අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?

මෑත දින කිහිපය තුළ අපේ කණ වැකුණු, අප රටේ නිතර කතා බහට ලක්වූ දෙයක් ලෙස අපරාධ සහ අපරාධකරුවන් සඳහන් කළ හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ, එයින් සමාජයට ඇති වන බලපෑම, මොවුන්ට දිය යුතු දඬුවම්, සමාජයෙන් අපරාධ දුරලන්නේ කෙසේද වැනි කාරණා පිළිබඳ කතා බහ කළ ද මේ සම්බන්ධව මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකින් කතා කරනු එතරම් අසන්නට ලැබෙන්නේ නැත. මේ සෑම අපරාධකරුවකුගේම ළමා විය පිළිබඳ අවධානය යොමු කළහොත්, ඒ සමයේ ලද ඇතැම් අත්දැකීම්වල මනෝවිද්‍යාත්මක බලපෑම පසුකාලීනව ඔවුන්ව අපරාධකරුවන් ලෙසට පරිණාමය වන්නට හේතු වී තිබෙන බව පෙනෙන්නට තිබේ. ලෝකයේ දියුණු රටවල මේ සම්බන්ධව විවිධ අධ්‍යයනයන් සිදු කෙරී ඇති නමුත් අප රටේ එවැනි අධ්‍යයන හෝ ඒ සම්බන්ධ විද්වත් කතිකාවතක් හෝ ගොඩ නැගී තිබෙනු දකින්නට නොලැබෙන තරම්ය.

බිළිඳු වියෙහි සිට යෞවනය දක්වා වූ ගමනේ දී දරුවකුගේ මොළය සැලකිය යුතු වෙනස්කම්වලට බඳුන් වේ. ආවේග පාලනය, තීරණ ගැනීම සහ සදාචාරාත්මක විනිශ්චයන් ගැනීම ආදිය සම්බන්ධව වගකිව යුතු මොළයේ ‘පූර්ව ලලාට බාහිකය’ (prefrontal cortex) ළමා වියේ දී පවතින්නේ වර්ධනය වෙමින් පවතින තත්ත්වයකය. මෙහි අදහස වන්නේ මනෝභාවයන් සහ ජීවිතය තුළ සුරක්ෂිත වී සිටීමේ ඉඟි (survival instincts) පාලනය කරන ලිම්බික පද්ධතිය (limbic system) මත දරුවන් දැඩිව රඳා පවතින බවය. මෙයට හේතුව වන්නේ මොළයේ මුලින්ම වර්ධනය වන්නේ මේ පද්ධතිය නිසාය. දරුවකු හැදී වැඩෙන්නේ ප්‍රචණ්ඩ හෝ නොසළකා හරිනසුළු ගෘහ වටපිටාවක නම් ඔවුන්ගේ මොළය ජීවිතය සුරක්ෂිත කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ මූලිකත්වය දී‍ හැඩ ගැසෙන්නට පටන් ගනියි.

බිළිඳු වියෙහි සිට යෞවනය දක්වා වූ ගමනේ දී දරුවකුගේ මොළය සැලකිය යුතු වෙනස්කම්වලට බඳුන් වේ. ආවේග පාලනය, තීරණ ගැනීම සහ සදාචාරාත්මක විනිශ්චයන් ගැනීම ආදිය සම්බන්ධව වගකිව යුතු මොළයේ ‘පූර්ව ලලාට බාහිකය’ (prefrontal cortex) ළමා වියේ දී පවතින්නේ වර්ධනය වෙමින් පවතින තත්ත්වයකය. මෙහි අදහස වන්නේ මනෝභාවයන් සහ ජීවිතය තුළ සුරක්ෂිත වී සිටීමේ ඉඟි (survival instincts) පාලනය කරන ලිම්බික පද්ධතිය (limbic system) මත දරුවන් දැඩිව රඳා පවතින බවය. මෙයට හේතුව වන්නේ මොළයේ මුලින්ම වර්ධනය වන්නේ මේ පද්ධතිය නිසාය. දරුවකු හැදී වැඩෙන්නේ ප්‍රචණ්ඩ හෝ නොසළකා හරිනසුළු ගෘහ වටපිටාවක නම් ඔවුන්ගේ මොළය ජීවිතය සුරක්ෂිත කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ මූලිකත්වය දී‍ හැඩ ගැසෙන්නට පටන් ගනියි. එහි ප්‍රතිඵලය වන්නේ දරුවා තුළ ආක්‍රමණශීලී ස්වභාවයක්, අවේගශීලීබවක් සහ මනෝභාවයමය අස්ථායි බවක් ඇති වීමය.

