මෑත දිනයෙක ඉන්දියාවේ සංචාරය කළ අපේ විද්වත් හිතවතෙක් ඔහුගේ හිතවත් ඉන්දීය ජාතිකයකු ද සමඟ නව දිල්ලි දුම්රිය පළෙන් ඔබ්බෙහි වූ පහාර්ගන්ජි නම් ප්‍රදෙශයේ රැඳී සිටින විට ඒ අවට සුලබව දක්නට ලැබෙන වීදි දරුවන් රොත්තක් ඔවුන් හමුවට පැමිණ හඬා වැටෙමින් සිඟමන් යදින්නට පටන් ගෙන ඇත. ඔවුන් ගේ ඒ ශෝකී අඳෝනා හඬට කන් දී සිටි හින්දි භාෂාව නොදැන සිටි අපගේ විද්වත් හිතවතා එම වීදි දරුවන් හඬා වැටෙනුයේ කුමක් කියමින් ද? යනුවෙන් තමන් ගේ හිතවත් ඉන්දීය ජාතිකයා ගෙන් අසා තිබේ. ඒ එම දරුවන් ගේ අඳෝනාව එතරම්ම ශෝකාකූල වූ බැවිනි.
“මේ ළමයි ලබන ජූලි මාසේ එන මෝසම් වැහි කාලෙට මේ ළමයින්ට කන්න දෙයක් නැති වෙනවා. ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. වැස්සට තෙමිලා ලෙඩවුණාට බේත් ගන්න විදිහක් නැති වෙනවා කියලා.එහෙම වෙලා මැරෙන්නත් පුළුවන්. ඒ හින්ද දැන්ම සල්ලි කීයක් හරි අරන් තියා ගන්න ඕනේ කියලයි ඔය විලාප දෙන්නේ”
ඉන්දීය ජාතිකයා ගේ ඒ කතාවෙන් අප හිතවත් විද්වත් මිතුරා ගේ සිත තුළ ශෝකයට, කම්පාවකට වඩා විස්මයක් ඉස්මතු වූයේ අම්මෙක් තාත්තෙක් ගැන පවා කිසිම දෙයක් නොදන්නා මේ ඉන්දියානු වීදි දරුවන් මෝසම් වැස්ස ගැන දැන සිටිනුයේ කෙසේදැයි සිතා ගත නොහැකි බැවිනි.
ඉන්දීය වීදි දරුවන් ගේ එම දැනීමට සාපේක්‍ෂව අප රටේ ඇතැම් විද්වත් වෘත්තිකයන් පවා මේ දිනවල අපට හිමිවන වර්ෂාව සම්බන්ධ කාලගුණික සාධක මොනවාදැයි නොදනිති. ඒ
සම්බන්ධයෙන් බොහෝ දෙනකු දන්නේ “මේ දවස්වල දිගටම වහිනවා” කීමට පමණි.මෙම පුවත එම ඉන්දියානුවාට කීවේ නම් එම වීදි දරුවන් පිළිබඳව තමන් පුදුම වූවාටත් වඩා අපේ විද්වතුන් සහිත ජන සමාජය ගැන ඔහු පුදුමයට පත් වනු ඇතැයි එම විද්වත් හිතවතා කීය.
ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැක. ඒ සංවහන, මෝසම්, සහ වාසුළි වශයෙනි. ඉන් මෝසම් වැසි වශයෙන් සැලකිය යුතු වර්ෂාපතනයක් හිමි වන අතර ලංකාවේ දේශගුණයට තීරණාත්මක බලපෑම් කරන ප්‍රධාන මෝසම් සෘතු දෙකකි. ඒ නිරිතදිග මෝසම සහ ඊසාන දිග මෝසම ලෙසින් වශයෙනි.
පොදුවේ ගත් විට ශ්‍රී ලංකාවට වසර පුරාවට සැලකිය යුතු වර්ෂාපතනයක් හිමි වන රටකි. ඒ අනුව මෙහි ශූෂ්ක ලක්ෂණ දක්නට නැත.සමස්තයක් ලෙස ගතහොත් රට පුරාම අඩු වැඩි වශයෙන් සදා හරිත ස්වභාවයක් දක්නට ලැබේ.
