අපේ රටේ පත්තිනි ඇදහීම ඇරඹුණේ ගණේමුල්ලේ ගම් දෙකකින් ද?

ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ ගෘහමය කාර්ය සාධන කටයුතුවලට අධිගෘහිත දේවතාවිය පත්තිනියයි. සිංහල බෞද්ධයන් පත්තිනි නමින් හැඳින්වුව ද දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් මේ දේවතාවිය හඳුන්වනුයේ කන්නගී අම්මාන් නැතහොත් කන්නකී අම්මාන් යන නමිනි.

අප රටේ පත්තිනි පුරාවෘත්තය ගජබා රජු සමය (ක්‍රි.ව. 113-135) තෙක් අතීතයට දිව යන බවක් පෙනෙයි. ඒ පත්තිනි දේවිය පිළිබඳ වෘත්තාන්තය දැක්වෙන සිලප්පදිකාරම් (සලඹේ කතාව) නම් වන වීර කාව්‍යයෙහි සෙන්ගුට්ටුවාන් නම් සොළී රජු පත්තිනි දේවාලය පිහිටුවූ අවස්ථාවේ ලංකාවෙන් ‘කයවාගු’ නම් රජ කෙනකු ද ඊට එක් වූ බව සඳහන් වීමෙනි. සිලප්පදිකාරම් කාව්‍යයට පසුව ලියන ලද සන්නයන්හි මෙම ‘කයවාගු’ රජු පත්තිනි පූජාව ලංකාවට හඳුන්වා දුන් බව ද පැවසීම මත මේ ‘කයවාගු’ යනු අප රටේ රජ කළ ගජබාහු හෙවත් ගජබා රජතුමා ලෙස බොහෝ ඉතිහාසඥයන් විසින් හඳුන්වා දී තිබේ. නමුදු මෙම පත්තිනි ඇදහීම සම්බන්ධ කරන ලද විශිෂ්ටතම විමර්ශනයක් ඇසුරින් ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය සමාජ විද්‍යාඥ ගණනාථ ඔබේසේකරයන් ලියූ The cult of goddess Pattini (1984) කෘතියෙන් පෙන්වා දෙන්නේ ඉහත සඳහන් පුරාවෘත්තය පසෙක තිබිය දී කෝට්ටේ රාජධානි සමයට (ක්‍රි.ව. 1412-1597) පළමු අප රටේ පත්තිනි පූජා පැවැති බවට කිසිදු සාක්ෂියක් හමු නොවන බවකි.

මෙම පත්තිනි ඇදහීම ඉන්දියාවේ කේරලය ආදී ප්‍රදේශවලින් අප රටට සංක්‍රමණය වූ ද්‍රවිඩ බෞද්ධයන් මුල් වරට හඳුන්වා දී ඇති බව ද මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ මතයයි. නමුදු ඉන් පසුව එළැඹි මහනුවර රාජධානි සමයේ මෙම පත්තිනි ඇදහීම කොතෙක් විවිධාංගීකරණයට ලක් වීද කිවහොත් ගම්මඩුව ඇතුළු මඩු ශාන්ති කර්මවල සිට අං කෙළිය, පොල් කෙළිය, ඔළිඳ කෙළිය, ලී කෙළිය ආදී ජන ක්‍රීඩා පවා පසුව මෙම පත්තිනි ඇදහීමේ සංස්කෘතිකාංග ලෙස අප ජන සමාජයට අවශෝෂණය වී තිබේ. අතීතයේ අප රට තුළ පැවැති යක්ෂ ඇදහීම හා සම්බන්ධ කිරි අම්මාවරු සංකල්පය ද අද වන විට මුළුමනින්ම පාහේ පත්තිනි දේවිය උදෙසා සිදු කරන දේව කාරියක් බවට පත්ව තිබෙනු කිරි අම්මාවරුන්ගේ දානවල දී ගැයෙන ‘පත්තිනි හෑල්ල’ ආදී මහනුවර යුගයට අයත් ගායනා වලින් සනාථ කරගත හැක.

