අපරාධ, සොරකම්, දුරාචාර හා ගුප්ත විශ්වාස නව රැල්ලක් අත ළඟ

යාල වනයේ ජීවත් වන වන ඇතකු ඝාතනය කොට හොඬ වැල කදින් වෙන් කොට දළ යුගලය සහ වලිගයේ කෙඳි සහිත කොටස කිසිවකු විසින් කපා ගෙන යාමේ පුවතක් පසුගිය දා වාර්තා විය. එහි උණුසුම මැකී යන්නටත් පෙර වාර්තා වූයේ පසුගිය අගෝස්තු 31 දා රාත්‍රියේ යාල අභය භූමිය තුළ පිහිටි සිතුල් පව්ව පුදබිමේ කුඩා සිතුල්පව්ව දාගැබ ඉතා සියුම් ලෙස හාරා එහි බාහිර පෙනුම යථා තත්වයට පත් කොට එතුළ වූ නිදන් වස්තූන් පැහැර ගෙන ගොස් තිබිණ.

එකම ප්‍රදේශයක් තුළින් වාර්තා වූ මෙම සාපරාධී ක්‍රියා දෙක සේම මීට බෙහෙවින් සමාන සහ අනුරූප සිදුවීම් දාමයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හිස එසවීමේ පැහැදිලි නැඹුරුවක් දක්නට ලැබේ. ඒවා කුමන ස්වරූපයේ කවරාකාර ඒවා ද යන්න නුදුරු දින, සති, මාස කිහිපය තුළ දැක බලා ගත හැක.

වර්තමානයේ අප රට තුළ ඇත්තේ සමාජයීය, ආර්ථික වශයෙන් පැහැදිලි අස්ථාවර තත්වයකි. දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ සාමාන්‍ය ජනතාව ගේ ආදායම් මාර්ග අහිමි වීමෙන් ජීවන වියදම් බරපතල අයුරින් ඉහළ යාම නිසා ඇති වන ප්‍රශ්න, ගැටළු, අර්බුද කම්කටොළු දිනෙන් දින උග්‍ර වෙමින් තිබේ.

මේ තත්ත්වය යටතේ සමාජ, ආර්ථිකමය වශයෙන් කෙමෙන් අසරණ බවට පත්වන ජනතාව තුළින් අපරාධ, සොරකම්, දුරාචාර සේම ගුප්ත විශ්වාස රැල්ලක් පිබිදීම අතිශය ස්වාභාවික ය. එය අප රටට, සමාජයට පමණක් උරුම තත්ත්වයක් නොවන අතර සමස්ත මිනිස් සමාජයටම පොදු ධර්මතාවයකි.

‘මිනිසා යනු ආර්ථික සත්වයෙකි’ යන්න පොදු පිළිගැනීමකි. මිනිසුන් ඇතුළු සියලු ප්‍රාණීන්ට ජීවත් වීම පිණිස ඔක්සිජන් හෙවත් ‘අම්ලකර’ අවශ්‍ය වන්නේ යම් සේද මිනිසාට ජීවත් වීමට මිල මුදල් නම් ‘අම්ලකර’ අවශ්‍ය වෙයි. පුද්ගල බද්ධ සහ සමාජ බද්ධ වශයෙන් මෙම අවශ්‍යතාවයෙහි විෂමතා පැන නැඟුණ ද තවුස් සමාජයක් හැරුණු කොට ලොව අන් සෑම සමාජයකම පැවැත්ම ආර්ථිකය මත පදනම් වන බව ඒකාන්ත සත්‍යයකි.

මිල මුදල් ඉපැයීමේ සංවිධිත සේම අසංවිධිත යාන්ත්‍රණයන් ද තිබේ. යම් හෙයකින් එම සංවිධිත යාන්ත්‍රණයේ අඩාල වීමක් හෝ බිඳ වැටීමක් සිදු වුවහොත් මිනිසා මුදල් ඉපැයීමෙන් බැහැර වන්නේ නැත. ඒ වෙනුවට ඔහු කරනුයේ සදාචාර සම්පන්න ස්ථාවරයේ සිට සදාචාර විරෝධී ස්ථාවරයකට පැන ගැනීමට ය. නැතහොත් ‘බල්ලන් මරා හෝ මුදල් ඉපැයීමට’ ය.

