‘අපි තාමත් පෙම්වතුන් ගේ දිනය මතුපිටින් අත ගානවා විතරයි’ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

වැලන්ටයින් ගේ දිනය ලෙස ප්‍රකට තවත් පෙම්වතුන් ගේ දිනයක් උදා වී තිබේ. සෑම වසරකම පෙබරවාරි 14 වන දාට යෙදෙන මෙම දිනය කිතුනු සාන්තුවර පුරාවෘත්තයක් පදනම් කරගත් බවක් පැවසුණ ද අද වන විට එහි කිසිදු ආගමානුකූල වැදගත් බවක් ඇති බවක් පෙනෙන්නට නැත.

ජන මනැසේ පවත්නා භාවාත්මක පදනම් මුල් කොට තම අභිමතාර්ථයන් ඉටු කරගැනීමට වෙර දරන වානිජ ප්‍රජාව මෑතක සිට ගෝලීය මට්ටමින් පෙළ ගැසෙනු දක්නට ලැබේ.

ඒකීයත්වයෙන් යුතු සංවිධාන ව්‍යුහයක් දක්නට නොලැබුණ ද විවිධ සමාගම්,හා ව්‍යාපාරික කණ්ඩායම් නත්තල් උත්සවය මුල් කොට ගත් ‘සැන්ටා’ නම් වෙළඳ දූතයා ද කිතුනු සාන්තුවර නාමයක් අවභාවිතා කරමින් වානිජ ප්‍රජාව විසින් ජන සමාජය පාරිභෝගික කුළු ගැන්වීමක් සඳහා යොමු කළ ප්‍රබල උත්සාහයකි.

ලෝක ප්‍රකට සිසිල් බීම සමාගමක් තම අලෙවි ප්‍රවර්ධනය පිණිස යොදා ගත් මෙම සැන්ටා නම් වන සතුට දනවන සංකේතය අද වන විට නත්තල නම් ආධ්‍යාත්මික සැමරුම යටපත් කොට මතු කොට ඇති “උත්සව සමය”ලෙස හැඳින්වෙන පාරිභෝගික සැනකෙළියේ ප්‍රධාන වෙළඳ දූතයකු බවට පත් කොට ඇත.

පෙබරවාරි 14 වනදාට යෙදෙන වැලන්ටයින් දිනය ද එවැනිම පාරිභෝගික කුළු ගැන්වීමකි.ජන සමාජයේ සියලුම පුද්ගලයන් හට විවිධාකාරයෙන් සහ සම්බන්ධ සංසිද්ධීන් මුල් කොට දින නියමව පවතින පසුබිමක පෙම්වතුන් වෙනුවෙන් දිනයක් නියම කිරීමේ අයෝග්‍යතාව කුමක් දැයි සමහරෙක් ප්‍රශ්න කරති.

කිසියම් සංසිද්ධියක් පුනරාවර්ජනය කර ගැනීමෙන් එය නවතාවයකින් යුතුව ඉදිරියටත් පවත්වා ගෙන යා හැක. පොදුවේ ගත් විට සැමරුම් වල ඇති සමාජයීය වැදගත්කම එයයි. ඒ අනුව වයස, සමාජ තරාතිරම ආදී භේද නොතකා පෙම්වතුන් පෙම්වතියන්ට තම ප්‍රේමය යාවත්කාලීන කරගැනීමට මෙම පෙම්වතුන් ගේ දිනය ඉවහල් වන බවට සමාජමය තර්කයක් ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව එය මුල් කොට වෙළෙඳ ප්‍රජාව විසින් ඉදිරිපත් කරනු ලබන අධි පරිභෝජනවාදී උප්පරවැට්ටි වලට නොරැවටී සරල සහ චාම් ලෙස පෙම්වතුන්ට හා පෙම්වතියන්ට මෙම සැමරුම කළ හැකි බවට සමාජමය මතයක් ද ඉදිරිපත්ව තිබේ.

එවන් තත්වයක් තුළ මෙම පෙම්වතුන් ගේ දිනයට පදනම් වන තේමාව වන ආදරය මුල් කොට වෙනයම් අරමුණු ඉටුකර ගැනීම පිණිස වන විකල්ප උත්සව සංවිධාන කිරීමේ සමාජ ප්‍රවණතාවක් ද දක්නට පුළුවන. පෙම්වතුන් ගේ දින තේමාව වන ‘ආදරය’ යන්න සමාජයේ අසරණ වූවන් කෙරෙහි, සතුන් කෙරෙහි, පරිසරය කෙරෙහි ආදී වශයෙන් විවිධාංගීකරණ ස්වරූපයෙන් හා විවෘත මුහුණු වරකින් දැක්වීම මේවායේ අරමුණ බව පෙනේ.

