අපල නැති කේන්දරයක් තුන් ලෝකයේම නැහැ

කේන්දර පරීක්ෂාවක දී එහි ග්‍රහයන් පිළිබඳව විමසීමට පෙර කේන්දරය පරීක්ෂා කිරීමට එන තැනැත්තාගේ මානසිකත්වය විමසා බැලිය යුතුය යන්න අප රටේ පිළිගත් ජ්‍යොතීර්වේදී ඇදුරු පරපුර නිබඳවම ලබා දී ඇති උපදෙසකි. අවවාදයකි. ඒ ජ්‍යොතීර්වේදය යනු එක් අතකින් විශ්වීය බලය කියා පාන ශාස්ත්‍රයක් සේම අනෙක් අතින් මනෝ උපදේශනයක් හා චිකිත්සාවක් ද වන බැවිනි.එහෙත් එය වත්මන් ජ්‍යොතීර්වේදී පරපුර සතුටු දායක ලෙස ක්‍රියාවට නංවන බවක් නොපෙනෙයි.
පසුගිය දිනයෙක තමන්ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම පිණිස ම’වෙත පැමිණි කලක් විදේශ රැකියාවක නිරතව සිට මව් රටට පැමිණි තරුණයකු තුළ තම ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් යම් නොඉවසිලිමත් බවක් පවතින බව මට වැටහිණි.“මට මේක දැන්ම බලවා ගන්න ක්‍රමයක් නැද්ද?’ ඔහු ම’වෙතින් අසන ලද්දේ යම් අසහනකාරී බවක් පළ කරමිනි. එහෙත් ඊට නිසි පිළිතුරක් නොදුන් මම තම ජන්ම පත්‍රය එතරම් කඩිනමින් බලා ගැනීමට ඇති අවශ්‍යතාව කුමක් දැයි ඔහුගෙන් අසා සිටියෙමි.“මම මේ වෙනකොට මගේ කේන්දරේ අරගෙන හත් අට පොළකටම ගිහින් තියෙනවා. ඒ හැම තැනකින්ම කියැවුණේ අපලයි, නරකයි, අගුණයි වගේ කතා තමයි. ඒක මට දැන් මානසික වදයක්. ඒ ගැන දිගින් දිගටම හිතනකොට මගේ එදිනෙදා වැඩකටයුතු විතරක් නෙවෙයි මට ජීවිතෙත් එපා වෙනවා” ඔහු කීවේය.“ග්‍රහ අපල නැති කේන්දරයක් මේ ලෝකේ කොහෙන්වත් හොයාගන්න බෑ. ජීවිතයට අපල සපල කියන දෙකම එක වගේ උරුමයි. ඉතින් ඒ අපල මහරවා ගන්න විදිහත් ඒ කේන්දරය බලපු අය කියලා දෙන්න ඇතිනේ නේද?” ඔහුගේ මානසික ව්‍යාකූලත්වය වටහා ගත් මම ඇසීමි.
“කියලා දුන්නා නම් තමයි. ඒත් එක එක්කෙනා එක එක දේවල් කිව්වේ. ඒ ඔක්කොම කරන්න තියා හිතන්නවත් බෑ. ඒ ගැන හිතනකොටත් මොළේ තවත් අවුල් වෙනවා” එම තරුණයා කීවේය.
“කේන්දරේ කියන්නේ පුංචි ලියැවිල්ලක් තමයි. ඒත් කේන්දරේ බලනවා කියන්නේ ඒ ලියැවිල්ල දිහා බලන එකට නෙවෙයි. අනන්ත අපරිමාණ විශ්වයේ තියෙන සමස්ත ග්‍රහ ක්‍රියාකාරකම් දිහා බොහොම සිහි නුවණින් බලලා, ඒවා ගැන නිවැරදි විශ්ලේෂණයකට ඇවිත් ඒ සම්බන්ධ හැකිතාක් නිවැරදි හා සාධාරණ නිගමන ඉදිරිපත් කරන එක. ඉතින් ඒ අනුව ඒක විනාඩියකින් දෙකකින් පැය බාගෙකින් පැයකින් හරියට කරන්න බැරි බව වැටහෙනවනේ” එසේ කී මම යළි සතියකින් පැමිණෙන ලෙස පවසා ඔහු පිටත් කර හැරියෙමි.
සැබැවින්ම එම තරුණයාගේ ජන්ම පත්‍රයට අනුව ඒ වන විට ඔහුගේ ලග්නාධිපති ග්‍රහයා වෙත පාප ග්‍රහ දෘෂ්ටි කිහිපයක්ම එල්ල වී තිබිණ. ඔහුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කළ බොහෝ දෙනකු එය ඔහුගේ අපල කාලයක් ලෙස හඳුන්වා ඇත්තේ එබැවින් බව මට වැටහිණි. නමුදු මා ද එම කරුණු ටිකම ඔහුගේ හිස මත පටවා තැබීම ඔහු කබලෙන් ළිපට ඇද දැමීමක් බව ඒ වන විට මට මනාව වැටහී තිබිණි. එමෙන්ම එම ජන්ම පත්‍රය සම්බන්ධ සූක්ෂම පරීක්ෂාව දී ඉහත සඳහන් අපල තත්ත්වයන් යටපත් කළ හැකි සාධනීය තත්ත්වයන් කිහිපයක් ද ඉස්මතු කර ගත හැකි බව එම ජන්ම පත්‍රය කෙරෙහි වඩාත් විමසිලිමත් වූ මට වටහා ගත හැකි විය.එය “ඕනෑම කලු වලාවක රිදී රේඛාවක් තිබේ”යන බටහිර කියුමට සමාන වූවකි. එහෙත් වත්මන් ජ්‍යොතිෂවේදීහු බොහෝ දෙනෙක් පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර සම්බන්ධ මෙම සූක්ෂම පරීක්ෂාව සිදු නොකරති. ඊට හේතුව ඒ සඳහා දැනුම, බුද්ධිය, ශ්‍රමය සහ කාලය වැඩිපුර වැය වන බැවිනි. එමෙන්ම මෙම සූක්ෂම පරීක්ෂාව එක් එක් ජ්‍යොතිර්වේදියා සතු දැනුම, පළපුරුද්ද හා අත්දැකීම් මත පදනම් වන බව ද කිව යුතුම ය.
“කොහොමද මගේ කේන්දරේ. බරපතල විදියට අපල තියෙනවා නේද?” නියමිත දිනයේ මා වෙත පැමිණි ඔහු විසින් අසන ලද්දේ පෙර පැවැති නොඉවසිලිමත් බවින් යුතුවම ය.“මම නම් කීයටවත් එහෙම කියන්නේ නැහැ” මම ඔහුට ගත් කටටම කීවෙමි.“මොකද යම් යම් පාපී ග්‍රහ දෘෂ්ටි වගේම යහපත් ග්‍රහ බලපෑම් කිපෙකුත් පෙන්නුම් කරනවා. ඒ ඔක්කොම එකතු කරලා පොදු නිගමනයට ආවම වර්තමාන ග්‍රහචාරය හුඟාක්ම නරකය කියන්නත් බැහැ.”මගේ එම කතාවට සවන් දුන් ඔහු මඳ වේලාවක් ගැඹුරු කල්පනාවක නිමග්න වනු පෙනුණි.
“එතකොට මගේ මේ කාලේ හොඳද? නරකද? කියලා මට තීරණය කරගන්න බැරිද?’මඳ වේලාවකට පසු ඔහු ඇසුවේ කිසිත් වටහා ගත නොහැකි ලෙසිනි.
“ඔය දරුවගේ ජීවිතේ යහපත සලසා ගන්න ප්‍රධාන වශයෙන්ම පුළුවන් ඔයාටමයි.ඒකට ආත්ම ශක්තිය, අධිෂ්ඨානය, උත්සාහය, කැපවීම වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ග්‍රහ චාරය කියන්නේ එය දරුවාගේ ඒ ජීවන රටාව පෙන්නුම් කරන එක දර්ශකයක් විතරයි. ඔයාගේ ආත්ම ශක්තිය, අධිෂ්ඨානය, උත්සාහය, කැපවීම කියන සාධනීය අංග වඩා වර්ධනය කර ගන්න කොට ඒ ග්‍රහ බලපෑම්වල තියෙන නපුර අයහපත අඩු කර ගන්න පුළුවන්” මම කීවෙමි.
“එතකොට කේන්දර හඳහන් විශ්වාස කරන එක තේරුමක් නැද්ද?” එවිට ඔහු මගෙන් අසා සිටියේ තම කලින් පැවැති සිතිවිලිදාමය වෙනස් කර ගත් බවක් අඟවමිනි.
එහෙත් ඔහු එම අන්තයෙන් ද මුදවාගත යුතු යැයි මට සිතුණි.
“විශ්වාස කරන්න එපා කියල මම කීයවටත් කියන්නේ නැහැ. ඒත් මම කියන්නේ අනිත් හැම දේම මත්තේ වගේම ජ්‍යොතීර්වේදය මත්තෙන් ජීවිතය ගොඩනඟා ගන්න එපා කියලයි. එතකොට ඔය දරුවා දන්නවද හැරමිටියෙයි බස්තමෙයි වෙනස?” අනතුරුව මා ඔහුගෙන් විමසූ විට ඔහු නිරුත්තරව මඳවේලාවක් මා දෙස බලා හිඳිනු පෙනුණි.“හැරමිටිය කියන්නේ දෙපයින් තනිවම ඇවිදින්න කෙනෙකු යොදා ගන්නා ආධාරකයක්. ඒ බොහෝ විට හැරමිටියක උපකාරයෙන් ගමනක් යන කෙනෙකුට ඒක නැතුව අඩි තුන හතරක්වත් ඉස්සරහට යා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් බස්තමත් ඒ වගේමයි. නමුත් ඊට වෙනස්. බස්තමක් අතේ අරන් යන කෙනෙකු නිකම් යනවාට වඩා හැම අතින්ම ආරක්ෂාවක් සැලසෙනවා. ඒ වගේම යම් යම් කටයුතුවලටත් ඒක උපකාර වෙනවා. නමුත් ඒ වගේ බස්තමක් අරන් යන මනුස්සයා ඒක අතහැරුණා කියලා බිම ඇදගෙන වැටන්නේ නෑ. ඒ හින්දා ජ්‍යොතිෂය කියන එක බස්තමක් විදියට මිසක් හැරමිටියක් විදිහට පාවිච්චි කරන්න එපා කියලයි මම කියන්නේ”
මම ඔහුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ආපසු දෙන අතරේ ඔහුට එම උපදේශය ද ඔහුට දුන් මම “හොඳට මතක තියා ගන්න අපල නැති කේන්දරයක් තුන් ලෝකෙම නෑ කියන එකත් හොඳට මතක තියා ගන්න” යනුවෙන් ද කීවෙමි.හේම ශ්‍රී අමරසිංහ

 

 

 

 

 

ඉරා අදුරුපට