මෙවර ශ්‍රී ලංකාවේ තෛපොංගල් උත්සවයට සතියකට පෙර ‘ජල්ලි කට්ටු’ ක්‍රීඩාව නැගෙනහිර පළාතේ පවත්වන්නට යෙදුණු බව පුවත් වාර්තා විය. ගොන්නු හීලෑ කිරීමේ ක්‍රියාවක් ලෙසින් මුලින් ම ආරම්භ වී ඇති මෙය ශ්‍රී ලංකාවේ පවත්වන ලද්දේ ප්‍රථම වරටය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමන් සහ සංචාරක කාර්යාංශය විසින් සංවිධානය කරන ලද මේ උත්සවය සඳහා ගවයන් 200 කට අධික ප්‍රමාණයක් ද, ගවයන් හීලෑ කරන්නන් 100 කට අධික පිරිසක් ද සහභාගි වූ බව පැවසේ. මෙහි ජයග්‍රාහකයන්ට වටිනා විදුලි උපකරණ තිළිණ ලෙස ලබා දුන් බව ද වාර්තා විය.
ජල්ලි කට්ටු ක්‍රීඩාවේ දී සිදුවන්නේ ශක්ති සම්පන්න ගවයෙක් සමග පොර බැද ඌ පරාජයට පත්කිරීමය. මෙහිදී උගේ මොල්ලිය දෑතින් අල්ලා සෙලවෙන්නට හෝ නොහැකි වන සේ පොළොවට තදකරගෙන සිටීම සිදු කෙරේ. ඊට අමතරව ගවයාගේ අංවල සවි කර ඇති කොඩි ගලවා ගැනීම සඳහා උගේ පිට මත නැගී ගමන් කරන්නට සිදුවන අවස්ථාවන් ද තිබේ. ජල්ලි කට්ටු ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වන අතර දින හතරක් පුරා පැවැත්වෙන තෛපොංගල් උත්සවයේ තෙවැනි දිනය වූ ‘මට්ටු පොංගල්’ දා මෙය පවත්වනු ලැබේ. මට්ටු පොංගල් උත්සවය පවත්වනු ලබන්නේ ගොවිතැනේ දී තමාට බෙහෙවින් උදව් උපකාර කරන ගවයා සිහිපත් කිරීම සඳහාය. ජල්ලි කට්ටු ක්‍රීඩාව ‘දෙමළ සම්භාව්‍ය යුගය’ පැවති 6 වැනි සියවසේ දී ආරම්භ වූ බව පැවසේ. එසමයේ ජීවත් වූ ‘අයර්’ නම් ගෝත්‍රිකයන් අතර ප්‍රචලිතව පැවති මෙය නිර්භීතබව නිරූපණය කිරීම සඳහා යොදා ගත් ක්‍රීඩාවක් විය. මේ සම්බන්ධ ගල් කැටයමක් දිල්ලි කෞතුකාගාරයේ දක්නට ලැබෙන අතර, කැඔලින් මැට්ටෙන් අඳින ලද, වසර 1500 ක් පමණ පැරණි යැයි තහවුරු වූ ගුහා සිතුවමක් මදුරායි ප්‍රදේශයෙන් ද හමු වී තිබේ.
සියලු හින්දු භක්තිකයන් විසින් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන පැමිණි මේ උත්සවය ගවයාට උපහාර කරන මට්ටු පොංගල් දිනයේ දී පවත්වනු ලැබුව ද එයින් ගවයාට උපහාරයක් සිදුවීම කෙසේ වෙතත් ඌට මහත් හිංසා පීඩාවක් සිදුවන්නේ යැයි පැවසූ ඉන්දීය සත්ත්ව හිමිකම් සංවිධාන කිහිපයක් මේ ක්‍රීඩාවට එරෙහිව ඉන්දීය මහාධිකරණයේ නඩුවක් ගොනු කළහ. ඔවුන් පෙන්වා දුන් සංඛ්‍යා ලේඛනවලට අනුව 2008 සහ 2014 අතර සමයේ ජල්ලි කට්ටු ක්‍රීඩාව නිසා මිනිසුන් 43 දෙනෙක් සහ ගවයින් 4 දෙනෙක් මරණයට පත්ව තිබේ. 2017 වසරේ දී මේ ක්‍රීඩාව නිසා මිනිසුන් 23 දෙනෙක් මරණයට පත්ව ඇති අතර 2500ක් පමණ දෙනෙකු තුවාල ලබා තිබේ. 2020 දී මේ ක්‍රීඩාව නිසා සිදු වූ මිනිස් මරණ ගණන 5 ක් විය.
මේ ක්‍රීඩාවේ දී ගවයා සමග පොර බදන අවස්ථාවේ දී මෙන්ම ඌ තරගය සඳහා ප්‍රවිෂ්ට කරවීමේ අවස්ථාවේ දී ද හිංසනයක් සිදු වන මේ සංවිධාන පෙන්වා දුන්නේය. තියුණු කෙවිටිවලින් පහර දීම, වලිගය ඇඹරීම, වලිගය හැපීම, ගවයාට මත්පැන් පෙවීම සහ ඌ වඩාත් ප්රකෝපකාරී කිරීම සඳහා දෑස්වලට මිරිස් තුඩු ඉසීම ආදිය ද සිදුවන බව මෙහි දී හෙලි විය. එමෙන්ම පොර බදින අවස්ථාවේ දී ගවයාගේ මොල්ලියට සහ සිරුරේ වෙනත් ස්ථානවලට පිහියෙන් ඇනීම පවා සිදුවන බව එහිදී කියැවිණි. මේ තරග පැවැත්වීම සඳහා ආවරණය කරන ලද භූමි භාගයක් මෙන්ම ආවරණය නොකරන ලද විවෘත භූමියක් භාවිත වීම ද සිදු වේ. එසේ විවෘත භූමියක දී පොර බදන්නාගෙන් ඉවතට පළා යන ගවයා, සාමාන්‍ය මිනිස් ජනාවාශ ඇති ප්‍රදේශ කරා ප්‍රකෝපකාරීව පිවිස එහි සිටින මිනිසුන්ට සහ දේපළවල හානි කරන ලද අවස්ථාවන් ද වාර්තා වී ඇත.
මේ සියලු කාරණා සලකා බැලූ ඉන්දීය මහාධිකරණය 2014 වසරේ දී ජල්ලි කට්ටු තරග පැවැත්වීම තහනම් කරනු ලැබිණි. කෙසේ වෙතත් මේ තීන්දුවට එරෙහිව තවත් නඩුවක් ගොනු වූ අතර එහිදී පෙන්වා දෙනු ලැබුයේ හින්දු භක්තිකයන්ගේ සම්ප්රදායයන් සහ සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් උරුම කර දීම මේ නඩු තීන්දුව නිසා බාධා වන බවය. මේ සම්බන්ධව වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය අධිකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලය ලෙස යළි 2023 මැයි 18 වැනිදා මේ තරග පැවැත්වීම සඳහා අවසර ලබා දීම සිදුවිය. මෙහි දී යම්කිසි නියාමනයකට යටත්ව මේ තරග පැවැත්වීමටත්, ගවයින්ට සිදුවන හිංසනය හැකිතාක් අවම කරන ලෙසත් අධිකරණයෙන් උපදෙස් ලබා දෙනු ලැබිණි. කෙසේ නමුත් ජල්ලි කට්ටු ක්‍රීඩාව සම්බන්ධව වීඩියෝ දර්ශන නැරඹීමේ දී පෙනී යන්නේ මේ ක්‍රියාව තුළදී පැහැදිලිවම සත්ත්ව හිිංසාවක් සිදුවන බවය.
සැබවින්ම හින්දු භක්තිකයන් මේ තරගය පැවැත්වීමේ දී ගවයාට හිංසා කිරීමේ අදහසක් නැතිවා වන්නට පුළුවන. මන්ද ඔවුන් තරම් ගවයාට මිත්‍රශීලී, දේවත්වයෙන් අදහන වෙනත් පිරිසක් නොමැති නිසාය. ඔවුන් මේවා හඳුන්වන්නේ ද ගවයන් හීලෑ කිරීමේ තරග හෝ උත්සව වශයෙනි. වසර ගණනාවක් තිස්සේ මේ පුරුදු අනුගමනය කරගෙන පැමිණි ඔවුන් එය දකින්නේ සංස්කෘතික අංගයක් ලෙසින් පමණක් වන්නට ඇත. කෙසේ වෙතත් නූතන ලෝකය තුළ මිනිස් අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම් සේම සත්ත්ව අයිතිවාසිකම් ද දැඩි සේ සැලකිල්ලට බඳුන් වන බව අමතක කළ නොහැකිය. අතීත කාලයට වඩා වර්තමානයේ මේවා වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් වර්ධනය වෙමින් පවතී. දැනට මේ තහනම ඉවත් වුව ද අනාගතයේ යම් දිනෙක වඩාත් ශක්තිමත් මේ තරගවලට එරෙහිව අධිකරණය ක්‍රියාමාර්ගවලට එලැඹීමේ ඉඩකඩ තිබේ. එබැවින් සංස්කෘතික උරුමය මෙන්ම සත්ත්ව හිමිකම් ද රැක ගත යුතු බැවින් මේ අංශ දෙකම සමබර වන ආකාරයෙන් මේ තරග සංවිධානය කොට ඉදිරියට පවත්වාගෙන යාමට පියවර ගැනීම සියලු දෙනාගේම යුතුකම සහ වගකීම වන්නේය.
නිරංජන් චාමින්ද කරුණාතිලක