තවත් උත්සව සමයක් අප හමුවට පැමිණ තිබේ.බොහෝ උත්සව කාල වල ඒකාන්ත වශයෙන්ම සිදුවන දෙයක් තිබේ.එනම් පාරිභෝගිකත්වය ශීඝ්‍ර ලෙසින් ඉහළ නැංවීම ය.ඉහත සඳහන් උත්සව කතාව පැත්තකින් තැබුව ද මෙය පාරිභෝගික දුර්භික්ෂ සමයකි.අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ මිල මේ වන විට ශීඝ්‍ර අයුරින් ඉහළ ගොස් ඇති අතර ඊට සමගාමීව එළවළු ඇතුලු ඖෂධ ද්‍රව්‍යයන්ගේ මිල ද ඉහළ ගොස් තිබේ. ඊටත් අමතරව කිරි පිටි ඇතුළු ආනයනික ද්‍රව්‍යයන්ගේ හිඟයක් ද වෙළෙද පොල තුළ මේ වන විට පවතියි.
සෑම එළවළු කිලෝවකම පාහේ මිල රුපියල් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙයට හේතුව ලෙස ගොවීන් පෙන්වා දෙන්නේ නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් ඵලදාව අඩු වූ බවකි. රසායනික පොහොර තහනම් කොට එක් රැයින් කාබනික පොහොර සංකල්පයට යාම තුළ ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වූ අතර එහි ප්‍රතිඵල එන විට පාරිභෝගිකයා ද අපහසුතාවයට පත්ව සිටියි.නමුත් වත්මන් රජයේ මේ ක්‍රියාව රට බරපතල අගාධයකට ඇද දැමූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ තවමත් පිළි නොගනී.ඔහු තවමත් කියන්නේ “වරදක් සිදු වී ඇත්නම් හදා ගන්නවා” කියා ය.එහෙත් රෝගීන්ට දෙන බෙහෙත් වලින් සායන සහ වාට්ටු වලට මිස මිනී කාමරයට පලක් නොවන බව ඔහුට තාමත් වැටහී නැත.”ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවන්නට බැර්රිය” යන්න තේරුම් ගැනීමට තරම් වත් “නුවණක්” ඇමති වරයා සතුව නොමැති සේය.
මේ අතර රජය පෞද්ගලික අංශයට රසායනික පොහොර ගෙන්වීමට අවස්ථාව ලබා දුන් අතර එහි වාසියක් ගොවි ජනතාවට අත් නොවන්නේ යුරියා පොහොර මිටියක් රුපියල් 9000 ක පමණ මුදලකට අලෙවි වන බැවිනි. කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ ලෝක වෙළෙද පොලේ යුරියා ටොන් එකක් ඩොලර්278 සිට ඩොලර් 1282 දක්වා ඉහළ ගොස් ඇති බව ය.එම මිලට යුරියා ගෙනවිත් වී වගාවේ යෙදුණහොත් සහල් කිලෝව රුපියල් 500 දක්වා ඉහළ යා හැකි බව ද ඇමතිවරයා කියා සිටියි.නමුත් ගොවියා හා පාරිභෝගිකයා රැක ගන්න විකල්පයක් ද ඔවුන් සතුව නැත.ඔව්හු අද”ඔන්න අපි නම් දන්නේ නෑ.අපිට කරන්න දේකුත් නෑ “කියමින් තොරතුරු වාර්තාකරණයෙන් පමණක් ජනතාව අස්වැසීමට පුරුදුව සිටිති.
කෙසේ නමුත් නත්තල් උත්සවය ආරම්භ වන විට මෙම භාණ්ඩ මිල ගණන් තව දුරටත් ඉහළ යනු ඇත. එයින් පැහැදිලි වනුයේ මෙරට බහුතර ජනතාවට මෙවර නත්තල් කෑමට තබා “ලෙව කෑමටවත්” නොලැබෙන බවකි . මේ සියළු කාරණාවන්ට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණය බව රටට නොරහසකි. රට තුළ පවතින ඩොලර් සංචිත මේ වන විට ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබේ.භාණ්ඩාගාරය තුළ මේ වන විට ඇත්තේ ඩොලර් බිලියන 1.5 ක ඩොලර් සංචිතයක් පමණකි. එයින් ද වහාම භාවිතා කළ හැකි ප්‍රමාණය ඩොලර් 1100 ක් පමණක් බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ විජේවර්ධන පවසයි. ඉදිරි වසරක ආනයන අවශ්‍යතා හා සැසඳීමේ දී එය ප්‍රමාණවත් වනුයේ සති දෙකහමාරකට පමණකැයි ද ඔහු පෙන්වා දෙයි.
ඉදිරි වසරේ මෙරට ආනයන අවශ්‍යතාව ඇමරිකානු ඩොලර් බිලියන 23 ක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. රටේ පවතින තත්ත්වය අනුව මෙම මාසය තුළ මෙරටට මහා පරිමාණයෙන් විදේශ විනිමය නොලද හොත් රට ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දෙනු ඇති බව ද ඔහු කියා සිටියි.