මිනිසුන් අපරාධ සඳහා පෙළඹෙන හේතු සාධක පිළිබඳව විමැසීමේ දී ආර්ථිකමය සාධකවලට හිමි වනුයේ මුල් තැනකි. ඒ අනුව යම් ආර්ථික ක්‍රමයක් බිඳ වැටීම තුළින් ඒ හා සබැඳුණු අපරාධ දාමය ශීඝ්‍රාකාරයෙන් ඉහළ නැංවීම කෙසේවත් වැලකිය නොහැක. අනුන් සතු දේ පැහැර ගැනීම හෙවත් හොරකම සියළු සදාචාර සම්පන්න සමාජයන් විසින් පිළිකුලින් යුතුව බැහැර කරනු ලබයි.

එහෙත්, ඉහත සඳහන් ආර්ථික, සමාජ අර්බුදය හමුවේ සොරකම පුළුල් විවිධාංගීකරණයට ලක් වන අතර ඒ සඳහා යොමු වන්නවුන් ගේ ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙනු ඇත. මෙය වඩාත් සරලව කිවහොත් කලින් ‘නොහොරුන්’ වශයෙන් කටයුතු කළ බොහෝ දෙනකු අකමැත්තෙන් හෝ සොරකමට පෙළඹෙනු ඇත.

වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා ආදී වශයෙන් විවිධාංගීකරණයට ලක් වන මෙම සොරාකෑමේ යාන්ත්‍රණය අද වන විට කොතෙක් ව්‍යාප්ත වී තිබේද ? යන්න එදිනෙදා ජීවිතයේ දී කඩ පලට යාමෙන් පමණක් වුව ද ඔබට වටහා ගත හැකි වනු ඇත. “දැන් හැම තැනම හොරු” යන වදන ඔබගේ මුවින් නිතැතින්ම පිටවනුයේ එවන් පසුබිමක් යටතේ ය. සොරකම පිළිබඳ මෙම නොවිධිමත් සමාජ ප්‍රපංචය මේ වන විට කෙතරම් ප්‍රවර්ධනය වී තිබේද ? යත් පොදු සමාජය ඉතා උතුම් කොට සලකන වෛද්‍ය වෘත්තිකයන් ආදීන් පවා රෝගීන් ගසා කන අවස්ථා පිළිබඳ වරින් වර අසන්නට ලැබේ. මෙය වත්මන් සමාජ ඛේදවාචකයේ එක් පැතිකඩක් පමණි.

ඇලහැර, ලග්ගල ආශ්‍රිතව නීති විරෝධී මැණික් ගැරීම් වල යෙදෙන සංවිධානාත්මක කණ්ඩායම් විසින් එම ප්‍රදේශවල ආර්ථික සහ සමාජමය වශයෙන් අසරණ වී හිඳින කතුන් සුළු මුදලක් යටතේ එම පතල් වල කම්කරු සේවයට මෙන්ම ලිංගික වහලියන් ලෙස ද යොදා ගැනීම පිළිබඳ ශෝචනීය පුවතක් පසුගිය දා වාර්තා විය. මෙය සමාජයේ වරප්‍රසාද ලත් පිරිසක් විසින් ඔවුන් ගේ සහචරයන් යොදවා ක්‍රියාත්මක කරන්නක් බව ද වැඩිදුරටත් දැන ගන්නට ලැබිණ.

මෙම ලිංගික සූරාකෑමට එම ප්‍රදේශයේ සියළුම කතුන් ගොදුරු නොවූවද ඉන් සැලකිය යුතු පිරිසක් එම කාම රකුසන් ගේ ගොදුරු බවට පත්ව ඇති බවට පිළිගත හැකි තොරතුරු ලැබී තිබේ. මීට අමතරව අප රට පුරා ව්‍යාප්තව ඇති සම්භාහන ආයතන මගින් අර්ධ සහ පූර්ණ ලිංගික සේවා සපයන කාන්තාවන් ගේ පිරිස ලක්ෂයකට ආසන්න බව අනාවරණය වී තිබේ.

විවිධ සමාජ, ආර්ථික දුෂ්කරතාවයන් ගෙන් පෙළෙන ගම්බද කතුන් තම පවුල් නඩත්තු කරගත නොහැකිව නගරයේ කම්හල් රැකියා කරන බව පවසමින් පැමිණ මේවායේ සේවය කරති. ඒ දැනට පවත්නා ආර්ථික අර්බුදය මත කම්හල් රැකියාවකින් දරු පවුලක් නඩත්තු කිරීමට තබා තමන්ට වත් ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බැවිනි.

මෙම කාන්තාවන් ගෙන් වැඩි පිරිසක් සැමියා මියගිය, නිත්‍ය ආබාධයකින් ඔත්පල වූ හෝ සැමියාගේ සුරා සූදු ආදී ධන විනාශ වන කරුණු මුල්කර ගෙන පවුල නඩත්තු කරගත නොහැකි බිරියන් බව පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔවුන් කළ පාපොච්චාරණ වලින් තහවුරු වී තිබේ.

දැනට රටේ පවත්නා නීති, අනපනත් ප්‍රකාරව අධිකරණය හමුවට පත් කොට ඔවුන්ට දඬුවම් ලබාදීම සම්බන්ධ පොලිස් නිලධාරීන් සතු රාජකාරීමය වගකීමට අභියෝග කිරීමට අපට නොපුළුවන. එහෙත්, මෙම දරුණු සමාජ ඛේදවාචකයට වගකියන්නේ කවුරුන්ද? යන්න අප විමසා බැලිය යුතු ය.

ඉතා පැහැදිලි ලෙසම කිවහැකි පරිදි ඉදිරි කෙටි කාලය තුළ ඉහත සඳහන් අන්දමේ සිදුවීම් සහිත අප රටේ දුරාචාර යාන්ත්‍රණය ද තවදුරටත් පුළුල් හා විවිධාංගීකරණයට ලක්වනු ඇත. සංචාරක ප්‍රවර්ධනය ආදී කරුණු ඔස්සේ ඒ සඳහා බලධරයන් ගේ අනියම් සහය ද අද වන විට ලැබෙමින් තිබේ.

ගුප්ත ලෝලීත්වය මිනිසා ගේ සහජතාව හා සහසම්බන්ධ වූවකි. එහෙත්, සමාජයීය වශයෙන් ගත් විට එසේ ගුප්ත විශ්වාස අඩු හෝ වැඩි සමාජයන් වෙන් වශයෙන් හඳුනා ගත හැක. නමුදු ඉතා කණගාටුවෙන් වුව කිවයුත්තේ අප රටේ රාජ්‍ය පාලන කටයුතු වලදී පවා මෙම ගුප්ත විශ්වාස වලට අනියමින් ඉහළ පිළිගැනීමක් ලැබී ඇති බවකි.

ලොව සමාජ, ආර්ථික වශයෙන් දියුණු රටවල ඉතා අවම වශයෙන් සමාජගත වී ඇති මෙම ගුප්ත විශ්වාස අප රටේ රාජ්‍ය මට්ටමින් පවා පිළිගනු ලැබීම හා වර්තමානය රට මුහුණ පා ඇති අවාසනාවන්ත තත්වය මනාව පිළිඹිබු කරන්නකි.

මේ සියළු පසුබිම් කරුණු ගොනු කොට බැලීමේ දී වර්තමාන සමාජ, ආර්ථික අස්ථායී භාවය මුල්කොට තව ඉතා කෙටි කාලයක් තුළ අප සමාජයේ අපරාධ, හොරකම්, දුරාචාර සහ ගුප්ත විශ්වාස නව රැල්ලක් ශීඝ්‍රයෙන් හිස එසවීම කිසිවකුටත් වැළකිය නොහැක. එමෙන්ම ඊට සාපේක්‍ෂව නීතිය, යුක්තිය, සදාචාරය ආදී මානව ශිෂ්ටාචාර ගත මූල ධර්ම පද්ධතිය ද බිඳ වැටෙනු ඇත. මේ සම්බන්ධ ලොව විවිධ රටවලින් ගත හැකි ආසන්නතම නිදසුන් බොහොමයකි.

මෙලෙස අපරාධ, සොරකම්, දුරාචාර හා ගුප්ත විශ්වාස යන කරුණු හතර මත ස්ථාපිත සමාජයන් සමාජ විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනුයේ සාරධර්ම විරහිත හෙවත් අනෝමීය සමාජයන් (Anomic Society) වශයෙනි. එය අපගේ ගැමි වහරට අනුව හකුළුවා දැක්විය හැක්කේ ‘බල්ලන් මරා හෝ සල්ලි හොයන’ සමාජයක් යනුවෙනි. නමුදු මෙහි අතිශය බිහිසුණු පක්ෂයක් ද තිබේ. එනම් මෙම අංගවලින් අගතියට පත්වන දූෂිත සමාජයක් යළි සදාචාරාත්මක වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීම නම් ලේසි පහසු කරුණක් නොවීම ය.

මානව විද්‍යා මහාචාර්ය  ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර