පසුගිය දා ආරක්ෂක අංශ විසින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් අරගලකරුවන් ඉවත් කිරීම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නට වූයේ ගාලුමුවදොර සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ හමුදා ප්‍රහාරයක් ලෙසිනි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාල පවා ප්‍රකාශ නිකුත් කරන්නට වූයේ සාමකාමි අරගලකරුවන්ට පහරදීමක් වැරදි බව අර්ථ දැක්වෙන පරිදි ය.
පළමුව ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් විසින් නිල ටුවිටර් ගිනුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කළ අතර ඇය කීවේ එම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දැඩි අවධානයකින් සිටින බව ය. ඇගේ පණිවුඩයත් සමඟ බ්‍රිතාන්‍ය ඇතුළු තවත් තානාපති කාර්යාල කිහිපයක් ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කළේ ය. එසේ ප්‍රකාශ නිකුත් කරන ලද්දේ ඇමරිකාව යන දෙසට යන තානාපති කාර්යාල විසිනි.
තොරතුරක් සන්නිවේදනයේ දී ඊට ලුණු ඇඹුල් වැටෙන බව අපි කරුවුත් දනිමු.අප ජන වහරේ එන”කපුටන් හත් දෙනාගේ කතාව” මීට කදිම නිදසුනකි.බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය සමාජ ජාල පුවත් පදනම් කරගනිනින් සාමකාමී අරගල කරුවන්ට ප්‍රහාර එල්ල වූ බවට ප්‍රකාශ නිකුත් කෙරුවද සැබැවින්ම සිදු වූයේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අත්පත් කර ගෙන සිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීම පමණි.. ඊට එරෙහි වූ පිරිසක් ද ඉන් පසුව අත්අඩංගුවට ගෙන තිබුණි. එම සිදුවීමෙන් පසු ඔවුන්ගෙන් නව දෙනෙකු රෝහල් ගත කර තිබූ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවීය.ඒ හැරුණු කොට ගාලු මුවදොර “ගෝඨාගෝගම” නම් අරගල භූමියට ආරක්ෂක අංශ “අත වත් තබා”නැත.එය තවමත් නිරුපද්‍රිත ය. නමුත් ඇතැම් මාධ්‍ය වලින් පැවසුණේ අරගල භූමියේ කූඩාරම් ආරක්ෂක හමුදා විසින් වනසා දමා ඇති බවකි.එහෙත්, එසේ කඩා ඉවත් කරන ලද්දේ ජනාධිපති ලේකම් පරිශ්‍රයේ තනා තිබූ කූඩාරම් කි පමණි.
ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පත්ව ආවේ බොහෝ මෑත කාලයේ ය. ඇය මෙරටට පැමිණ මේ වන විට මාස 06 ක් පමණ ගතව තිබේ. ඇය කොරියානු සම්භවයක් සහිත කාන්තාවකි. ඇගේ වයස අවුරුදු පහ සම්පූර්ණ වද්දී ඇය ඇතුළු පවුලේ සාමාජිකයන් ඇමරිකාවට සංක්‍රමණය වී තිබුණි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇය මෙරට තානාපතිනිය ලෙස පත්ව පැමිණි පසු ජනාධිපති, අගමැති, විපක්ෂ නායක හැරුණු කොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ද හමුවිය. ඊට අමතරව චීන තානාපතිවරයා ද මුණ ගැසී තිබුණි. තවත් බොහෝ පක්ෂ රැසක නායකයන් මෙන්ම දේශපාලන සංවිධාන ද ඇය හමුවූවා ය. එහෙත්, වැඩි කතාබහක් ඇතිවූයේ ජූලි චන්ග් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මුණ ගැසීම සම්බන්ධයෙනි.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරගල කරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජුලි චන්ග් ඇතුළු ප්‍රකාශයන් නිකුත් කළ තානාපති නිලධාරින් කැඳවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ එදින සවස් වරුවේ ය. එහි දී ඔහු මෙම නිලධාරීන්ගෙන් ඉල්ලා තිබුණේ කරුණු සොයා නොබලා ඒකපාර්ශවිකව මෙවැනි ප්‍රකාශ නොකරන ලෙසට ය. අධිකරණ නියෝගයක් පවා ගෙන අරගලකරුවන්ට ඉවත් වෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔවුන් දිගින් දිගටම කල් මැරීම නිසා ආරක්ෂක අංශ මෙම පියවර ගත් බව ජනාධිපතිවරයා තානාපති නිලධාරීන්ට කියා තිබුණි.
එම සාකච්ඡාවේ දී ජනාධිපති වරයා පවසා ඇත්තේ ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කැපිටල් මන්දිරය හෙවත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට අරගලකරුවන් පිරිසක් කඩා වැදුනු අවස්ථාවේ එය බේරාගත් ආකාරයටම ලංකාවේ ජනාධිපති කාර්යාලයත් ආරක්ෂක අංශ විසින් මුදාගත් බව ය. ඇමරිකානු ආරක්ෂක අංශ ක්‍රියාකල පිළිවෙතට පරිබාහිරව කිසිදු කටයුත්තක් ලංකාවේ සිදුව නැති බව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. එහෙත් ඇමරිකානු තානාපති වරිය ඒ මොහොතේ ඊට කිසිදු ප්‍රතිචාරයක් ද දක්වා නැත.එසේම අගමැතිව සිටින අවධියේ තමන්ගේ නිවස අරගලකරුවන් විසින් ගිනි තැබූව ද ඒ ගැන කිසිදු පාර්ශවයක් නිවේදන නිකුත් නොකිරීම ගැන තමන් විමතියට පත්වන බවද ඔහු තානාපතිනියට පවසා තිබුණි ජනාධිපති වරයා මේ සාකච්ඡාවේ මුල සිට අග දක්වාම සිනාසෙමින් සැහැල්ලුවෙන් අදහස් පළ කළ බව ද කියනු ලැබේ.
තානාපතිවරුන්ට ඇති රාජ්‍ය තාන්ත්‍රික වගකීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දී තිබූ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. තානාපතිවරුන්ට තිබෙන රාජ්‍ය තාන්ත්‍රික වගකීම ඇය විසින් උල්ලංඝනය කර ඇතැයි තවත් පිරිසකගේ මතය වේ. ඉන්දියාව හා චීනය මෙම සිද්ධියේදි කටයුතු කළ ආකාරය ඊට හොදම උදාහාරණය කි. ඉන්දීය මාධ්‍ය මෙන්ම චීන මාධ්‍යය ද මෙම සිද්ධිය දෙපාර්ශවයටම සමාන ලෙස වාර්තා කර තිබුණි. ඔවුන් කිසිවිටකත් අරගල භූමියට ආරක්ෂක අංශ පහර දුන් බවක් කියා නැත.
අරගල භූමිය තවමත් නිදහසේ ක්‍රියාත්මක වේ. මුදවා ගෙන ඇත්තේ අරගලකරුවන් භාරයේ පැවැති ජනාධිපති ලේකම් කාර්යාලය පමණකි.ආරක්ෂක අංශ එසේ ක්‍රියා නොකළා නම් අද ජනාධිපති වරයාට “රාජකාරී ස්ථානයක්” පවා නැත. එහෙත්, තානාපතිනිය මෙහි දී ඉක්මන් වූයේ මන්දැයි ගැටළු සහගතය. ඇය අනුගමනය කරමින් තවත් පිරිසක් ප්‍රකාශ නිකුත් කළ ද තානාපතිනිය හැර අන් අය ජනාධිපතිවරයා මුණ ගැසීමෙන් පසුව කිසිවක් ප්‍රකාශ කළේ නැත.එහෙත්,එම සාකච්ඡාව යහපත්ව අවසන් වීමෙන් පසු සිය නිල නිවසට ගිය තානාපතිනිය යලිත් ටුවිටර් පණිවුඩයක් නිකුත් කොට ඇත්තේ වගකීමෙන් කටයුතු කරන ලෙස තමන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවට ය.ඇමරිකානු තානාපතිනිය මෙහි දී කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලංකාව ඇමරිකානු යටත් විජිතයක් ය යන මිථ්‍යා ආකල්පය සිත තුළ දරා ගෙන් බව පෙනෙයි.නො එසේ නම් එම සාකච්ඡාවේ දී තමන්ට ඇති වූ මදි පුංචි කමට තම දෙවන ට්විටර් සටහන මඟින් පුංචි “පැලැස්තරයක්” දමා ගැනීමට ඇයට සිත් වූවා වන්නට ද පුළුවන.
එයින් බලන කළ තානාපතිනිය සිය රාජ්‍ය තාන්ත්‍රික වගකීම ඉටුකලා ද යන්න ප්‍රශ්න සහගතය. සාමකාමී ජනතාව රාජ්‍ය බලය යොදා මර්දනය කරන්නේ නම් ඒ ගැන තානාපතිවරුන් සිය මතය අනිවාර්යයෙන්ම ප්‍රකාශ කළ යුතුය. එහෙත් එම ප්‍රකාශයන් ඔවුන් කළ යුත්තේ දෙපාර්ශවය ගැන සොයා බැලීමෙන් අනතුරුව ය. එය දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වීමට හේතුවක් වනු ඇත.
රාජ්‍යයක් විසින් තවත් රාජ්‍යයක් වෙත තානාපතිවරුන් පත් කරනුයේ දෙරට අතර අනොන්‍ය සහයෝගය පත්වාගෙන යාමට ය. එසේ නොමැතිව රාජ්‍යයන් දෙක අතර විරසකයක් ඇති කිරීමට නොවේ. 1988 හා 1989 කාලයේ දි මෙවැනිම රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවකට මැදිවූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා ය. ඔහු ප්‍රසිද්ධියේ චෝදනා කළේ බ්‍රිතාන්‍යය ත්‍රස්තවාදීන්ට උපකාර කරන බවටය.”දකුණේ භීෂණය” පැවැති අවස්ථාවේ ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කර තිබුණි. ඉන් නොබෝ කාලයකට පසු මහ කොමසාරිස්වරයා කැඳවූ ජනාධිපතිවරයා වහාම සිය රටෙන් පිටව යන ලෙස ඔහුට දැනුම් දුන්නේය. ඒ අනුව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා රටින් පිටව ගියේය. එහෙත් දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධයට ඉන් ගැටළුවක් වූයේ නැත. වෙනත් අයෙකු මෙරට මහ කොමසාරිස් ලෙස පත් කර එවීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබුණි.
තානාපති වරුන් තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ ගැන එම රාජ්‍යය් විදේශ අමාත්‍යාංශය දැනුවත් කිරීමට මෙරට විදේශ අමාත්‍යාංශයට හැකියාව තිබේ. එම නිසා ජුලි චන්ග් ද සිය සේවය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු නොකරන්නේ නම් ඇය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේ හැකියාව ශ්‍රී ලංකා රජය සතුය. විදේශ සබඳතා ගැන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රඥප්තීන්වලට ශ්‍රී ලංකා රජය මෙන්ම ඇමරිකානු එක්සත් ජනපදය ද අත්සන් කර තිබේ.
අප රටේ සැළකිය යුතු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙස බලනුයේ බටහිර ගැත්තෙකු ඇමරිකානු ඒජන්ත වරයකු ආදී වශයෙන් වන කෝණ වලිනි. එවන් තත්වයක් යටතේ ජනපති වරයා ජුලි චන්ග් දොස් කීමෙන් ඇමරිකාව අප සමඟ අමනාප වන බවටටත් අපට ඇමරිකානු ආධාර අහිමි වන බවටත් කවි ගී ලියන “පෙම්වතුන්” බොහෝ දෙනා සමබ්න්ධයෙන් ඉස්මතු කරගත හැකි එක් සත්‍යයක් තිබේ.එනම් ඔවුන් ජුලි චන්ග් කෙරෙහි දක්වන ප්‍රේමය ජනාධිපති වරයා කෙරෙහි ඇති ද්වේෂය නම් කාසියේ අනික් පැත්තම මිස කිසිසේත්ම අවංක ප්‍රේමයක් නම් නොවන බව ය.
ලසන්ත වීරකුලසූරිය