සෑම වසරකම මැයි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නිරිත දිග මෝසම මඟින් ලංකාවට සැලකිය යුතු වර්ෂා පතනයක් ලැබේ. එලෙස පුරා මාස පහක කාලයක් වර්ෂාව සක්‍රියව පවතින අතර එය වසරේ දිගම කාලගුණ සෘතුව සේ සළකනු ලැබේ. එම නිරිත දිග මෝසම පෝෂණය වීමට විශාල දායකත්වයක් දෙනු ලබන්නේ ඉන්දියන් සාගරය හරහා මැයි මාසය වන විට අන්තර් නිවර්තන අභිසරණ කලාපය උතුරට ගමන් කිරීම හේතුවෙනි. එම නිසාම එහි ඇති වන අඩු පීඩනය පිරවීම සඳහා ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු ප්‍රදේශයට සුළං ධාරා හමා යාම සිදුවෙයි. එම සුළං ධාරා ලංකාවේ නිරිත දෙසින් රට තුළට ඇතුළු වී ඊසාන දෙසින් පිටව යයි. එම ක්‍රියාවලියේ දී ජල වාෂ්ප රැසක් ද සමග රට තුළට ඇතුල් වන වායු ධාරාව මධ්‍යම කඳුකරයේ හැපී ඉහළට ගමන් කිරීම නිසා ජල වාෂ්ප සිසිල් වී වළාකුළු නිර්මාණය වීමත් එසේ නිර්මාණය වන වළාකුළු මඟින් වැසි ඇති වීමත් සාමාන්‍ය සංසිද්ධියකි. නිරිත දිග මෝසම් වර්ෂාව ලෙසින් හඳුන් වනු ලැබේ. මෙම ක්‍රියාවලියේ දී රට තුළට ඇතුල් වන සුළං ධාරාවන් විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් තුරුළු කර ගෙන ඒම සාමාන්‍ය තත්වයකි.
විශාල සාගර ප්‍රදේශයකින් උකහා ගන්නා ලද ජල වාෂ්ප නිසා නිරිත දිග මෝසම මඟින් ලංකාවට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබීම අනිවාර්යෙන් සිදු වේ. නිරිත දිග මෝසම මඟින් ලැබෙන වර්ෂාපතනය මිලි මීටර් 100 සිට 3000 දක්වා පැවැතිය ද මෙම වර්ෂාව ලංකාවේ කොටසකට පමණක් සීමා වනු දක්නට පුළුවන. අප රටේ මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම්වල මධ්‍ය උස් බිම් වලට ඉහළම වර්ෂා පතනයක් ලැබෙන අතර ගිනිගත්හේන, වටවල, උඩ මාලිබොඩ, නෝටන්බ්‍රිජ් වැනි ප්‍රදේශ වලට මිලි මීටර් 3000කට වැඩි වර්ෂාපතනයක් හිමි වනු ඇත. නමුත් සාපේක්ෂ ආද්‍රතාව වැඩි ඊට ඉහළින් පිහිටි උස් බිම් වලට නිරිත දිග මෝසමෙන් ලැබෙන වර්ෂා ප්‍රමාණය අඩුවීම සාමාන්‍ය තත්වයකි. නිදසුනක් ලෙස නිරිත දිග මෝසම මඟින් නුවරඑළිය ප්‍රදේශයට ලැබෙන වර්ෂා ප්‍රමාණය සාමාන්‍යයෙන් මිලි මීටර් 850ක් වැනි අගයකට සීමා වනු දක්නට ලැබේ. එසේම නිරිත දිග වෙරළබඩ තීරයට මුල් කොට ගත් බස්නාහිර සබරගමුව මධ්‍යම යන පළාත් වලට සහ දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලට මෙම මෝසම මිලි මීටර් 1000 සිට 1600 දක්වා වර්ෂා පතනයක් ලැබුණත් හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙහි බලපෑම එතරම් දැඩිව නොදැනෙයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගංගාවන් සේ සැලකෙන මහවැලි,කැළණි, කළු සහ වලවේ යන ගංගාවන් හි ජල පෝෂක ප්‍රදේශ සඳහා නිරිත දිග මෝසම මඟින් ලබන පෝෂණය අති මහත් වන අතර එම නිසා නිරිත දිග මෝසම මඟින් පමණට වඩා වැඩි වර්ෂාපතනයක් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වෙත පතිත වුණොත් මෙම ගංඟාවන් මඟින් විශාල ජල ප්‍රමාණයක් පහත් බිම් වෙත ගලා ඒම වැලැක්විය නොහැක. එසේම මීට අමතරව නිරිත දිග මෝසමෙන් අධික වර්ෂාවක් ලැබුණොත් ගිං නිල්වලා ගංගා සහ අත්තනගලු මඟින් ද විශාල ජල කඳක් පහත් බිම් වෙත රැගෙන ඒම සාමාන්‍ය තත්ත්වයකි. එම පහත් බිම් වෙත ගමන් කරන විශාල ජල ප්‍රමාණය සහ ඒවායේ සිදු කොට ඇති නොවිධිමත් මානව ක්‍රියාකාරකම් නිසා ගංවතුර තත්ත්වයන් ඇති වීම මෑත භාගයේ අවස්ථාවන් කිහිපයක දීම අත් දකින්නට සිදුව තිබේ. එමෙන්ම අධික වර්ෂාවත් සමගින් ඇති වන නායයෑම් මඟින් එම පීඩාව දරා ගත නොහැකි මට්ටම දක්වා ද ඉහළ නැඟීම වරින් වර සිදුවන්නකි. විශේෂයෙන්ම කඳුකරයට වර්ෂාව වැඩි වශයෙන් ඇද වැටෙන විට විශාල වශයෙන් නාය යන ආකාරය පසුගිය කාල සමයේ නිරන්තරයෙන්ම දක්නට ලැබී තිබේ. පසුගිය දශකය තුළ නිරිත දිග මෝසම් වර්ෂාව හේතුවෙන් ස්වභාවික විපත් ඇතිවීමේ ප්‍රවණතාවය සහ මිනිසා විසින් පරිසරයට එරෙහිව කරන ක්‍රියාකාරකම් අතර පවතින සම්බන්ධතාවය අතිශය පැහැදිලි වී ඇතත් තමන් කරා එවැනි ස්වභාවික ආපදා ළඟාවීමේ ප්‍රවණතාවය අවම කර ගැනීම සම්බන්ධයෙන් ජනතාව නිසි ලෙස සැලකිලිමත්ව නැත. එනිසාම මෙම පාරිසරික හානිය දිගින් දිගටම සිදු වීම මත අනාගතයේ දී ඉතාමත් දරුණු ස්වභාවික විපත්වලට මුහුණදීමට සිදුවීම කිසිවකුටත් වළකා ලිය නොහැකි මය.