එහෙත් දකුණු ඉන්දීය කේරල ජාතිකයන් විසින් අප රටට මුලින්ම පත්තිනි ඇදහීම හඳුන්වා දුන් බවට මානව විද්‍යාත්මක සාක්ෂි රැසක් එක් කර ගත හැකි ගම්වරයක් ගම්පහ දිස්ත්‍රික්කයේ තිබේ. ඒ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගණේමුල්ල, හොරගොල්ල සහ තිබ්බටුගොඩ යන සමාජීය වශයෙන් එකට බැඳුණු ගම්මාන දෙක ය. .

පත්තිනි දේවියගේ නාමය හා සබැඳි ගම්මාන අප රටේ දක්නට නොමැති වුව ද ගණේමුල්ල, තිබ්බටුගොඩ ග්‍රාමය කෙළවර ‘පත්තිනි පිටිය’ නම් උස් බිමක් තිබේ. ඒ ආශ්‍රිත ප්‍රදේශය ඡන්ද නාම ලේඛනයන්හි පවා සඳහන් වනුයේ ‘පත්තිනි පිටිය’ නමිනි. ජාඇළ නගරය මැදින් මීගමුව කලපුවට ගලා බසින ඌරුවල්ඔය මෙම හොරගොල්ල සහ තිබ්බටුගොඩ ගම්මාන අතුරින් ගලා බසින අතර මුළුමනින්ම පාහේ තෙත් බිමක් වූ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් අප රටට සංක්‍රමණය වූ දකුණු ඉන්දියානුවෝ මෙම උරුවල් ඔය ඔස්සේ තිබ්බටුගොඩට සම්ප්‍රාප්ත වූහ. එවක මෙහි ජීවත් වූ වැසියන් විසින් ආඬින් සහ සන්‍යාසීන් නමින් හඳුන්වනු ලැබූ මොව්හු ගිහි පූජක කොටසක් වූහ. ඔවුන් විසින් එහි තිබූ දැවැන්ත නුග රුකක් මුල්කොට පත්තිනි දේවාලයක් ගොඩ නගා ඒ හා සම්බන්ධ පුද පිළිවෙත්වල යෙදුණු බව පෙනේ.

පසුව ඕලන්ද සමයේ මෙම ප්‍රදේශවල කුරුඳු වගාව ව්‍යාප්ත වීමෙන් පසු කුරුඳු කර්මාන්තය ජීවන වෘත්තිය කර ගත් මොවුන් මහනුවර යුගයේ දී පමණ සිංහල බෞද්ධ ජන සමාජයට අවශෝෂණය වූ බවක් ද පෙනෙයි. ඒ හා සම්බන්ධ ඉතා පැහැදිලි මානව විද්‍යාත්මක සාක්ෂි දෙකක් තිබේ. එනම් අදටත් මේ ගම්මාන දෙකේ මුල් පදිංචිකරුවන්ගේ නම් ආඬිගේ සහ සේනාසිගේ වශයෙන් සඳහන් වීම ය. මෙම සේනාසිගේ යන්න ‘සන්‍යාසිගේ’ යන්නෙන් බිඳී ආ එකකි. එමෙන්ම ඔවුන් අතුරින් කොටසකගේ පෙළපත් නම් (මෙම ලියුම්කරුගේ ද ඇතුළුව) සේනාසිංහ ලෙස යාවත්කාලීන වී ඇත.

නමුත් මානව විද්‍යාත්මකව විශ්ලේෂණය කරන විට හැඟී යන්නේ මෙම ගම්වල මුල් පදිංචිකරුවන් මලයාලම් භාෂාව භාවිත කළ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් සංක්‍රමණය වූ පිරිස් බවය. ඌරුවල් ඔය ඔස්සේ ජන යාත්‍රා මගින් පැමිණි මෙම කේරල සංක්‍රමණිකයන් තම පත්තිනි පූජා කටයුතු සඳහා යොදා ගත් වත්මන් පත්තිනි පිටිය නම් ගොඩැල්ල ශ්‍රමණයන් හෙවත් තීර්ථකයන් ගොඩබට ගොඩැල්ල යන අරුතින් පසුව තිත්+බට+ගොඩ යන අරුතින් තිබ්බටුගොඩ ලෙස හැඳින්වුණු බව පෙනෙයි.

