අපේ රටටත් STEAM අධ්‍යාපනය එන තුරු ඇඟිලි ගනිමු

STEAM අධ්‍යාපන ක්‍රමය අපේ රටට හඳුන්වා දීම පිළිබඳ නැවත මතුව තිබේ. මෙය මීට පෙර හඳුන්වා දුන්න ද තවමත් ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබුණු බැවින් අධ්‍යාපන අමාත්‍යවරයා ඒ පිළිබඳ නැවතත් උනන්දුවක් දක්වමින් සිටී. පැරණි, යල්පැන ගිය ලක්ෂණයක් පවතින බව අප නිතර අපගේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ නගන චෝදනාවකි. අපට ඇත්තේ හුදෙක් වසර කිහිපයක මතකය ඇසුරෙන් එක් විභාගයකට පෙනී සිට ලකුණු මත දක්ෂතාව හඳුනා ගන්නා අධ්‍යාපන ක්‍රමයකි. මෙය සිසුන්ගේ පැත්තෙන් සලකා බැලුවහොත් ඉතා දුෂ්කර ක්‍රමයකි. නමුත් ලෝකයේ අධ්‍යාපනය ඉතා දියුණු මට්ටමක ඇති රටවල් ක්‍රියාත්මක වන්නේ අධ්‍යයන වාරයක් පදනම් කරගත් (semester based) අධ්‍යාපන ක්‍රමයකි. එහි දී සිසුන්ගේ දැනුම උරගා බලන්නේ එකී අධ්‍යයන වාරයට අදාළ දැනුම මත පමණි. මෙය අපගේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ වසර ගණනාවක සිට ක්‍රියාත්මක වෙමින් පැවතිය ද පාසල් අධ්‍යාපන තුළට තවමත් හඳුන්වා දී නොමැත. මේ සිසුන්ගේ පැත්තෙන් සලකා බැලුවහොත් ඉතා පහසු ක්‍රමයකි. STEAM අධ්‍යාපන ක්‍රමය අප රටේ අධ්‍යාපන ක්‍රමයට තුළට හඳුන්වා දෙනු ලැබුයේ මේ යල්පැන ගිය ක්‍රමයට සාර්ථක, ලොව පිළිගත් පද්ධතියක් වශයෙනි.

STEAM යන වදන තැනී ඇත්තේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු, කලා සහ ගණිතය යන විෂයයන් ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචනවල මුල් අකුරු (STEAM – science” technology” engineering” arts and mathematics) එක් කිරීමෙනි. මේ අධ්‍යාපන ක්‍රමයේ දී මේ වචන පමණක් නොව ප්‍රායෝගික ව මේ විෂයයන් ද ඒකාබද්ධ වෙයි. එකිනෙකට වෙනස් විෂයයන් ගණනාවක් එකතු කිරීමෙන් මේ අධ්‍යාපන ක්‍රමය ගොඩනගා තිබේ. මෙය මුලින්ම 1999 දී ඇමරිකා එක්සත් ජනපදය විසින් සිය පාසල් පද්ධතිය තුළට හඳුන්වා දෙනු ලැබූ අතර එවකට මෙය නම් කර තිබුණේ STEM නමිනි. මන්ද ආරම්භයේ දී මෙයට කලා විෂයයන් ඇතුළත් කොට තිබූ නොමැති බැවිනි. පසුව මෙයට කලා විෂයයන් ද ඒකාබද්ධ කිරීමෙන් පසුව STEAM ලෙස ප්‍රචලිත විය. අද මෙය ලොව පුරා උසස් අධ්‍යාපන පද්ධතියක් ලෙස පිළිගෙන තිබේ. මේ අධ්‍යාපන ක්‍රමය තුළින් 21 වැනි සියවසේ ශ්‍රම බලකාය තුළ සිසුන්ට අවශ්‍ය වන නිර්මාණාත්මක ගැටලු‍‍ විසඳීමේ සහ විචාරාත්මක චින්තන කුසලතා වර්ධනය කරයි. එය ඉදිරි වසරවල දී මානව වර්ගයාගේ විශාලතම අභියෝග විසඳීමේ එක් ප්‍රධාන සාධකයක් විය හැකිය.

දිනෙන් දින සිදුවන විපර්යාසයන්, අභියෝග සහ සංකීර්ණත්වයට මනුෂ්‍යත්වය මුහුණ දෙන බැවින්, නිවැරදිව ප්‍රශ්න කිරීමට සහ නව විසඳුම් සෙවීමට හැකියාව ඇති පුද්ගලයින් අපට අවශ්‍ය වේ. STEAM අධ්‍යාපන ක්‍රමය මගින් කෙසේද‍ සහ කුමක්ද පමණක් නොව කවුද සහ ඇයි යන කාරණා කෙරෙහි ද අවධානය යොමු කරයි. විෂය ධාරාවට අනුව, මෙම STEAM අධ්‍යාපන ක්‍රියාවලියේ දී කිසිම දරුවෙකු පාසලෙන් අතරමග ඉවත් නො කෙරේ. විශේෂයෙන් අනාගත නවෝත්පාදකයින් ගොඩනැගීම මේ අධ්‍යාපන ක්‍රමය මගින් නිර්මාණය කරයි. මනුෂ්‍යත්වය කෙරෙහි වූ බලපෑම සැලකිල්ලට ගනිමින් සැබෑ ලෝකයේ විද්‍යාත්මක ගැටලු‍‍ වෙත ප්‍රවේශ වීමට මේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ සිසුන් දිරිමත් කරයි. යමෙක් පවසන කාරණයක් ‘එහෙයි’ වශයෙන් පිළිනොගෙන එය තාර්කිකව විශ්ලේෂණය කොට තමාට පවසනු ලැබූ කාරණය කෙතරම් සත්‍ය ද, යථාර්ථවාදී ද යන්න ස්වකීය බුද්ධියෙන්ම දැන ගැනීම සඳහා මේ ඔස්සේ සිසුන්ට හැකියාව ලබා දෙයි. දේශපාලනය ද මැදිහත්වීමෙන් මෙය කුමන අරමුණක් අරභයා හඳුන්වා දෙනු ලැබුව ද, අන් රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද මෙය නිවැරදිව ක්‍රියාත්මක වුවහොත්, අනාගත පරම්පරාව දේශපාලකයන්ට ‘කඩේ’ නොයන පිරිසක් බවට පත් කරන්නට මේ පද්ධතිය ඉවහල් වනු නොඅනුමාන ය.

මේ අධ්‍යාපන ක්‍රමය සඳහා ලෝකයේ විශිෂ්ට මනෝ විද්‍යාඥයන්ගේ න්‍යායන් සහ අදහස් පදනම් වී තිබේ. ඉන් එක් අයකු වන්නේ හොවාඩ් ගාර්ඩ්නර් (Howard Gardner) ය. ඔහු විසින් ඉදිරිපත් කරන ලද ‘බහුවිධ බුද්ධි’ (Multiple Intelligences) ඉහත අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී අංගයක් බවට පත්ව තිබේ. මෙය ලොව පිළිගත් න්‍යායක් වන අතර සිසුන්ගේ බහුවිධ බුද්ධිය ඉස්මතු කරගැනීම සඳහා එමගින් මහක් පිටිවහලක් සපයයි. නමුත් අප රටේ මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමය තුළ ඒවා ඇගයීමකට ලක්වන්නේ නැත. එමෙන්ම ස්විස් ජාතික මනෝ විද්‍යාඥයකු වන ෂෝන් පියාජේ (Jean Piaget) විසින් ළමා අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා හඳුන්වා දුන් ක්‍රම ද මේ සඳහා උපයෝගී කොටගෙන තිබේ.

කෙසේ නමුත් මේ නව STEAM අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දීමට සම්බන්ධයක් නොමැති, නිල වශයෙන් නොවුනත් යම් යම් ආකාරවලින් පවතින නවීකරණය වූ ලක්ෂණ අපගේ අධ්‍යාපන ක්‍රමය තුළ දකින්නට තිබේ. මෙයින් එක් දෙයක් වන්නේ පාසල තුළ අතීතයේ නොපැවති බාහිර ත්‍රියාකාරකම් බොහොමයක් සිදුවීමය. විවිධ දින අලළා විවිධ උත්සව පැවැත්වීම මෙයට එක් නිදසුනකි. විශේෂයෙන් ගුරු දිනය පැවැත්වීමේ දී සිසුන් සහ ගුරුවරුන් අතර මතු වන අපූරු සබඳතාව පෙන්වා දිය හැකිය. අද අපට දකින්නට හැකි ගුරු පරපුරේ ද ආකල්ප වෙනස් වී තිබේ. මේවා ලෝකයේ දියුණු රටවල ඇති අධ්‍යාපන ක්‍රමය තුළ ද දකින්නට ලැබෙන ඒවාය. සිසුන් ඉදිරියේ තරුණ ගුරුවර, ගුරුවරියන් රැඟුම් පෑම, ගී ගායනා කරමින් සිසුන් සමග විනෝදයෙන් කාලය ගත කිරීම වර්තමානයේ නිතර දකින්නට ලැබෙන දෙයකි. එමෙන්ම ඇතැම් අධ්‍යාපන කලාපවල දරුවන්ට නිවැරදිව පාඩම් කරන්නට අවශ්‍ය කරන මානසික තත්ත්වය, වටපිටාව ඇති කර ගැනීම සඳහා ‘පාඩම් කඳවුරු‘ පැවැත්වීම ද අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් සිදු කෙරෙනු දකින්නට ලැබේ. පාඩම් කරන්නට ඇති අලස බව දුරු කොට, අධ්‍යාපනය ලැබීමෙන් ජීවිතය ගුණාත්මක ලෙස වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම මෙවැනි වැඩසටහන් ඔස්සේ සිදුවේ. මේවා නව අධ්‍යාපන රටාවක් සඳහා අවශ්‍ය කරන සාධනීය ලක්ෂණයන් ය. සිසු දරුවන් සමග මිත්‍රශීලීව සිටිමින් අධ්‍යාපනය ලබා දීම ලෝකයේ පිළිගත් ක්‍රම අතර එකකි.

දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ලෝකයේ උසස් අධ්‍යාපන ක්‍රමවලට ගැළපෙන ඇතැම් අංගයන් මේ අනුව දක්නට ලැබේ. කෙසේ නමුත් මේවා අවිධිමත්ය. නිල වශයෙන් හඳුන්වා දුන් ඒවා නොවේ. දැන් අවශ්‍යතාවය වී ඇත්තේ මේවා සාධනීය අයුරින් ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයා බැලීම සඳහා නියාමනයක් ඇති කිරීමය. මෙවැනි ක්‍රමෝපායයන් තුළින් සිසුවාගේ දැනුම් ප්‍රභේදයන් වර්ධනය කරගනී. දැනුමේ කොටස් කිහිපයක්ම තිබේ. ඒවා නම් ‘විපරම් සහිත බව’ (awareness), දැනුම (knowledge), අවබෝධය (perception), ප්‍රඥාව (wisdom) සහ විදර්ශනාව (insight) යන ඒවාය. විදර්ශනාව යන්න බෞද්ධ සංකල්ප ඔස්සේ බිඳී ආවක් වන අතර එයින් අදහස් කරන්නේ යමක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගැනීමේ හැකියාවය. අධ්‍යාපන ක්‍රියාවලිය කුළ සිසුන්ට එයින් ඇති ප්‍රයෝජනය අතිමහත් ය. කෙසේ නමුත් යමෙකුට අවශ්‍ය බුද්ධිය ඔස්සේ ගමන් කොට අධ්‍යාපන හමාර කරන්නට නම් ඔහුට විදර්ශනාවක් අවශ්‍ය වන්නේ නැත. රැකියා උදෙසා පමණක් නොව ඉහළ ගුණත්වයකින් යුක්ත දරුවකු බිහි කරගැනීමේ අවශ්‍යතාව තිබේ නම් විදර්ශනාව අවශ්‍ය වේ.

ලෝකයේ ඉතා විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් දක්නට ලැබෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල බව පැවසේ. ඒවායේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ ලක්ෂණ යහමින් දකින්නට ලැබේ. ඒ ඔස්සේ දරුවන් සතුටින් අධ්‍යාපනය හදාරයි. ජපානයේ ද මේ හා සමාන ක්‍රමයක් සිදුවේ. එහි පාසල්වල මූල් වසර කිහිපය තුළ අධ්‍යාපනයට වඩා මුල් තැනක් දී ක්‍රියාත්මක වන්නේ දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීම සඳහා ය. අප රටේ අධ්‍යාපනය තුළින් දරුවන්ට උගන්වන්නට කිසිදු උත්සාහයක් නො ගන්නා දෙයක් වන්නේ ආකල්ප වැඩිදියුණු කිරීමය. තැනක් නොතැනක් බලා කුණු විසිකිරීම, පොදු ස්ථානවල කුණුකසල බැහැර කිරීම, පොදු ප්‍රවාහනය තුළ අන්‍යයන්ට කරදරයක් වන සේ හැසිරීම බොහෝ දෙනෙක් තුළ දකින්නට ලැබේ. මෙයට ඇති එකම හේතුව ආකල්ප වර්ධනය නොවීමය.

නව STEAM අධ්‍යාපන ක්‍රමය තුළින් සිසුන්ට තමා කැමති විෂයයන් ඉගෙන ගනිමින්, ආකල්ප වර්ධනය කර ගනිමින් ඉතා සතුටින් අධ්‍යාපනය හැදෑරීමේ පරිසරයක් ගොඩ නගයි. එය ප්‍රත්‍යක්ෂ වශයෙන් පැවසිය හැක්කේ ලෝකයේ අන් රටවල මෙය ඉතා සාර්ථකව අත්හදා බලා ඇති ක්‍රමවේදයක් වන බැවිනි. එබැවින් අදින් වසර කිහිපයක් ඇවෑමෙන් ගුණාත්මක ආකල්ප සහිත, රටට වැඩදායී, අධ්‍යාපනය අතරමග හැර නොයන සිසු දරුපිරිසක් නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇත. කළ යුතු එකම දෙය වන්නේ මේ ක්‍රමය තුළට යල්පැන ගිය සේම ආගමික සංස්ථාවන්ට අවශ්‍ය තකතීරු අදහස් ඇතුළු වන්නට ඉඩ නොදී පවත්වාගෙන යාමය. අපට මෙයින් නිසි ප්‍රයෝජනයක් ගත හැකි වන්නේ එවිටය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර