අපල, නැකත්, ඇස්- වහ කට වහ කියන වචන අද සමාජයේ බෞද්ධ සමාජයේ බහුලව භාවිතා වෙනවා.මේවා බුදුන් වහන්සේ වැඩ සිටි කාලයටත් කලින් ඉන්දියාවේ මුල් බැස ගත්තු බමුණු මත නමුත් බුදු රජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළා..වචනාර්ථයෙන් ගතහොත් අපල කියන්නේ අයහපත් ප්‍රතිඵල. සපල කියන්නේ යහපත් ප්‍රතිඵල. සෑම විටම නොවුණත් මේ අපල සහ සපල ඇතිකර ගැනීමට බොහෝ විට උපකාර වන්නේ අප විසින් ඇති කර ගන්නා වූ කුසලාකුසල කර්මයන්.එහෙම නැතුව කොහේවත් තියන ග්‍රහ තාරකාවන් නෙවෙයි.
‘කම්මං සච්චේ විභජති යදිදං හීන පනීතතාය’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේත් මේ හේතුවෙන්. එනිසා මේ අපල යනුවෙන් හැඳින්වෙන අයහපත් ප්‍රතිඵල ලැබීමේ දී තමන් තුළ කුසල ශක්තීන් පුබුදුවා ගැනීමෙන් ඒවා යම් ප්‍රමාණයකට අවම කරගැනීමට හැකියාව තිබෙනවා. නමුත් කර්මානුරූපව සිදු නොවන ලෝක ධර්මතාවයක් මත සිදුවන අයහපත් ප්‍රතිපලවලදී ඒ පිළිබඳව නුවණින් සිහි කරමින් නොසැලී සිටීම බුදු දහමින් අගය කෙරෙනවා.
‘ඵුට්ටස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්සන කම්පතී
අසෝකං විරංජ ඛේමං
ඒතං මංගල මුත්තමං’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ එයයි.
එනිසා එම ලෝ දහමට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි වෙනයම් ගුප්ත බලයක් තිබුණා නම් බුදු මුවින් ඉහත සඳහන් ගාථාව පිට වන්නට ඉඩක් නෑ.ඒ වගේම නැකැත් පිළිබඳව අද බෞද්ධ සමාජයේ පවතින්නේ අතිමහත් විශ්වාසයක්. එසේම නැකැත් බැලීම්වලට අමතරව රාහු කාලය බැලීම, රාහු කාලයට අනුව වැඩකටයුතු සකසා ගැනීම වැනි දේවල් අද සමාජයේ බෙහෙවින් පැතිරී යනවා.මෙම විශ්වාසයන් පදනම් කරගත්තවුන් මතින් යැපෙන විශාල ජාවාරම් කාර ප්‍රජාවක් ද අප රටේ වෙසෙන බව රහසක් නොවේ. ඔවුන් මෙබඳු විශ්වාස බෞද්ධයන් අතරේ පතුරුවමින් තම ව්‍යාපාර ජාවාරම් සවිමත් කර ගන්නවා.නමුත් මිනිසාගේ ස්වාමිත්වය තහවුරු කෙරෙන බුදු දහමෙන් මිනිසුන් මෙවන් ගුප්ත විද්‍යාවන්හි සරණ යාම ඵල රහිත බව පෙන්වා දෙනවා. නැකැත් අනුව කටයුතු කිරීම හුදෙක් සමාජ සම්මතයක් මිස බුදු දහමෙහි දැක්වෙන්නක් නොවෙයි.
‘නක්කත්තං පතිමා නෙත්තං
අත්ථෝ බාලං උපජ්ජගා
අත්ථෝ අත්ථස්ස නක්කත්තං
කිං කරීස්සන්ති තාරකා’
ඉහත සඳහන් ගාථා පාඨය ශ්‍රී මුඛ දේශනාවක්. එය ඇතුළත් වන්නේ බුද්දක නිකායට අයත් ජාතක පාලියේයි. එහි අරුත ‘බාලයා නැකත් සොයමින් කළ යුත්ත පමා කරයි. යෙදෙන කාරිය සඳහා සුදුසුම නැකත ඒ සඳහා යෝග්‍ය වෙලාවයි. (එහෙයින්) නැකත් තරුවලට කුමක්ද කළ හැක්කේ?’ යන්නයි. ඒ අනුව අත්ථෝ අත්තස්ස නක්කත්තං’ යන පාලි පාඨයෙහි බෞද්ධයන්ගේ නැකත කුමක් විය යුතුද? යන්න පිළිබඳව මනා වැටහීමක් ඇති කර ගන්න පුළුවන්. නමුත් සමාජ සම්මතය අනුව අප බොහෝ දෙනෙක් මේ නැකැත් පිළිබඳව තැකීමක් කරනවා. එහි බැලූබැල්මට ප්‍රබල දොසක් දැකිය නොහැකි වුවත් මෙම නැකැත් පිළිපැදීමෙන් තමන්ගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් සිදුවේ නම් එය අතහැර
දැමීම යෝග්‍ය බවයි ධර්මානුකූලව පැවසිය හැක්කේ. විශේෂයෙන් රාහු කාලය බැලීම වැනි දේවල් හරස් කර ගැනීමෙන් අද සමාජයේ බොහෝ දෙනෙක් තම
එදිනෙදා කටයුතුවලට බාධා පමුණුවා ගන්නා බවත් පෙනෙනවා. එය නම් අනුවණකමක් බව කිව යුතුයි. විශේෂයෙන් බුද්ධ කාලයටත් වඩා පැරණි ශාස්ත්‍රයක් වශයෙන් සැළකෙන නක්ෂත්‍රයෙහි වුණත් රාහු කාලය ලග්න පලාපල වැනි දේ පිළිබඳව එතරම් තැකීමක් කෙරෙන්නේ නෑ. එක් එක් පුද්ගලයා කෙරෙහි වෙන් වෙන් වශයෙන් බලපාන ග්‍රහ දෘෂ්ටි සම්බන්ධව කියවෙන නක්ෂත්‍රයෙන් සියල්ලන්ටම පොදු අපල කාලයක් වැනි දෑ හුවා දැක්විය නොහැකි බවයි ඒ පිළිබඳ ගැඹුරින් විමසුම් කෙරෙන විද්වතුන්ගේ මතය වන්නෙ.
