අතහැරියහොත් පිසූ ආහාර ගැනීමට පිඟන් රැගෙන පෝලිමේ සිටීමට සිදුවනු දිනය වැඩි ඈතක නොවන බව නම් පැහැදිලිය.
ලසන්ත වීරකුලසූරිය