මෙම නිරිත දිග මෝසම් බලපෑම අප රටේ උතුරු,උතුරු මැද,ඌව සහ නැගෙනහිර පළාත්වලට එතරම් බලනොපාන අතර ඒ වෙනුවට එම ප්‍රදේශ වල වර්ෂාපනනය සඳහා වන ප්‍රධාන කාලගුණික සාධකය වනුයේ දෙසැම්බර්- පෙබරවාරි කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිවිසෙන ඊසාන දිග මෝසම ය.ඒ අනුව එම ප්‍රදේශවල මේ වන විට ඇරඹී ඇති යල කන්නය නිරිත දිග මෝසම් වැස්සට පූර්ගාමීව ලැබෙන අන්තර් මෝසම් වැසි මඟින් අරඹන අතර එහි ඉතිරි කටයුතු වාරි යෝජනා ක්‍රම සහ වැව් ආදියේ සංරක්ෂණය කර ගත් ජලයෙන් සිදු කිරීම සාමාන්‍ය පිළිවෙලය.නමුත් සෑම වසරකම ඔක්තෝබර් මාසයෙන් ඇරඹෙන මාස් කන්නය එම ප්‍රදේශ වලට ලැබෙන ඊසාන දිග මෝසමට පූර්වගාමී අන්තර් මෝසම් වාසුළි සහ සංවහන වර්ෂාවන් මත පදනම් වන නිසා එම ප්‍රදේශ වල යල කන්නයට සාපේක්ෂව එම මාස් කන්නය සශ්‍රීකත්වයෙන් ඉහළ ය.
අප වත්මන් සමාජයේ විද්වතුන් ඇතුළු බොහෝ දෙනකු තුළ කාලගුණික සාක්ෂරතාව මෙතරම් දළිඳු මට්ටමක පැවැතිය ද නූතනයේ ජීවත් වන්නවුන් මෙන් අධ්‍යාපනය වෙනුවෙන් වැඩි කාලයක්, ශ්‍රමයක්, මිල මුදලක් වැය නොකළ අප රටේ පැරණි ජන සමාජය යල- මහ වශයෙන් හඳුනාගෙන සිටි කන්න හෙවත් කෘෂිකාර්මික කාල පරිච්ඡේද මුල් කොට අප රටේ වර්ෂා පතනය මුල් කොට ගත් කාලගුණික රටාවන් පිළිබඳ බොහෝ කරුණු දැන කියා ගෙන සිටියහ. සුළං හමන රටා, අහසේ වළාකුලු වල සංචරණ රටා, සියොළඟට දැනෙන සංවේදීතා, සතුන් ගේ කෑගැසීම් සහ චර්යා රටා මගින් ඔවුන් පැවසූ ජන විඥානය මත පදනම් වූ සාම්ප්‍රදායික කාලගුණික අනාවැකි අසත්‍යයට වඩා සත්‍යයට සමීප වූ බව අප අවිවාදයෙන් පිළිගත යුතුය.
නමුදු ගම්බද ව්‍යවහාරයට අනුව කිවහොත් ඇටෙන් පොත්තෙන් එළියට ඒමටත් පෙර පාසලේ පන්ති කාමරවලටත් උපකාරක පන්තිවලත් සිරගත කරන දරුවන් තුළ සොබා දහම තමන් ජීවත් වන පරිසරය පිළිබඳ නිසි සංවේදීතාවක් නොමැති වීමේ අරුමයක් නැත.ඒ ඔවුන් යල් පැනගිය ආකෘතියක අධ්‍යාපනය තුළින් බුද්ධිය මැනීමේ නොවිධිමත් සාධකයක් වන “ලකුණු” නම් වන මිරිඟුව ලුහුබැඳීමට පුරුදු කොට ඇති බැවිනි. එය ඔවුන් පෞද්ගලිකව හා සමාජයක් වශයෙන් සුවිසල් ස්වභාවික විපත් දක්වා ඇදගෙන යන ‘මරාලයක්’ වීම ද වැලකිය නොහැක.
රේණුකා ගමගේ