මෙය ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය මහත් කැළඹීමට ලක් කරවන තොරතුරු බෙහෙවින් අසන්නට ලැබෙන සමයකි. ඊට බොහෝ විට හේතු වී ඇත්තේ ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව අතුරින් මතු වන ඇතැම් විශේෂිත චරිත විසින් බුදු සමය පිළිබඳව කෙරෙන නව මාදිලියේ නරුම ගණයේ හඳුන්වා දීම් ය.අසාම්ප්‍රදායිත්වය පදනම් කර ගත් එම හඳුන්වා දීම් වල නැවුම් බව අනුව ඒවා අප ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය පුරා ශීඝ්‍රයෙන් ප්‍රචලිත වනු දැකිය හැක. එමෙන්ම ඒ ඔස්සේ අප බෞද්ධ සමාජයෙන් විවිධ පිරිස් එම නව හඳුන්වා දීම් වෙත යොමු වීමේ ස්වභාවයක් ද දක්නට ලැබේ. වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ ආගමික සංස්ථා ව්‍යුහය තුළ පවත්නා අනේක විධ අඩු පාඩු ද ඊට හේතු වී තිබේ.
ලොව සෑම ආගමක් මුල් කොටම පසුකාලීනව සිදු වන මෙවැනි බෙදීම් දක්නට ලැබේ. එම සම්ප්‍රදායන් ප්‍රධාන වශයෙන් ‘නිකායන්’ ලෙස හඳුන්වනු ලැබේ. එමෙන්ම ඒ එක් එක් නිකායන් මුල් කොට මූලික ආගමික ඉගැන්වීම් වල විවිධ විෂමතා; පරස්පරතා දැකිය හැක. අප රටේ බෞද්ධ ඉතිහාසය ද එවැනි නිකායන් කිහිපයක් පිළිබඳව වැදගත් සාක්ෂි සපයයි.නමුදු වර්තමානයේ අප රටේ පවතින සියම්, අමරපුර සහ රාමඤ්ඤ සහ භික්ෂු පරම්පරා ශාස්ත්‍රීය වශයෙන් නිකාය ලෙස වෙන්කොට දැක්වීම අසීරු ය. ඊට හේතුව ඒ නිකායන් තුනම එකම ධර්ම විනය සම්ප්‍රදායක් මතම ස්ථාපිතව පවතින බැවිනි. නමුදු අප රටේ ක්‍රිස්තියානි, ඉස්ලාම් සහ හින්දු ආගම් සම්බන්ධයෙන් ඉහත සඳහන් නිකාය භේදය දක්නට ලැබේ. මේ අතරේ ලොව විවිධ ආගම් අතුරින් පසුව පැන නැඟුණු නිකාය වලට වඩා ක්ෂුද්‍ර ස්වභාවයක් දරන ආගමික කල්ලි (Cult ) දැකිය හැක. බොහෝ විට මෙම ආගමික කල්ලි එක් එක් පුද්ගලයා මුල් කොට ඒකරාශී වන ප්‍රජාවක ගෙන් යුතු බව පෙනෙයි. එම අනුගාමිකයන් තම ආගම දහම දකිනුයේ හුදෙක් එම පුද්ගලයා මාර්ගයෙනි.
නමුදු මෙම ආගමික කල්ලි වල පැතිරීම සම්බන්ධයෙන් විමසා බැලීමේ දී පෙනී යන්නේ ඒවා මානව සමාජයේ යහපැවැත්ම වඩා අනර්ථයට හේතු කාරක වී ඇති බවකි. ඒ සඳහා වන අපට වඩාත්ම ගලපා ගත හැකි නිදසුන වනුයේ 1995 වසරේ ජපානයේ ටෝකියෝ හි උමං දුම්රිය මාර්ගයක් තුළ විෂ වායුවක් මාධ්‍ය කර ගනිමින් මිනිස් ජීවිත 13 ක් අමු අමුවේ වනසා දැමූ ෂෝකෝ අසහාරා ය. ඔහු ඕම් ෂින් රික්යෝ(සනාතන දහම ) නම් ආගමික කල්ලියක නිර්මාතෲ වරයා ය. කිසියම් ආගමක සමස්ත ශාස්තෘ දේශනාව දර්ශනය හෝ සදාචාර මාර්ගය වෙනුවට එම ආගමේ ඉගැන්වෙන කිසියම් මූලධර්ම කිහිපයක් පමණක් පදනම් කර ගෙන අන්තගාමී මත ඉදිරිපත් කිරීම මුල් කොට මොවුන් ගෙන් ඇතැමෙක් මූලධර්මවාදීන් ලෙස ද හැඳින්වෙති.එමෙන්ම මෙම කන්ඩායම් වල ක්‍රියාකාරීත්වයන් සමාජයට අතිශය හානි කර විය හැක.
