“වස විසෙන් තොර” යන වදන අද වන විට අප සමාජයේ ජනප්‍රිය සංස්කෘතික ව්‍යවහාරයක් බවට පත් ව තිබේ.මහජනතාව භාවිතයට ගන්නා කෘෂි නිෂ්පාදන සේම ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් යෙදෙන මෙම හැඳින්වුම සහිත කෘෂි බෝග,වෙනයම් කෘෂි නිෂ්පාදන ද සේම ආහාර වර්ග ද සාමාන්‍ය මිල ඉක්මවා වෙළඳ පළේ අලෙවි වනු දැකිය හැක.
මෙහි දී මෙම “වස විසෙන් තොර” යන වදන මුල් කොට අනියමින් සමාජගත වන බරපතල කරුණක් තිබේ.එනම් අප දැනට භාවිතයට ගන්නා කෘෂි නිෂ්පාදන සේම ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන වස විස සහිත ඒවා බව ය.එම නිර්වචනයට අනුව අප ගේ ආහාර පිණිස ගනු ලබන කෘෂි බෝග වලට එසේ වස විස මුසු වන්නේ කෙසේද?ඒවා නිපදවීම පිණිස සඳහා රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධ නාශක යොදන බැවිනි.
මෙය හුදෙක් අප රටේ ජනතාව එල්ල කොට සිදු කෙරෙන මානසික බලපෑමක් වුව ද පොදුවේ ගෝලීය කෘෂිකර්මය කෙරෙහි එල්ල කෙරෙන අභියෝගයකි.මක් නිසාද යත් සමස්ත ගෝලීය කෘෂිකර්මයෙන් අති විශාල ප්‍රමාණයක් මේ වන විට රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධ නාශක මත පදනම් ව සිදු කෙරෙන බැවිනි.
ඒ නිසාම ලොව ප්‍රබලතම පුරවැසියා සේ සැළකෙන ඇමරිකානු ජනාධිපති වරයා ද තම ආහාර පාන අවශ්‍යතා සපුරා ගන්නේ මේ ආකාරයේ කෘෂි බෝග හා සබැඳුණු ආහාර පාන වලින් බව පැහැදිලි ය. කෘෂිකර්මය සඳහා රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධ නාශක යෙදවුම් 1960 දශකයේ මුල් භාගයේ සිට ව්‍යාප්ත වූ හරිත විප්ලවය නම් වන ගෝලීය සංසිද්ධිය හා සබැඳුණකි.
වැඩි වන ලෝක ජනගනයට සාපෙක්ෂව වගා බිම් වැඩි නොවීම හේතුවෙන් අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි විද්‍යාත්මක ක්‍රමවේද කෘෂිකර්මය සඳහා යෙදවීම මෙහි මූලික අරමුණ සහ ක්‍රියාවලිය බවට පත් විය.දෙමුහුන් බීජ , රසායනික පොහොර , කෘත්‍රිම කෘමි නාශක, වල් නාශක සහ දිලීර නාශක හඳුන්වා මඟින් කෘෂි කර්මාන්තයේ යෙදීම කෙටි කලකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි ජනප්‍රිය ධනෝපායන ක්‍රමයක් බවට පත් විය.
ඒ සමඟම එතෙක් පුද්ගල හා පවුල් බද්ධ වශයෙන් සිදු වූ පාරම්පරික,සම්ප්‍රදායික ගොවිතැන වාණිජ ගොවිතැනක් බවට පරිවර්තනය බ්වූ අතර මහා පරිමාන වානිජ සහ ව්‍යාපාර යාන්ත්‍රණයක් බවට ද පත් විය.කෘෂිකර්මය සඳහා රසායනික පොහොර සහ කෘත්‍රිම පළිබෝධ නාශක යෙදවීමේ ක්‍රියාවලියේ ආරම්භය සනිටුහන් වනුයේ එලෙසිනි.එදා මෙදා තුර කෘෂිකර්මාන්තය සඳහා මෙම සඳහා මෙම යෙදවුම් නිරන්තරයෙන් භාවිතා වීමට සමාන්තරව කෘෂි තාක්ෂණය හා සම්බන්ධ දැවැන්ත ව්‍යාපාර ජාලයක් ද ලොව පුරා වර්ධනය විය.