එම සංක්‍රමණිකයන් මෙහි පැමිණි මුල්ම කාලයේ ඔවුන් කේරලයෙන් ගෙනා සම්බා වී මෙම ඌරුවල් ඔය අද්දර වගා කරන්නට වූ අතර කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොළ රජ කළ සකල කලා වල්ලභ රජතුමා ඔවුන්ට ඒ සඳහා ජල පහසුව සැපයීමට වැව් දෙකක්ම තනා දුන් බව පැවසෙයි. එම වැව් දෙකේ නටබුන් අද ද දක්නට ලැබෙන අතර එම ස්ථාන අද ද ‘වැව් වේල්ල’ සහ ‘ගිල්ම’ යනුවෙන් හඳුන්වනු ලැබේ. අප රටේ මුල්ම සම්බා වගාව සිදු කළ මෙම කුඹුර මුලින්ම සම්බා කෙත ලෙසත් ඒ ආශ්‍රිත ගම් ප්‍රදේශය සම්බාගම ලෙසත් හැඳින්වුණු බවත් කියනු ලැබේ. එම හොරගොල්ල උතුර ග්‍රාම නිලධාරි වසමට අයත් පැරණි සම්බාගම අද හැඳින්වෙනුයේ ‘හම්බාගම’ යනුවෙනි. ඒ ‘ගස’ ‘ගහ’ ලෙස හැඳින්වූවාක් මෙන් ‘ස’ යන්නට ‘හ’ යන්න ආදේශ වීමෙනි.

අතීතයේ ගිල්ම ලෙස හැඳින්වුණු එම පැරණි වැව අද මුළුමනින් ගොඩකොට ක්‍රීඩාංගණයක් ඉදිකොට ඇත. එමෙන්ම ඒ වැව ඉස්මත්තේ කේරලයෙන් පැමිණි ආඬි හා සන්‍යාසි පූජකයන් සෙම්බු ආදිය මගින් ජලය හා සම්බන්ධ පත්තිනි පුද පූජා පැවැත්වූ ප්‍රදේශය අදත් සෙම්බුදෙණිය සහ සෙම්බදෙණිය ලෙස හැඳින්වේ. මෙය හොරගොල්ල උතුර ග්‍රාම නිලධාරි වසමේ පිහිටා තිබේ.නමුත් ඒ පැරණි පූජා චාරිත්‍ර විධි අද වන විට අභාවයට ගොසිනි.

කෙසේ හෝ ඉංග්‍රීසි යුගයේ කොමසාරිස් විභාගය නමින් හැඳින්වුණු ග්‍රාම සීමා වෙන් කොට දැක්වී‍මේ දී තිබ්බටුගොඩ, හොරගොල්ල පාරම්පරික ගැමියන්ගේ ඓතිහාසික උරුමයක් වූ තිබ්බටුගොඩ ගම් කෙළවර තිබූ පත්තිනිපිටිය නොවිධිමත් මැනුම් ක්‍රියාවලියක් නිසා අද වන විට ඊට යාබද මිදෙල්ලවිට ග්‍රාමයට එක්ව තිබෙනු දක්නට පුළුවන. එහෙත්, අප රටේ පත්තිනි ඇදහීම සම්බන්ධ ආදිතම පරම්පරාවන් ජීවත් වූ මුල්ම ගම්මාන ලෙස මානව විද්‍යාත්මක සාක්ෂි රැසක් මගින් හොරගොල්ල සහ තිබ්බටුගොඩ අදටත් හඳුනා ගත හැකිව තිබේ.

තිලක් සේනාසිංහ

Uncategorized