ඊට හේතුව මෙවන් ඒකරාශිත්වයන් තුළින් ඒවා සම්බන්ධ පිරිස් තුළ සමූහ මායා( Collective delusion )නමින් හැඳින්වෙන තත්වයන් මතු විය හැකි වීම ය.පුද්ගලත්යවය පදනම් කර ගත් ස්වයං විචාරශීලිත්වය,ස්වයං තර්කනය වැනි දේ පිටු දැක එම කණ්ඩායම් වල සැම දෙනා එක් පොදු මතයකට පැමිණීම මෙහි දී දක්නට ලැබේ.බාහිර සමාජයෙන් තමන් වෙත එල්ල වන ප්‍රතිරෝධය මත මොව්හු සමාජ විරෝධී ස්වභාවයක් පළ කිරීමට පුළුවන.ඒ අනුව සමූහ හිස්ටීරියා බුබුලු( Mass Hysteria bubble )නමින් හැඳින්වෙන මෙම තත්වයන් නිසා උද්ගත විය හැකි සමාජමය ගැටළු අර්බුද පිළිබඳව ප්‍රකට නසීලන්තයේ වෙසෙන ඇමරිකානු ජාතික මනෝ විද්‍යාඥයකු වූ රොබට් ඊ බර්තොලමියු වැනි විද්වතුන් ශාස්ත්‍රීය වශයෙන්ම කරුණු අනාවරණය කොට තිබේ. ලෝකයේ සෑම ජන සමාජයකින්ම දක්නට ලැබෙන මෙම ආගමික කල්ලි ප්‍රධානීන් ගෙන් සැළකිය යුතු පිරිසක් විවිධ මානසික අර්බුද සහ රෝග වලින් පෙළෙන්නවුන් බව අනාවරණය වී තිබේ.නමුත් ඒ මානසික රෝග හෝ අර්බුද ලක්ෂණ එක් වරම සමාජය හමුවේ අනාවරණය නොවේ.
අප සමාජය සම්බන්ධයෙන් විමසා බැලුවහොත් කිසියම් භික්ෂුවක් කවර හෝ මානසික නැතහොත් වෙනයම් සාධක මත තමන් බුද්ධත්වයට පත්ව ඇති බව ප්‍රකාශ කළ හොත් ඒ භික්ෂුව ගේ කථිකත්වය, පෞරුෂය, සමාජ, ආර්ථික පසුබිම ආදී කරුණු සළකා බලා එය සත්‍යයක් ලෙස පිළිගනිමින් ඒ වටා යම් ශ්‍රාවක පිරිසක් රොද බැඳ ගැනීමට ද පහසු හැකියාවක් ඇති බව පෙනෙයි. මේ වන විට එබඳු තත්වයන් අප සමාජයෙන් දක්නට ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් පොදු කතිකාවක අවශ්‍යතාව පැන නැගී තිබේ.වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය මුල් කොට විවිධ භික්ෂුන් විසින් තමන් හටම පමණක් ආවේණික ශ්‍රාවක පිරිසක් නගා ගැනීමේ උත්සාහයන් කිහිපයක් මේ වන විට නිරීක්ෂණය වී තිබේ. එම ශ්‍රාවකයන් ගේ ඇදහීම් රටාව එම භික්ෂුව ගේ පෞද්ගලික මතවාද මත පදනම් වන ප්‍රකාශ අනුව සකස් කර වන බව ද පෙනෙයි.ඒ බොහොමයක් භික්ෂු මතවාද බෞද්ධ ධර්ම විනය සම්ප්‍රදායන් උඩු-යටිකුරු කර වන සුළු ය. එමෙන්ම එම අනුගාමික පිරිස් එකී භික්ෂුව ගේම ‘සරණ’ යනු මිස අප රටේ සාම්ප්‍රදායික බෞද්ධ සංස්කෘතික දාමයට එක් වීමට ද ඉදිරිපත් නොවන බව පෙනී යයි. සමාජමය වශයෙන් මෙය කෙසේවත් යහපත් තත්වයක් නොවේ. මක් නිසා ද යත් තමන් වෙත ආකර්ශනය කර ගන්නා ශ්‍රාවකයන් තුළ අන්ධ භක්තිය පුබුදුවා ගන්නා මෙම භික්ෂුන්ට ඒ ඔස්සේ ඔවුන් විවිධ නීති සහ සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළඹවීමට ද ඇති පහසු අවකාශයයි.ඒ අතර තම අනුගාමිකයන් ලවා සාපරාධී කටයුතු කරවීමට ඔවුනට ඇති අවකාශය ද ශූන්‍ය නොවන බව කිව යුතු ය.
මේ අතර මෙලෙස මූලික බුදු සමය අතික්‍රමණය කරමින් විවිධාකාර මත ඉදිරිපත් කරන ඇතැම් භික්ෂුන් ආර්ථික වශයෙන් ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති අයුරු ද නිරීක්ෂණය කළ හැක. එමෙන්ම අති විශාල ධනස්කන්ධයක් යොදවා සිදුකරනු ලබන ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි ද ඔවුන් මහත් සේ උනන්දු වන බව පෙනෙයි. මේ අතුරින් ඇතැම් භික්ෂුන් සතු වත්කම් මෙරට ගිහි සමාජය සතුව ඇත්තේ නම් ඒ ඉතා සුළු වශයෙන් බව අපගේ වැටහීම ය.නමුදු ඔවුන් වටා මෙතරම් සුවිසල් ධනස්කන්ධයක් ඒකාරාශී වන්නේ කෙසේද? යන්න පිළිබඳව විද්වත් කතිකාවක් මෙතෙක් ගොඩනැගී නොමැති බවක් පෙනෙයි. මේ අතර ඇතැමෙකු හාස්කම් හෝ ප්‍රාතිහාර්ය බලයකින් ඔවුන් වටා මෙම සම්පත් ගොනු වන බවක් ද සිතන බව පෙනේ. මේ අතර මෙම භෞතික සම්පත් ඒකරාශි වීම සම්බන්ධයෙන් එම භික්ෂුන් විසින් කරනු ලබන පොදු ප්‍රකාශය වනුයේ ඒවා තම දායක කාරකාදීන් විසින් ශ්‍රද්ධා භක්තියෙන් යුතුව තමන් වෙත පුදනු ලබන ආධාර උපකාර බව ය.
එහෙත්, ඒ සම්බන්ධ වඩාත් සංතීක්ෂණ විමර්ශනයන් හිදී එම ඇතැම් භික්ෂුන්ට හිමිවන මහා පරිමාන ලාභ සත්කාර වලින් සැළකිය යුතු කොටසක් විදේශයන් ගෙන් ලැබෙන බව ද අනාවරණය වී තිබේ. ඒවා තමන් වෙත ලබා දෙන්නවුන් ලෙස එම භික්ෂුන් ප්‍රසිද්ධියේ හඳුන්වා දෙන ශ්‍රී ලාංකිකයෝ ද වෙති. එහෙත්, යම් සමාජ ක්‍රමයක් බිඳ දැමීම පිණිස වන නොයෙක් කුප්‍රකට යාන්ත්‍රණයන් ලොව පුරාම පැවතීම මත හා එම බලවේග විසින් එකී සමාජයම නියෝජනය කරන ඒජන්ත වරුන් පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අප මෙහි දී ගැඹුරින් සිතා බැලිය යුතුම ය.අප රටේ වුව අමුතු බණ දෙසන භික්ෂුන්ගේ ක්‍රියාකාරකම් තුළ බිහිසුණු සමාජමය අනතුරක් සැඟවී පවතින බවට අපට සාධාරණ ලෙස අනුමාන කළ හැක්කේ එබැවිනි.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර