මීට දශක කිහිපයකට ඉහත ලංකා කතෝලික සභාව තුළ සාම්ප්‍රදායික කතෝලිකයන්ට “තරමක් අමුතුවට පෙනෙන” පූජක වරු ගණනාවක්ම සිටියහ.එසේ ඇතැමකුට එම පියතුමන්ලා අමුතුවට පෙනීමට හේතුව ඔවුන් අවශ්‍ය තැන් වල දී පල්ලියේ අල්තාරය අද්දරින් පහළට බැස සාමාන්‍ය ජනතාව සමඟ එකට සිට ගන්නා නිසා ය.සාමාන්‍ය ජනයාට ගැටලු ඇති වන අවස්ථාවලදී පල්ලියෙන් වීදියට බැස මහජනයා හා එක්ව අරගලවලට එක්වීම දේව ධර්මයට පටහැනිය යන ධනේෂ්වර මතයට පටහැනිව විමුක්ති දේවධර්ම පදනමේ සිට ජනතාවට මහඟි සේවයක් සැලසූ එම පියතුමන්ලාගෙන් කොටසක් අද මෙලොව හැර ගොසිනි.ඉතිරි කොටස ලෝගු හෙවත් පැවිද්ද හැර ගොසිනි.නමුදු අද වන විටත් ඉතිරිව ඇති ඒ විමුක්ති දේවධර්ම පූජක පැලැන්තියේ සුළුතරය අතරින් ගරු ඉද්දමල්ගොඩ පියතුමා විශේෂයෙන් කැපී පෙනෙයි. ගොවි ගැටළු දරා ගත නොහැකි ලෙස උග්රවීම මත දිනෙන් දිනම ගොවීන් වස පානය කර දිවි තොර කරගන්නා අවස්ථාවක රජයට අභියෝග කරමින් තම ජීවත් වීමේ අයිතිය ඉල්ලා හිඟුරක්ගොඩ ගොවීන් උපවාසයේ යෙදුණු අවස්ථාවේ, මිහිතලයේ ස්වාභාවික උරුමයක් වන ජල සම්පත පෞද්ගලික කිරීමේ අරමුණින් ආණ්ඩුව ජල පනත ගෙන ආ අවස්ථාවේ එප්පාවල පොස්පේට් නිධිය විදේශීය සමාගමකට අලෙවි කිරීමට කටයුතු කළ අවස්ථාවේ, හමුදා පොලිස් බලතල යොදා තාප විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා නොරොච්චෝලේ ගොවිබිම් ගොවියන්ගෙන් උදුරාගත් අවස්ථාවේ මෙන්ම රජය මුතුරාජවෙල තෙත්බිම කුණු කොල්ලයට විකිණීමට සැරසුණු අවස්ථාවේ එම බරපතල නොකටයුතු නිසා පීඩාවට පත් ජන කොටස් වලට ශක්තියක් ධෛර්යක් වෙමින් ඉදිරියෙන්ම හිටගත් නූතන කතෝලික පියතුමා වූයේ සරත් ඉද්දමල්ගොඩ පියතුමාය.ඒ අනුව එතුමන්ගේ ඒ භූමිකාව තනිව හැසිරෙන මහා තෙද බලැති සද්දන්ත ඇතකුගේ භූමිකාවට සමානයැයි අපට සිතේ. එවන් විප්ලවීය චින්තනයකින් යුතු එතුමා මෙවර නත්තල් උදාවත් සමඟ ජේසු උපත සංකේතනය කෙරෙන ගව ලෙනක ආකෘතියක් අමුතුම ආකාරයකින් නිමවා එහි සේයාරුවක් “ඔබ සැමට නත්තලේ සැබෑ අරුත දැනේවායි සහෝදරත්වයෙන් පතමි”යන සුබ පැතුමද සමඟ තම මුහුණු පොතට ද එක් කොට තිබේ.සරත් ඉද්දමල්ගොඩ පියතුමා විසින් නිමවන ලද ගව ලෙන ගව ලෙනක් ලෙස නොපෙනෙයි.එහි ජේසු බිළිඳා සැතපී සිටිනුයේ ගොඩනැඟිලි සුන්බුන් කිහිපයක් මතය.ජේසු බිළිඳා උපන්නේ බෙත්ලෙහෙමේය. කිතුනුවන් විශ්වාස කරන්නේ ජේසුස් වහන්සේ වසර 2000කට පෙර මෙහි උපත ලැබූ බවයි. බෙත්ලෙහෙම අද අයත් වන්නේ පලස්තීනුවන් බහුලව වෙසන ගාසා තීරයේ බටහිර ඉවුරටය.අද එය මුළුමනිම යුද්ධයට නතු වී වැනසෙමින් තිබේ.එමෙන්ම මෙම නිමැවුමට අනුව කන්‍යා මරියතුමිය හෝ ජුසේතුමන් ද අවට නැත.අඩුම තරමින් ජේසු බිළිඳුන් ගේ හිසට සෙවනක් වත් නැත.ගව බැටළු වැනි සත්තු තිදෙනෙක් පමණක් අවට සිටිති.මෙය ජේසු උපත වර්තමානයට ගැලපෙන සේ ඉදිරිපත් කිරීමක් සේ ද අපට පෙනෙයි.පියතුමන් ගේ මෙම නිර්මාණය එක් රැස් කිරීමේ කලාව (Assemble Art) යන කලා සම්ප්රදාය අනුව සැකසුණු බවක් ද අපට පෙනෙයි.මෙවර බෝම්බ ප්‍රහාරයෙන් බිඳවැටුණු බෙත්ලෙහෙමේ ගොඩනැඟිලි හා නිවාසවල සුන්බුන් තැනින් තැන විසිරී ඇති පරිසරයක ගාසා තීරයේ ජීවිතක්ෂයට පත්වූ දහස් ගණනක කුඩා දරුවන් සිහිගන්වමින් එහි ද සුන්බුන් අතර යේසුස් වහන්සේගේ උපත සැමරීමට ගවලෙන සරසා තිබෙනු ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබේ.
විමුක්ති දේවධර්මය යනු පීඩිතයන්ගේ විමුක්තිය අවධාරණය කරන ක්‍රිස්තියානි දේවධර්මවාදී ප්රවේශයකි. බයිබලයේ සඳහන් ඉගැන්වීම් පදනම් ව සමාජ,ආර්ථික විශ්ලේෂණවල යෙදෙන විමුක්ති දේවධර්මය මඟින් දුප්පතුන් සඳහා සමාජ අවධානය සහ පීඩිත ජනයා සඳහා දේශපාලන විමුක්තිය වැනි සාධනීය කරුණු ජාතිය,ආගම හෝ කුලය වැනි වෙනත් ආකාරයේ අසමානතාවයන් නොතකා ලබා දෙනු ඇත. විමුක්ති දේවධර්මය ලතින් ඇමරිකාවේ විශේෂයෙන්ම කතෝලික ශාසනය තුළ 1960 ගණන්වල දෙවන වතිකානු කතිකාවතෙන් පසුව ප්‍රචලිත විය. එහිදී එය ෆ්රේ බෙටෝ, ගුස්ටාවෝ ගුටේරෙස්, ලියනාඩෝ බොෆ් සහ ජේසු නිකායික ජුවාන් ලුයිස් සෙගුන්ඩෝ සහ ජෝන් සොබ්රිනෝ වැනි දේවධර්මාචාර්යවරුන්ගේ මැදිහත් වීම විශේෂයෙන් කැපී පෙනෙයි.එක්සත් ජනපදයේ සහ දකුණු අප්‍රිකාවේ කළු දේවධර්මය, පලස්තීන විමුක්ති දේවධර්මය, ඉන්දියාවේ දාලිත් දේව ධර්මය, දකුණු කොරියාවේ මින්ජුන් දේවධර්මය මෙන්ම අයර්ලන්තයේ විමුක්ති දේවධර්මය වැනි ලෝකයේ වෙනත් ප්‍රදේශවල විමුක්තියේ දේවධර්ම ද වර්ධනය වී ඇත.නමුත් සාම්ප්‍රදායික කතෝලික ආකල්ප ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වුණු ලංකා කතෝලික සභාව පීඩිතයන්ගේ විමුක්තිය අවධාරණය කරන විමුක්ති දේවධර්මය කෙරෙහි එතරම් උනන්දුවක් නොදක්වන බවට මතයක් මෙරට කිතුණු ප්‍රජාව තුළින්ම පැන්න නැඟී තිබේ.හිටපු රදගුරු එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන් හට ඥාතීත්වයෙන් මිනිපිරියක වන අප ද එම අදහස මුළුමනින්ම අනුමත කරන බව මෙහි සඳහන් කරමි.
මේ අතර පලස්තීන ජාතික කලාකාරියක වන රානා බිෂාරා ද නත්තල නිමිත්තෙන් ජේසු බිළිඳාගේ ප්‍රතිමාවක් යොදා ගනිමින් අමුතුම ආකාරයක කලා නිර්මාණයක් එළිදක්වා ඇත.රානාගේ කලා නිර්මාණයෙන් පෙන්නුම් කරන්නේ ජේසු බිළිඳා නොමේරු දරු උපත් සහිත බිළිඳුන් රඳවන ඉන්කියුබේටරයක් තුළ සිටින ආකාරයයි.ඉන්කියුබේටරයේ සිටින ජේසු බිළිඳාගේ මෙම කලා නිර්මාණය දකින්න ලැබෙන්නේ,ලෝක ප්‍රකට බෙත්ලෙහෙම දේවස්ථානය ඉදිරිපිටය. ඊට අමතරව පලස්තීනුවන් වාසය කරන ගාසා තීරයේ අද යුද ගැටුම් පවතින්නේ ද ගාසා තීරය පාලනය කරන හමාස් සංවිධානය සහ ඊශ්‍රායල හමුදා අතරේය.ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ රෝහල් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරයි. ගාසා රෝහල් සියල්ලම පාහේ එම ප්‍රහාර හේතුවෙන් අඩපණ වී ඇතැයි පැවැසෙයි.ගුවන් ප්‍රහාර මැද, රෝහල්වල සිටි නොමේරූ බිළිඳුන්, ඉන්කියුබේටර පිටින්ම ඊජිප්තුවේ රෝහල්වලට රැගෙන යන දසුන් පසුගිය කාලයේ දකින්න ලැබුණි. බෙත්ලෙහෙම් ගාසා යුද්ධයෙන් විපතට පත් වූවන්ට සහයෝගයක් ලෙස ලොව පුරා සංචාරකයින් දහස් ගණනක් ආකර්ෂණය කර ගන්නා වාර්ෂික නත්තල් සැමරුම් පවා අවලංගු කරන ලදී. බෙත්ලෙහෙම් නගර මධ්‍යයේ මේ වසරේ යෝධ නත්තල් ගසක් හෝ පෙළපාලි සංගීත කණ්ඩායමක් දක්නට නැත. එම ස්ථානයේ දැවැන්ත පලස්තීන ධජයක් එස වූ අතර, ‘ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා බෙත්ලෙහෙමේ සීනු නාද වේ’ යනුවෙන් ලියා තිබූ බැනරයක් ඇත. මෙවන් පසුබිමක් යටතේ නත්තල යනු නාමික යාඥා වලට හා බොළඳ සාජ්ජ වලට දිරි දෙන කතෝලික පූජක ප්‍රජාව අතුරින් මතු වූ ගරු ඉද්දමල්ගොඩ පියතුමා සේම පලස්තීන ජාතික කලාකාරියක වන රානා බිෂාරා නත්තල වෙනුවෙන් කළ ජන මනැස් පුබුදුවන මෙම අමුතු තාලේ නිර්මාණ දෙස මසැසින් නොව මනැසින් බැලීම කිතු සමිඳාණන් ලොවට දැක්වූ උත්තරීතර දිශානතිය වෙත අප යොමු කරවන බව අප ගේ වැටහීම ය.
මාදම්පේ රීටා ජෙනට් පෙරේරා