ඇස්වහ, කහවහ, හෝවහ විශ්වාසත් අද සමාජයේ පිරී ඉතිරී පවතිනවා.ඇස්වහ කටවහ හෝවහ ආදියෙන් මිනිසුන්ට විශාල අයහපතක් සිදුවෙනවා තමයි.හැබැයි අද සමාජයේ බොහෝ දෙනා සිතන විදිහට නම් නෙවෙයි. අපි බලමු, ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. සිත, කය,වචනය කියන්නේ අපේ පිරිසිදු බවට හෝ අපිරිසිදු බවට මුල්වන තුන් දොර කියන එක කවුරුත් දන්නවා. අපි මේ තුන් දොරින් අයහපත් දෙයක් කළොත් ඒක අපේ අයහපතටත්, යහපත් දෙයක් කළොත් අපේ යහපතටත් හේතු වන අන්දම බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලි වශයෙන් විග්‍රහකොට තිබෙනවා .ඇස කියන්නේ අපේ ඉන්ද්‍රියක් ! ඉතින් අපි ඒ ඇස ඊර්ශ්‍යා පරවශව අයහපත් ලෙසින් යොදා ගැනීමටයි ඇස්වහ කියන්නේ. ඒක අපේ කය අපිරිසිදු වෙනවා. එහි අයහපත ඒකාන්ත වශයෙන්ම අපට අත්විඳින්නට සිදුවෙනවා.
ඊළඟට අපි බලමු ‘කටවහ’ ගැන. කටවහ කියන්නේ වචනයෙන් අපිරිසිදු වීම. ඉන් ලැබෙන අයහපත් ප්‍රතිඵලත් අපිට නිසැක වශයෙන්ම උදාවෙනවා. ඒ වගේමයි ‘හෝවහ’ කියන දේත්. ‘හෝවහ’ කියන්නේ යමෙකුට අහිත පිණිස යමක් සිතීම. ඉතින් ඒ මගින් සිත අපිරිසිදු වන බවත් අමුතුවෙන් කිව යුතු නැහැ.ඔන්න ඕකයි බෞද්ධ ආකල්පයට අනුව ඇස්වහ, කටවහ හෝවහ කියන්නේ. කාටත් වැටහෙන විදිහට කිව්වොත් සිතින් කයින් වචනයෙන් අපිරිසිදුවීම. ඒ අපිරිසිදු බව තුළින් එසේ අපිරිසිදු වුණු තැනැත්තාගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් අසාර්ථක වන බව බුදුරජාණන් වහන්සේ ඉතා මැනැවින් විග්‍රහ කොට තිබෙනවා. නමුත් අද අපේ සමාජය ඔය ඇස්වහ කට වහ හෝවහ ගැන පිළි අරගෙන තිබෙන්නේ ‘කණපිටට’. ඒ කියන්නේ ඒවාට ලක්වන අයට යම්යම් අයහපතක් සිදුවන බවයි. නමුත් හොඳින් සිහියට නංවා ගන්න. තමන් විසින් ඇති කරගන්නා තුන් දොර කිළිටි කරගැනීම මගින් තමන්ගේම අයහපත සිදුවන බවක් මිස තම සිතෙහි, කයෙහි, වචනයෙහි ක්‍රියාකාරීත්වය මතින් ඇතිවන කිසියම් ගුප්ත බලයක් මතින් අනුන්ගේ සැප දුක විසඳෙන බවක් බුදුරජාණන් වහන්සේ නම් කිසි විටෙකත් ප්‍රකාශ කොට නැති බව.අන්න ඒ නිසා ඉතා පැහැදිලිවම කීමට ඇත්තේ අපල,නැකත් ඇස් වහ කට වහ විශ්වාස කිරීම බෞද්ධකම සෝදා පාළු කර ගැනීමක් බවයි.රාජකීය පණ්ඩිත ආචාර්ය බමුණුගම ශාන්ත විමල හිමි.