යොවුන් වියේදී පූර්ව ලලාට බාහිකය සහ ලිම්බික පද්ධතිය අතර සම්බන්ධතා තවදුරටත් වර්ධනය වන්නට පටන් ගනී. නිසි සමාජ චර්යාවන් සහ මනෝභාවයමය පාලනයන් ඉගෙනීම සඳහා වූ තීරණාත්මක අවධිය වන්නේ මෙයයි. කෙසේ නමුත් මේ අවධියේ දී දරුවා අත්විඳින්නේ කම්පනය, අපචාරය හෝ නොසළකා හැරීම නම් මොළයේ වර්ධනය බාධා වන අතර ඔවුන් තුළ සමාජ විරෝධී හෝ අපරාධමය හැසිරීම් කෙරෙහි සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් වර්ධනය වන්නට පටන් ගනී.

මනෝවිද්‍යාඥයන් අවධාරණය කරන්නේ අපරාධමය ප්‍රවණතාවන් සඳහා බොහෝ විට අඩිතාලම වැටෙන්නේ ළමා වියේදී බවය. අපචාරාත්මක, නොසළකා හරිනසුළු සහ අධික ආතතියෙන් යුක්ත වටපිටාවක හැදී වැඩෙන දරුවන් අපරාධකරුවන් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතී. මේ සංසිද්ධිය සඳහා කාරණා කිහිපයක්ම දායක වේ.

ඉන් එකක් වන්නේ නොසළකා හැරීම සහ අපචාරය ය. ශාරීරික, මනෝභාවයමය සහ ලිංගික අපචාරයන් අත්දකින දරුවා තුළ බොහෝ විට ආවේගශීලී ප්‍රවණතාවන් වර්ධනය වේ. මනෝභාවමය පාලනයක් ඇති කර ගැනීම සඳහා ඔවුන් මහත් අරගලයක යෙදෙන අතර යහපත් සබඳතා ඇති කර ගැනීම සම්බන්ධ ගැටලුවලට බොහෝ විට මුහුණ දෙයි. තවත් කාරණයක් වන්නේ දෙමාපියන්නේ ලැබෙන අපරාධාත්මක අත්දැකීම්ය. අපරාධමය ක්‍රියාකාරකම්වලට සම්බන්ධ දෙමාපියන් හෝ භාරකරුවන් සමග හැදෙන වැඩෙන දරුවන් තුළ ද ඒ සම්බන්ධ චර්යාවන් බොහෝ විට වර්ධනය වෙයි. ජීවිතය සුරක්ෂිත කර ගැනීමේ එක් ක්‍රමයක් ලෙස අපරාධ පිළිගැනීමට ඔවුන් හුරු වෙයි.

ධනාත්මක පූර්වාදර්ශක නොමැති වීම තවත් කාරණයක් ලෙස සඳහන් කළ හැකිය. දරුවන්ට සිය ජීවිතය තුළ ආදර්ශයට ගත හැකි වැඩිහිටි චරිතයක් නොමැති වුවහොත් කල්ලි සහ අපරාධවලට සම්බන්ධ මිතුරන්ගේ ඍණාත්මක ආදර්ශය ජීවිතයට ලබා ගනී. මෙයට හේතුවන තවත් කාරණයක් ලෙස මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෘහාශ්‍රිත ප්‍රචණ්ඩත්වයය. නිතර මේ තත්ත්වය දකින දරුවා, ආක්‍රමණශීලී ස්වභාවය යනු ගැටලු විසඳා ගැනීම සඳහා වූ ක්‍රමයක් යැයි සිතට ගනී. බොහෝ අපරාධකරුවන්ගේ ජීවිත පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ ඔවුන්ගෙන් බොහොමයකගේ ජීවිතය තුළ ගෘහාශ්‍රිත ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ බවය. අස්ථාවර ගෘහ පරිසරයක් පැවතීම ද දරුවන් තුළ මෙවැනි තත්ත්වයක් වර්ධනය වන්නට හේතු වන බව පෙනෙන්නට තිබේ. දරිද්‍රතාව, දෙමාපියන්ගේ අපචාරමය ස්වභාවය, පදිංචි ස්ථාන නිතර වෙනස් කරන්නට සිදුවීම වැනි කාරණා දරුවන්ගේ මනෝභාවයමය සුරක්ෂිත බවට බාධා ඇති කරන අතර අපරාධවල බලපෑම්වලට නතුවීමේ අවදානම වර්ධනය වෙයි.

ළමාවියේ අත්දැකීම සහ අපරාධමය චර්යාවන් ඇතිවීම අතර සම්බන්ධතාව තහවුරු කිරීම සඳහා මනෝවිද්‍යාත්මක න්‍යායන් කිහිපයක්ම තිබේ. ඉන් එකක් වන්නේ ජෝන් බොල්බි විසින් ඉදිරිපත් කර ඇති ‘ඇඟෑලුම් න්‍යාය’ (Attachment Theory) වන අතර එයින් කියවෙන්නේ දරුවා රැක බලා ගන්නා සමීපතම පුද්ගලයාගේ බලපෑම ඔහුගේ අනාගත හැසිරීම් රටාවන් කෙරෙහි බලපාන බවය. සුරක්ෂිත ඇඟෑලුම්බවක් නොමැති දරුවන් තුළ බොහෝ විට සමාජ විරෝධී ප්‍රවණතාවන් වර්ධනය වන්නට සහ සහකම්පනය ඇති කර ගැනීම සම්බන්ධ ගැටලු ඇතිවන්නට හේතු වේ.

ඇල්බට් බන්ඩූරා විසින් ඉදිරිපත් කොට ඇති ‘සමාජ හැදෑරීම් න්‍යාය’ (Social Learning Theory) මගින් කියවෙන්නේ දරුවන්ගේ හැසිරීම් වර්ධනය වන්නට නිරීක්ෂණය හේතු වන බවය. දරුවන් සිය නිවසේ දී හෝ ප්‍රජාව තුළ හෝ වැඩි වශයෙන් නිරීක්ෂණය කරන්නේ ප්‍රචණ්ඩත්වය නම් ඔවුන් තුළ එය සාමාන්‍යකරණයකට පත් වෙයි.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති තවත් න්‍යායක් වන්නේ රොබට් ඇග්නෙව්ගේ ‘මහා පීඩක න්‍යාය’ (General Strain Theory) වන අතර එයින් පැවසෙන්නේ ළමා වියේ දී දැඩි ආතතිය, අපේක්ෂාභංගත්වය සහ අසමර්ථවීම අත්දකින දරුවා එයින් ගැලවීමේ උපක්‍රමයක් ලෙස අපරාධ කෙරෙහි යොමු විය හැකි බවය.

සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ඉදිරිපත් කොට ඇති ‘මනෝගතික න්‍යාය’ (Psychodynamic Theory) මගින් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරන්නේ ළමා වියේ දී අත්දුටු සහ නොවිසඳුණු කම්පනකාරී තත්ත්වයන් දරුවාගේ පෞරුෂය හැඩගස්වන බව සහ වැඩිහිටි වියේ දී අයහපත් චර්යාවන් ඇතිවීමට හේතු විය හැකි බවය.

මනෝවිද්‍යාත්මක සාධක තීරණාත්මක භූමිකාවක් සිදු කරන අතරේ දරිද්‍රතාව, අධ්‍යාපනය නොමැති බව සහ සමාජ අසමානතාව වැනි බාහිර ගැටලු ද අපරාධමය ප්‍රවණතා කෙරෙහි බලපෑම් ඇති කරයි. අඩු ආදායම්ලාභී ගෘහ වටපිටාවක හැදෙන වැඩෙන දරුවා නිරන්තර ආතතිය, මන්දපෝෂණය සහ අධ්‍යාපනයට ප්‍රවේශවීමේ දී සීමිත පහසුකම් ලැබීම වැනි කාරණාවලට නිරන්තරයෙන් මුහුණ දෙයි. මේ කාරණා අතර වූ අන්තර් සබඳතා මගින් ජීවිතය සුරක්ෂිත කර ගැනීමේ වඩාත් හොඳම ක්‍රමය ලෙස අපරාධ යන්න ඔවුන්ගේ මනස තුළ තැන්පත් වන්නට පටන් ගනී.

දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රජාවක් තුළ හැදෙන වැඩෙන දරුවන්ට මානසික සෞඛ්‍යය පිළිබඳ ආදර්ශයක් ලැබීම සඳහා ඇත්තේ ඉතා අඩු ඉඩකඩකි. ඒ නිසා ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක ගැටලුවලට කිසිදා විසඳුම් ලැබෙන්නේ ද නැත. කුඩා වියේ දී මේ සම්බන්ධ මැදිහත්වීමක් නොමැති වීම ඔවුන් තුළ අපරාධමය චර්යාවන් චක්‍රයක් ඇති කරන්නට හේතු වන අතර ඔවුන් වැඩිහිටි බවට පත්වන්නේ ද මේ ස්වභාවය සමගය.

ළමාවියේ වර්ධනය සහ අපරාධමය චර්යාව අතර සබඳතාව අවබෝධ කර ගැනීමෙන් මුල් සමයේදීම දරුවන්ගේ ජීවිතවලට මැදිහත් වීමේ වැදගත්කම ඉස්මතු කොට දක්වයි. අපරාධමය චක්‍රය බිඳ දැමීම සඳහා උපක්‍රම කිහිපයක්ම අනුගමනය කළ හැකි වේ.

ඉන් එකක් වන්නේ ‘ධනාත්මක දෙමාපිය වැඩසටහන්’ දියත් කිරීමය. වඩාත් ඵලදායී, ප්‍රචණ්ඩත්වයෙන් තොර සහ මනෝභාවමය වශයෙන් සහයෝගයක් ඇති කරන ක්‍රම පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීම මගින් දරුවන් තුළ ආක්‍රමණශීලී ස්වභාවය වළක්වා ගත හැකිය.

කුඩා වියේදීම දරුවන්ට නිසි අධ්‍යාපනයක් සඳහා මග පෙන්වීම ද තවත් එක් ක්‍රමයකි. උසස් ගුණත්වයකින් යුතු අධ්‍යාපනය සහ දැනමුතුකම් ලබා දීමේ වැඩසටහන් තුළින් දරුවන්ගේ මොළය නීරෝගීමත් ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය ව්‍යුහගත, සහයෝගී වටපිටාවක් ඇති කළ හැකිය.

ප්‍රතිකාර සහ උපදේශන වැඩසටහන් ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකිය. කම්පනකාරී තත්ත්වයන් අත්දකින දරුවන්ට මනෝවිද්‍යාත්මක සහයෝගය ලබා දීම තුළින් දරුවන් තුළ යහපත් මනෝභාවයන් ඇති කරන ක්‍රියාවලියක් ඇති කළ හැකි අතර පීඩාකාරී තත්ත්වයන් මැඩ පවත්වා ගැනීම සඳහා වු හැකියාව ද වර්ධනය කරයි.

ප්‍රජා වැඩසටහන් ද වැදගත් ය. දරුවන් තුළ යහපත් ආකල්ප වර්ධනය කර ගත හැකි ක්‍රීඩා, කලා කටයුතු සහ උපදේශාත්මක වැඩසටහන්වලින් යුක්ත ප්‍රජා පරිසරයක් ගොඩ ගැනීම මගින් දරුවන් තුළ අපරාධමය කටයුතු කෙරෙහි ඇති උනන්දුව මැඩලිය හැකි වේ.

විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වන්නේ ළමා අත්දැකීම් පුද්ගලයෙකුගේ අපරාධවලට සම්බන්ධ වීමේ සම්භාවිතාව හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවය. අහිතකර ගෘහ පරිසරයන්, නොසලකා හැරීම සහ ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම මොළයේ සාමාන්‍ය වර්ධනයට බාධා කළ හැකි අතර, දරුවන් අපරාධකාරී හැසිරීම්වලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි කරයි. අධ්‍යාපනය, චිකිත්සාව සහ ප්‍රජා සහයෝගය තුළින් මෙම ගැටලු වඩාත් ඉක්මනින් ආමන්ත්‍රණය කිරීමෙන් සමාජය තුළ අපරාධ අනුපාත අඩු කර සෞඛ්‍ය සම්පන්න අනාගත පරම්පරාවක් වර්ධනය කළ හැකිය.

නීති ක්‍රියාත්මක කිරීම සහ සමාජ කටයුතු ඒකාබද්ධ කිරීම ද ඉතා වැදගත් කාරණයකි. ළමා සහ යොවුන් වරදකරුවන්ට දඬුවම් ලබා දීම වෙනුවට පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බලධාරීන් කටයුතු කිරීම වඩාත් ඵලදායකය. එමගින් ඔවුන්ට ජීවිතය යලි ගොඩනගා ගැනීමට අවස්ථාවක් උදා කර දෙයි.

විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වන්නේ ළමා අත්දැකීම් පුද්ගලයෙකුගේ අපරාධවලට සම්බන්ධ වීමේ සම්භාවිතාව හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවය. අහිතකර ගෘහ පරිසරයන්, නොසලකා හැරීම සහ ප්‍රචණ්ඩත්වයට නිරාවරණය වීම මොළයේ සාමාන්‍ය වර්ධනයට බාධා කළ හැකි අතර, දරුවන් අපරාධකාරී හැසිරීම්වලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි කරයි. අධ්‍යාපනය, චිකිත්සාව සහ ප්‍රජා සහයෝගය තුළින් මෙම ගැටලු වඩාත් ඉක්මනින් ආමන්ත්‍රණය කිරීමෙන් සමාජය තුළ අපරාධ අනුපාත අඩු කර සෞඛ්‍ය සම්පන්න අනාගත පරම්පරාවක් වර්ධනය කළ හැකිය. අපරාධවල මානසික මූලයන් හඳුනා ගැනීම වඩාත් සාධාරණ හා සහකම්පනයෙන් යුක්ත සමාජයක් ගොඩනැගීමේ පළමු පියවර වේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

පහන් ටැඹ