අරලගංවිල හිමි නමක් මතක වස්ත්‍ර පූජාවකට වඩින්න රුපියල් 24000ක් ඉල්ලලා

අරලගංවිල ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ මතක වස්ත්‍ර පූජාවට වැඩම කිරීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමක් විසින් මියගිය කාන්තාවගේ පුතු ගෙන් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටීමේ සිද්ධියක් වාර්තා වෙයි.මියගිය තැනැත්තියගේ පුත්‍රයා විසින් ඒ සම්බන්ධයෙන් අරලගංවිල පොලිසියට පැමිණිලි කර ඇති අතර පැමිණිල්ලේ දැක්වෙන්නේ තම මව රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා හා ආර්ථික අපහසුතා නිසා වසර දෙකකට පමණ කාලයක් විහාරස්ථානයට පේරු දානය දීමට නොහැකි වූ බවයි.නමුත් තම මව මියගිය පසු මතක වස්ත්‍ර පූජාවට වැඩම කරන ලෙස එම විහාරාධිපති හිමියන්ට ආරාධනා කළ විට එසේ වැඩම කිරීමට නම් රුපියල් 24,000ක දඩ මුදලක් ගෙවිය යුතු බව ඒ විහාරාධිපති හිමියන් ඉල්ලා සිටි බව ද පැමිණිල්ලේ සඳහන් ය.පසුව එම විහාරාධිපති හිමි පොලීසියට කැඳවා කරුණු විමසීමේ දී ඒ හිමියන් දන්වා ඇත්තේ එම පවුල වසර දෙකකට අධික කාලයක් විහාරස්ථානයට මාසික පේරු දානය නොදුන් නිසා මාසික දන් වේලක් සඳහා රුපියල් 1000 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24000 මුදලක් ගෙවා නිම කළ හොත් පමණක් තමන් වහන්සේ එම මතක වස්ත්‍ර පූජාවට එක් වන බවයි. නමුත් පොලිස් නිලධාරීන් පැය දෙකකට අධික කාලයක් ඒ හිමිනමට කරුණු ඉදිරිපත් කළ ද ඉන් පලක් නොවූ නිසා පොලීසිය මැදිහත් වී වෙනත් විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා වැඩම කරවා  මතක වස්ත්‍ර පූජා කටයුතු සිදුකර තිබේ.

කාලීන පුවත්