ඩොලරයක් රුපියල් 202 ක් යන ස්ථාවර මිලකට පවත්වා ගෙන යන ලෙස රජය බැංකු වෙත උපදෙස් දුන්න ද මේ වන විට ඩොලරයක රුපියල් වටිනාකම රුපියල් 250 දක්වා ඉහළ ගොස් ඇත. මේ තත්ත්වය තුළ බැංකු ජනතාවට ඩොලර් නිකුත් කරන්නේ ඉතා සීමිත වශයෙනි. එම තත්ත්වය තුළ නැවත වරක් රට තුළ කිරි පිටි හිඟයක් නිර්මාණය වී තිබේ.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කියන්නේ ලබන වසරේ ද වාහන ආනයන සීමා පවත්වාගෙන යන බව ය. එසේම රාජ්‍ය සේවයට කිසිවෙකු බඳවා නොගන්නා බව ද ඔහු පවසයි. එසේම විදේශයට ඇදී යන ඩොලර් ප්‍රමාණය අඩු කර ගැනීම වෙනුවෙන් කිරි පිටි මෙරට දීම නිපදවා ගන්නා ක්‍රමවේදයන් දියුණු කරනා බව ද ඔහු සඳහන් කරයි.නමුත් මේ සියල්ල හුදෙක් වචන මිස කිසිදු පැහැදිලි වැඩ පිළිවෙලක් ගැන ඔහු ප්‍රකාශ කොට නැත.පාර්ලිමේන්තුවේ දී ඔහු වෙතින් මේ කතා කියැවෙන විට ආණ්ඩු පක්ෂ මැති ඇමති වරු තමන් ගේ මේස වලට තට්ටු කොට සතුට(විස්මය හෝ අප්‍රසාදය) පළ කරනු ඇසෙයි.එමෙන්ම අපේ මුදල් ඇමති තුමා කතා කරන්නේ ඇමරිකාව බලා යන ගුවන් ටිකට් පත තම සාක්කුවේ තබා ගෙන බව ඔය සියල්ලෝම දනිති.
ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යන ලෙස විපක්ෂයේ පාර්ශව කිහිපයක් යෝජනා කළ ද රජයේ ස්ථාවරය වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බවට ය. එසේ නම් ආයෝජන රට තුළට පැමිණිය යුතුම ය. එහෙත්, රටට පැමිණි චීන ආයෝජන ව්‍යාපෘති කිහිපයක් ද මේ වන විට මාලදිවයිනට රැගෙන ගොස් තිබේ.
එනයින් පැහැදිලි වන්නේ ආයෝජන අවස්ථා ද මඟ හැරී යන බවකි. ඩොලර් නොමැති වීම තුළ ඉමහත් තර්ජනයට ලක් වන්නේ ඉන්ධන ආනයනයට ය. රටට අවශ්‍ය ඉන්ධන ඉන්දියානු තෙල් සමාගම හරහා ආනයනය කිරීමට මුදල් අමාත්‍යාංශය මේ වන විට නිර්දේශ කර තිබේ. බලශක්ති ඇමති උදය ගම්මන්පිල කීවේ මේ කතාව විය යුතු ය.
උදය ගම්මන්පිල ඇමතිවරයා කීවේ ඩොලර් නොමැතිව රුපියල් වලින් තෙල් ආනයනය කිරීම ගැන සොයා බලන බව ය. ඒ අනුව ඉන්දියානු තෙල් සමාගම හරහා තෙල් ගෙන්වා ගෙන ඔවුනට රුපියල්වලින් ගෙවීමට මුදල් අමාත්‍යාංශය සුදානම් වනවා විය යුතු ය.
මෙම ප්‍රතිපත්තියක් නැති හිතුවක්කාර දේශපාලන වැඩපිළිවෙල තුළ අමාරුවේ වැටෙන්නේ ජනතාව ය. එහෙත්, ජනතාවගෙන් ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස තවමත් සිතනුයේ “කන්න නැතත් ඉන්න රටක් තියෙනවා” කියා විය යුතු ය. ඒ මන්ද ජනතාව කිසිදු ප්රකෝපයකින් තොරව වෙළෙදපොලට ගොස් භාණ්ඩ මිලදී ගෙන යන බැවිනි.
ඒ අතර තවත් පිරිසක් තවමත් සිතනුයේ සුද්දාගෙන් රට නිදහස් කර ගත්තේ මෝඩකමක් හේතුවෙන් බව ය. “සුද්දා සිටියා නම් ඉවරයි” කියන මතය අද පිරිසක් ප්‍රකාශ කරමින් සිටිති. ජනතාවට මේ අවනඩුව කීමට කෙනෙක් තවමත් නොමැත. ඡන්දයක් ද පේන තෙක් මානය නැති බැවින් බංකොලොත් වූ නිවෙස් හිමියා නිවසේ ඉතිරිව ඇති බඩු භාණ්ඩ විකුණමින් ජිවත් වෙන්නට උත්සාහ කරන ලෙස ආණ්ඩුව ද රටේ දේපොල විකුණමින් ජිවත්වීමට උත්සාහ කරමින් සිටින බවක් ඔවුන්ගේ ක්‍රියාකලාපය දෙස බලන විට පෙනී යයි. ඒ අනුව ජනතාවට,පාර්ලිමේන්තුවට සේම කැබිනට් මණ්ඩලයට ද වසන් කළ ගිවිසුම් මඟින් දේශීය සම්පත් මහා පරිමානයෙන් විදේශයන්ට විකුණමින් රට”සුද්ද කරන “සුද්ද වන්තයන්ට” ට වඩා අප රට පාලනය කළ සුද්දන් හොඳ ය කීමේ ප්‍රබල සාධාරණ පදනමක් ද තිබේ.එනිසා හෙට අනිද්දා මේ “සුද්ද වන්තයන්” ගෙන් රට බේරාගෙන රට නැවත සුද්දන් අතට පත් කිරීම පිණිස වන ජනතා සංවිධාන බිහි වුව හොත් එහි ඇත්තේ ද සීමාන්විත විස්මයක් පමණි.
ලසන්ත වීරකුලසූරිය