රසායනික පොහොර හා කෘත්‍රිම පළිබෝධ නාශක නිෂ්පාදනය ද ඒ අතර විය.එමෙන්ම ඒවායේ කාර්යක්ෂමතාව,ගුණාත්මක බව,ප්‍රමිතිය සේම මිනිසාට ,පරිසරයට ජෛව ගෝලයට සිදුවන අයහපත් බලපෑම අවම වීම ඊට සාපේක්ෂව ඉන් ලැබෙන යහපත ප්‍රශස්ථ මට්ටමක පැවතීම යන කරුණු මත එම නිෂ්පාදන යාවත් කාලීන හා ප්‍රවර්ධනාත්මක ලෙස ලෝකය හමුවේ ඉදිරිපත් වීම නිරන්තරයෙන් සිදු වන්නකි.මෙහි දී අප සමාජයේ ඇතැමුන් “වස විස” ලෙස හඳුන්වනුයේ රසායනික පොහොර හා කෘත්‍රිම පළිබෝධ නාශක වල ඇති සංඝටක වලට බව පෙනෙයි
.එහෙත්,ඒවා නිසි පරිදි භාවිතයෙන් අනතුරුදායක බලපෑම් සිදු වන බවට දේශීය වශයෙන් මිස ලෝක ජන මතයක් ගොඩ නැඟී නොමැති බව ද අප විශේෂයෙන් සඳහන් කළ යුතුය.ඒ සම්බන්ධ විවේචන එල්ල වයේ නිසි ප්‍රමිතියෙන් තොර රසායනික පොහොර සහ විශේෂයෙන් අහිතකර පළිබෝධ නාශක කෙරෙහි පමණි.
සබරගමුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි අප රටේ කෘෂි විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතෙකි.සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ රසායනික පොහොර විෂ සහිත වන අතර කාබනික පොහොර එසේ නොවේ යැයි මතයක් පවතින නමුත් එය නිවැරදි නොවන බවකි.
ගුණාත්මක බවින් අඩු රසායනික පොහොර මෙන්ම ගුණාත්මක බවින් අඩු කාබනික පොහොර ද එකසේ විෂ සහිත යැයි සිය ෆේස් බුක් ගිණුමේ සටහන මඟින් පවසන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වරයා.ශාකයක වැඩීමට සහ පලදාව ලබා ලැබීමට අවශ්‍ය මූල පදාර්ථ වන නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් ද, වෙනත් මූලද්‍රව්‍ය වන මැග්නීසියම්, කැල්සියම්, සින්ක්, මැංගනීස්, කොබෝල්ට් ද ආදී මේවා රසායනික හෝ කොම්පෝස්ට් වැනි කාබනික මාධ්‍ය වශයෙන් ශාකවලට ලබා දිය හැකි ය,” යනුවෙන් ද පවසා සිටියි.
එමෙන්ම කෘෂි වගාව සඳහා යොදන මෙම හොහොර දෙ වර්ගය සම්බන්ධයෙන් මහාචාර්ය වරයා දක්වන මතය මෙවැන්නකි”රසායනික පොහොර ලෙස ලබාදීමේදී ශාකයකට අවශ්‍ය මූල ද්‍රව්‍ය ප්‍රමාණය රසායනික පොහොර සුලු ප්‍රමාණයක් මගින් ලබා දිය හැකිය. ඒවායින් ශාකයට අවශෝෂණය කර ගැනීම වේගවත් ය.
එම ප්‍රමාණයේ ම මූල ද්‍රව්‍ය ලබාදීම ට නම් විශාල ප්‍රමාණයක් කාබනික පොහොර ලබා දිය යුතු අතර මූලද්‍රව්‍ය ශාකයට අවශෝෂණය කර ගැනීමට වඩා වැඩි වේලාවක් ගනී,”එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසන්නේ නගර සභා බල ප්‍රදේශවල ඉවතලන කසලවල බොහෝ විට බැර ලෝහ ඇති බැවින් ඒවා කොම්පෝස්ට් ලෙස පසට එකතු වුවහොත් සිදු වන හානිය ඉතා විශාල බව ය. එම නිසා පිලිපීනය වැනි රටවල කාබනික පොහොර ලෙස භාවිතා කරනුයේ ගැඩවිලුන් මගින් නිපදවන Vermicompost යන වර්ගය බව ද මහාචාර්ය වරයා කියා සිටී.
“නිවැරදි මාත්‍රාව ට හොඳ ගුණාත්මක රසායනික පොහොර භාවිතා කරන්නේ නම් කිසිදු හානියක් නැත. ලංකාවේ ආනයනික බාල වර්ගයේ රසායනික පොහොර අධි ප්‍රමාණ වලින් දැමීමෙන් විශාල හානියක් වී ඇති බව සත්‍යයකි. එසේ ම ලංකාවේ වෙළද පොළේ ඇති කාබනික පොහොර ද අන්තිම සවුත්තු ඒවා ය. ඒවා භාවිතා කිරීමෙන් අනාගතයේදී විශාල විනාශයක් සිදු විය හැක.”එමෙන්ම වඩාත් ම විෂ සහිත සහ බැහැර කළ යුතු වන්නේ රසායනික පොහොර නොව කෘමි නාශක, වල් නාශක සහ දිලීරනාශක වැනි කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය බවට ඔහු පෙන්වා දෙයි.
“විකල්ප අවශ්‍ය මේවාට ය. එහෙත් කණගාටුවට කරුණ මෙවැනි පර්යේෂණ සඳහා ලැබෙන සහයෝගය අවම වීමයි. මා දන්නා දක්ෂ මහාචාර්යවරියක් ඓන්ද්‍රීය පළිබෝධ නාශක නිපදවීම සඳහා පර්යේෂණ යෝජනාවක් ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ඉදිරි ව්‍යාපෘතියකට ඉදිරිපත් කළාය.
එහෙත්, Desk review කර එය ප්‍රතික්ෂේප කරන ලදී. එය පැහැදිලි කිරීමට කරන ලද ඉල්ලීමත් ඉවත ලන ලදී.”ලංකාවේ අද ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය නැති කිරීමට ය. රසායනික පොහොර භාවිතයේදී ගුණාත්මක බවින් ඉහළ පොහොර නියමිත ප්‍රමාණයට යෙදීමෙන් හානියක් සිදු වන්නේ නැත,” ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි පවසයි.
නමුත් මෙම තත්වයන් පිළිබඳ කිසිදු වැටහීමක් නොමැති රජය රසායනික පොහොර යෙදූ ආහාර අනුභවයෙන් මිනිසුන් ගේ ආයු කාලය කෙටි වන්නේ ය යන කෘෂිකර්මයට අයත් විෂය ක්ෂේත්‍ර පිළිබඳ හෝඩිය වත් නොදත් රජයට පක්ෂපාතී වෛද්‍ය කණ්ඩායමක මඟ පෙන්වීම් මත අප රටේ සමස්ත කෘෂි ජාලය සඳහාම රසායනික පොහොර යෙදීම එක් වගා කන්නයකින් මුලුමනින්ම අහුරා දමා අප රටේ සමස්ත කෘෂිකර්මාන්තයම එක් වර කාබනිකකරණයට ලක් කිරීමට කටයුතු කර ඇත.
අද වන විට එය සමස්ත ජාතියටම “වස පෙවීමක්”බවට පත් ව තිබේ.රජයේ මෙම ක්‍රියා මාර්ගය කෙතරම් අදූරදර්ශී ද යන්න අප රටේ ප්‍රධානතම විදේශ විනිමය උපයන මාර්ගයක් වන තේ වගාව ද කාබනිකකරණයට ලක් කිරීමට ගත් වෑයම මඟින් තහවුරු වෙයි.,එමඟින් අද වන විට රටේ ආර්ථිකය තීරණාත්මක ලෙස පසු ගන්වන අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි වෙමින් තිබේ.අප රටේ තේ වගාව මුලුමනින්ම පාහේ රසායනික පොහොර මත පදනම් ව පවතී.
අපගේ තේ ගැනුම් කරුවන් අතුරින් මහා බ්‍රිතාන්‍යය ද ප්‍රමුඛත්වයට පත් ව තිබේ.එහි දී ඔව්හු අප රටින් එරටට යවනු ලබන තේ සාම්පල් නිරතුරුවම පරීක්ෂාවට ලක් කරති.එහෙත්,ඒ කිසිදු සාම්පලයකින් මෙරට පුන පුනා පැවසෙන “වස විස” තත්වයක් තහවුරු වී නැත.යම් හෙයකින් එසේ වී නම් එය ලෝක ප්‍රවෘත්තියක් බවට පත් වීම ද වළකා ලිය නොහැක.නමුදු එවන් තත්වයක් යටතේ අප රටේ තේ නිෂ්පාදන පවා වස විසෙන් යුතු බවට රජය විසින් ව්‍යංගයෙන් කරනු ලබන ප්‍රකාශයන් සරල ගැමි වහරට අනුව කිව හොත්”තමන් තමන්ටම කර ගන්නා හූනියමකි” රසායනික පොහොර වල වස විස ඇති බවට ගෙන යන මෙම ප්‍රචාරය එල්ටීටීඊ යුද ජයග්‍රහණයෙන් පසුව අප රටේ බහුතරය වන සිංහල බෞද්ධ ජනතාව තුළින් මතු වූ දේශාභිමානයේ අධි ආරෝපණයකි.
රාමායනය නම් ඉන්දීය වීර කාව්‍යයේ එන රාවණා නම් කල්පිත චරිතය අනාදිමත් කාලයකට පෙර මෙරට විසූ මහා ප්‍රතාපවත් පරමාදර්ශී නරපතියකු ලෙස පිළිගත් අප රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාව ඉන් අතිශය ප්‍රමෝදයට පත් වූ අතර තමන් උගත් විද්‍යා ශාස්ත්‍රයන්ට පවා පිටු පෑ රජයට පක්ෂපාතී විද්වත්හු කොවිඩ් සුව කිරීමට පවා සමත් දේශීය හෙළ ඔසු ඇතැයි යන දුර්මත සමාජය පුරා පතුරුවා හරින්නට වූහ.”අපගේ ආහාර හා සම්බන්ධ මෙම වස විසෙන් තොර ප්‍රවණතාව සමාජය පුරා මෙලෙස පැතිර යන්නට වූයේ එවන් පසුබිමක් තුළ ය.
නමුදු අද වන විටත් අප රටේ ආහාර බෝග ඇතුළු ආහාර නිෂ්පාදන සඳහා යෙදෙන මෙම “වස විසෙන් තොර” යන ජනකාන්ත ලේබලය අද වන විට අප සමාජයේ ඉහළ මධ්‍යම පන්තිය ගසා කන කූටෝපායක් බවට පත් වී තිබේ.
ඒ හොර රහසේ රසායනික පොහොර යොදා වහා කරනු ලැබූ වානිජ බෝග හා ඒ හා සම්බන්ධ ආහාර පාන වස “විසෙන් තොර” “කාබනික” යන ආටෝපකාරී නම් වලින් වෙළඳ පලට ඒම ය.
මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශ වල ගොවි ජනතාව අතර විසංවාදයක් ගොඩ නැඟී ඇති අතර මෙලෙස කාබනික නමින් රහසේ රසායනික පොහොර යොදා කරන ගොවිතැන ඇතැම් ගොවීන් හඳුන්වන්නේ “දවල්ට කාබනික රෑට රසායනික” යනුවෙනි.
මේ අතරේ කාබනික කෘෂිකර්මයේ සාර්ථකතවය ජනතාවට ඒත්තු ගැන්වීමට රජයේ මාධ්‍ය දරන උත්සාහයේ දී මෙලෙස එළි පිට කාබනික සහ රහසේ රසායනික පොහොර යොදා කෘෂිකර්මයේ යෙදෙන සමහරුන් එම මාධ්‍ය මඟින් පෙනී සිට අල්ලේ පැලවෙන බොරු කියමින් තම ජාවාරම් සරි කර ගන්නා බවත් එම ප්‍රදේශ වල අවංක ගොවීහු පවසති.”මේ පළාත් වල සමහර අලුත බැඳපු ඉලන්දාරි ඉන්නවා.
ලජ්ජාවට තමන්ගේ ගෑනිගේ මූණ දිහාවත් කෙලින් නොබලන ,ඒත්,වැඩේ තියෙන්නේ ඒ ගෑනුත් අනික් ගෑනු වගේම බැඳපු හැටියේ බඩ වෙන ඒකනේ,අපේ උන්දලගේ කාබනික ගොවිතැනත් අන්න ඒ වගේ තමයි”:පසුගිය දා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ බන්ඩාරගම ගොවි මහතෙක් කීය.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ කාබනික පොහොර සහිත ගොවිතැන යැපීම් මට්ටමින් ඔබ්බට ගෙන යාම පාපැදියකින් සිරි පා කරුණා කිරීමක් බඳු බව ය.
හේමන්ත රන්බණ්ඩාර