අරලියගහ මන්දිර ශබ්ද දූෂණයට එරෙහි පැමිණිල්ලක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝගම” ලෙසින් නම් කොට ඇති පරිශ්‍රයේ ක්‍රියාත්මක වන ජනතා විරෝධතාවයට බාධාවන අයුරින් දින කිහිපයක පටන් අරලියගහ මන්දිරය තුළින් අඛණ්ඩව අධික ශබ්දයෙන් යුතුව පිරිත් දේශනයක් අඛණ්ඩව පැය 24 පුරාවටම විකාශය කිරීම නීති විරෝධී බව පවසමින් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව ජාතික පොලිස් කොමිසමේ හදිසි ඇමතුම් අංකය වන 1960ට පැමිණිලි කර තිබේ.අප්‍රේල් 27 වනදා සිට අරලියගහ මන්දිරයේ සිට අධික ශබ්දයෙන් යුතුව ශබ්ද දූෂණය සිදුවන අන්දමට පිරිත් විකාශය කරන බවත්, ඒ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිත කර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් ය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2007 නොවැම්බර් මස 9 වනදා මූලික මිනිස් අයිතිවාසිකම් නඩු අංක 38/2005 සඳහා ලබාදී ඇති තීන්දුව අනුව, මෙරට ඕනෑම පෞද්ගලික හෝ පොදු ස්ථානයක ඇම්ප්ලිෆයර්, බෆල් සහ ලවුඩ්ස්පිකර් යොදා ශබ්දය විකාශය කරනු ලබන්නේ නම් ඒ සඳහා ළඟම ඇති පොලිස් ස්ථානයෙන් වලංගු බලපත්‍රයක් ලබාගත යුතු බව ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සඳහන් කරයි.අරලියගහ මන්දිරයේ මෙසේ නීති විරෝධී අන්දමට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ශබ්ද දූෂණය සිදු වන අන්දමින් පිරිත් විකාශනයකිරීම මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයට පවා අපහාසයක් බවත් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව පෙන්වා දෙයි.

කාලීන පුවත්