එහෙත්, මේ සියලු කරුණු පසෙක තිබියදී යොවුන් ප්‍රේමය හා සම්බන්ධ නව සමාජමය ප්‍රවණතා සහ ඒ තුළින් මතු වන ගැටලු අර්බුද විසඳීම කෙරෙහි විවෘත අවධානයක් මේතාක් යොමුව ඇති බවක් නොපෙනෙයි. සමාජ විද්‍යාත්මක පදනමින් ඒ පිළිබඳව පුළුල් විමර්ශන කොට ඇති බවක් ද පෙනෙන්නට ඇත. ඉකුත් දශක කිහිපය තෙක් බොහෝ සමාජයීය ප්‍රශ්න, ගැටළු, අර්බුද සමාජ පන්තීන් හා බැඳී පැවති මුත් යොවුන් ප්‍රේමය හා සම්බන්ධ ඇතැම් ගැටලු එලෙස හුදු කේවල ස්වරූපයක් නොගන්නා බවක් පෙනෙයි.

විශේෂයෙන් වර්තමාන ශ්‍රී ලාංකේය සමාජයේ මධ්‍යම පන්තිය අතිශය වේගවත් ලෙස විස්තාරණය වීමත් සමඟ මීට දශක කිහිපයකට පෙර අප දුටු සමාජයේ පැවැති පන්ති භේදය දුටු සාම්ප්‍රදායික කෝණය වෙනස් කරගැනීමට අපට ඒකාන්තයෙන්ම සිදු වනු ඇත. එමෙන්ම අපගේ ජන කවි, ජන කතා වල එන සාම්ප්‍රදායික ගැමි ප්‍රේම වෘත්තාන්ත අද වන විට හුදෙක් කතාන්දර බවට පමණක් පත්වෙමින් තිබේ.

ඊට හේතුව මීට දශක කිහිපයකට පෙර පැවැති සමාජයට සාපේක්‍ෂව වර්තමාන අධි පරිභෝජන වාදී, නවීකරණ සමාජයේ ප්‍රේමය පවත්වා ගෙන යාම පිණිස මූල්‍යමය ශක්තිය අනිවාර්ය සාධකයක් වී ඇති බැවිනි.නව යෞවනයත් සමඟ තරුණ පෙළ වැඩිහිටියන්ට සාපෙක්ෂව ‘හැඩට වැඩට‘හෝ” ජැන්ඩියට “සිටිය යුතුය යන පොදු සමාජ ආකල්පයක් පවතී. එහෙත්. අපගේ ජන කවි ජන කතාවල එන ගැමි තරුණියන්ට හැඩ වැඩ වීම පිණිස වන මල් වලින් වරලස සරසා ගැනීමට නොපුලුවන.

අද සමාජයේ බොහෝ තරුණියන් සිදු කරන ඇසි බැම සැකසීමේ සිට අනේක විධ රූපලාවනය කටයුතු සඳහා යම් යම් ප්‍රමාණයන් ගෙන් මුදල් වැය කිරීමට ඔවුනට සිදු වෙයි. ඔවුන් ගේ එම අවශ්‍යතාවයන් ඉටු කිරීම පිණිස වන විවිධ ආකාරවලින් පුහුණුව ලැබූ රූපලාවන්‍යවේදිනියන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙන අතර කලින් නාගරික මට්ටමින් තිබූ රුපලාවන්‍යාගාර අද ග්‍රාමීය මට්ටමින් ද දක්නට ලැබේ.

මෙවැනි මූලික කරුනු වල සිට වර්තමානයේ තරුණ තරුණියන් හට ප්‍රේමයක් පවත්වාගෙන යාම වෙනුවෙන් නිතිපතා කිසියම් මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන අතර පෙම්වතුන් පෙම්වතියන් අතරේ හුවමාරු වන තෑගි බෝග වලින් පරිබාහිරව ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, ආහාර පාන,සන්නිවේදන කටයුතු,විනෝද මාධ්‍ය ඇතුළු අනේක විධ අවශ්‍යතා වෙනුවෙන් නිරතුරු මුදල් වැය කිරීමට ඔවුනට සිදු වනු ඇත.

මේ අතර තමන් තෝරා ගත් පෙම්වතා සුහුරු දුරකතන භාවිතා කිරීමට නොදත් කම මුල් කොට ඒ ප්‍රේමයෙන් සමුගත් පෙම්වතියක පිළිබඳව ද අසන්නට ලැබිණ.ඇය සරසවි සිසුවියකි.ඉන් අපට අනියමින් ගම්‍ය වනුයේ වත්මන් යොවුන් ප්‍රේමයේ පැවැත්ම විද්‍යා තාක්ෂණය සමඟ ද බැඳී පවතින බවකි.

අතීත ගැමි සමාජයේ යම් තරමකට සංකල්පීය වශයෙන් හෝ පැවැති පුරුෂෝත්තමවාදය තුළ කාන්තාව පිරිමියා ගෙන් සකල විධ රැකවරණ ලැබිය යුතුය යන ආකල්පය සමාජය පුරා පැතිර තිබිණ.එහෙත්, ගත වූ දශක කිහිපය තුළ කාන්තා සේවා නියුක්තිය ඇතුළු සමාජමය සාධක මුල් කොට එම පුරුෂෝත්තමවාදී සංකල්ප බොහෝ දුරට බිඳ වැටී තිබේ.

ඒ අනුව ගොඩ නැඟුණු ස්ත්‍රී පුරුෂ සමානාත්මතා සංකල්පයට අද වන විට පොදු සමාජමය පිළිගැනීමක් ලැබී ඇති අතර එය ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක වන්නක් බවට ද පත්ව තිබේ.මෙම තත්වය යටතේ වුව හැම දෙයක්ම තම පෙම්වතා ගෙන් ලැබෙන තුරු බලා සිටීමේ අවකාශය වර්තමාන පෙම්වතියන් කෙරෙන් ද ශීඝ්‍රයෙන් ගිලිහී යමින් පවතී. මේ තත්වය තුළ තම පෙම්වතා සමඟ සම උත්සාහයෙන් සම ධෛර්යෙන් ජීවිතය ගොඩ නංවා ගැනීම අද දවසේ පෙම්වතියන් ගේ ද කාර්යභාරය වී ඇත.

යම් යුවලක් විවාහ නොවී අඹු සැමියන් වශයෙන් ජීවත් වීම හෙවත් Living together යන්න ලෝකයේ ශීඝ්‍රයෙන් ඉස්මතු වන නව පන්නයක්, විලාසිතාවක් වී තිබේ. තරුණියන්ගේ බ්‍රහ්මචාරී දිවිය සංකේතය කෙරෙන කන්‍යාභාවය රැක ගැනීමේ වැදගත්කම පිළිබඳව පෙර පැවැති සාම්ප්‍රදායික ආකල්ප බිඳ වැටීම මීට ආසන්නතම හේතුව බව පෙනේ.

ඊට අමතරව විවාහයකින් පසුව ඉස්මතු වන අඹු සැමියන් අතරේ නොගැලපීම් මත ඇති වන දික්කසාද සේම ඔවුනට ලැබෙන දරුවන් නිසා හටගන්නා ගැටළු අර්බුද සමනය කොට තම අනාගත සහකරු හෝ සහකාරිය තමන්ට සැබැවින්ම ගැලපේද? යන්න සහවාසය තුළින්ම අත්හදා බලා පසුව ඒ සහකරු හෝ සහකාරිය විවාහ කර ගැනීම එසේ නොමැති නම් එම නොගැලපීම් පිළිබඳ සුහදව සාකච්ඡා කොට අමනාපයකින් තොරව දෙදෙනා එකි’නෙකා ගෙන් වෙන් වීමට ඇති පහසු හැකියාව මෙම විවාහ නොවී කලක් එක්ව ජීවත් වීමේ වාසිදායක තත්වයන් සේ සැලකෙයි.

නමුත් සැබැවින් අප ජන සමාජයේ බොහෝ තරුණ තරුණියන් විවාහ නොවී එක්ව ජීවත් වීමට බලපාන ප්‍රධානතම හේතුව එවැනි මනෝමය හෝ පෞරුෂමය කරුණු නොවේ.

විවාහ ජීවිතයකට පිවිසීම සම්බන්ධ සමාජ ආර්ථික මට්ටමක් ඔවුන් තුළ නොමැති වීම ය. රැකියා සේම උසස් අධ්‍යාපනය සඳහා ගමින් නගරයට සංක්‍රමණය වන තරුණයෙකු සහ තරුණියක ඔවුනොවුන් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමෙන් පසු දෙදෙනා වෙන් වෙන් වශයෙන් මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න, ගැටළු,අර්බුද වලට දෙදෙනා එක්ව මුහුණ දීම පිණිස වන පහසුම විකල්පය ලෙස මෙලෙස විවාහ නොවී එක්ව වාසය කිරීම තෝරා ගන්නා බව පෙනේ.

එහිදී ඔවුන් බොහෝ දෙනකු තමන් අනාගතයේ ගත කිරීමට අපේක්ෂා කරන විවාහ ජීවිතය පිළිබඳ මූලික සැලසුම් සකස් කරන අතර එසේ ජීවත් වන තරුණ තරුණියන් අතර එය පදනම් කර ගත් එක්වීම් සේම වෙන්වීම් ද ඉතා ස්වභාවික ය.

එමෙන්ම වර්තමාන ආර්ථික ක්‍රමය යටතේ ප්‍රේමයක් පවත්වා ගෙන යාමට ඇති නොහැකියාව මුල් කොට තම පෙම් සබඳතා අකාලයේ අහිමි කර ගත් තරුණ තරුණියෝ ද බොහෝ වෙති.

මේ සියල්ල වැලන්ටයින් ගේ හෙවත් පෙම්වතුන් ගේ දිනයේ දී සමාජ කතිකාවට ලක්විය යුතු වෙයි.

නමුත් පෙම්වතුන් ගේ දිනය මුල් කොට එවන් හරවත් ගැඹුරු සමාජ කතිකාවකට නොගොස් එහි මතු පිට තලය පමණක් ස්පර්ශ කිරීම හෙවත් පෙම්වතුන් ගේ දිනය මතු පිටින් අත ගෑම පමණි.එය මා දකින්නේ ජන සමාජයේ පවතින තවත් එක් සැමරුමක අවිචාරවත් භාවිතයක් ලෙසිනි.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර