කුවේණි ගැන අපි ඕනෑ තරම් අහලා වගේම කතා කරලත් තියනවා. ඒත් නිකමට වත් කුවේණිගෙ නංගී කෙනෙක් ගැන අහලා තිබුණද? අපේ ජන විශ්වාසයකට අනුව කුවේණිට අල්ලි රාණි කියලා නංගී කෙනෙක් ඉඳලා තියනවා.
ඒ අල්ලි රාණිත් කුවේණි වගේම රැජිනක්. ඒ වගේම දහස් ගාණක යුද සෙනඟක් එක්ක තනියම සටන් කරලා දිනන්න පුළුවන් විශිෂ්ට කාය බලයක් මේ අල්ලි රාණි රැජින සතුව තිබුණු බවටත් ජන විශ්වාසයක් තියනවා.
අද සමාජයේ බොහෝ දෙනෙක් නොදැන හිටියට මේ අල්ලි රාණි රැජින රජකම් කළ මාලිගාව හැටියට සැලකෙන ස්ථානයක් අදත් අපිට දැක ගන්න පුළුවන්.
ඒ ස්ථානයට ළඟා වෙන්න නම් කොළඹ පුත්තලම ප්‍රධාන පාරේ පාලවිය හන්දියට ගිහින් එතැනින් වමට හැරෙන කල්පිටිය පාරේ තවත් කිලෝ මීටර් තිස් හයක් විතර යන්න ඕනේ.
ඊට පස්සේ හමුවෙන පල්ලිවාසතුරෙයි හන්දියෙන් වමට හැරිලා කිලෝ මීටර් එකහමාරක් පහුකළාම තමයි මේ අල්ලි රාණි රැජින ගේ මාලිගාගොඩැල්ල හම්බු වෙන්නේ.
අද වෙනකොට ඒක පුරාවිද්‍යා ස්ථානයක් හැටියට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරලා තියනවා. නමුත් අද දක්වාම මේ ස්ථානය මුල් කරගත්තු පුරා විද්‍යාත්මක ගවේෂණ සිදු වෙලා නැහැ.
ඒ හින්දා මේක මාලිගාවක් ද මොකක්ද කියලා හරියටම කියන්න අමාරුයි. නමුත් මේ භූමියේ ශිලා කර්මාන්ත වල කොටස්, පරණ ගඩොල් වගේම හිරිගල් වලින් ඉදි කළ තාප්පයක කොටස් දකින්න පුළුවන්.
මේ අල්ලි රාණි මාලිගයට තරමක් නොදුරින් ජනතාව අද්භූත තැනක් විදිහට සලකන ජලාශයක් තියනවා. ඒක හඳුන්වන්නේ ‘ගෙන්ගේ’ කියන අමුතු නමකින්.
විසි වෙනි සියවසේ මුල් භාගයේ අපේ රටේ මිනින්දෝරු වෘත්තියේ යෙදුණු ආර්. එල්. බ්‍රෝහියර් විද්වතා ලියපු Discovering Ceylon කියන පොතෙත් මේ අද්භූත ජලාශය ගැන විස්තර සඳහන් වෙනවා.
වර්ග සැතපුම් දෙකක විතර වපසරියකින් යුතු මේ ජලාශය පතුලේ භූතාත්මයක් ජීවත් වන බව ජනතාව විශ්වාස කරන බව බ්‍රෝහියර් සූරීන් ඒ පොතේ සඳහන් කරනවා.
තනියම ඔරුවක නැඟ මසුන් මරන ධීවරයන් හැරුණු කොට වෙන කිසිම කෙනෙක් මේ ජලාශයට නොයන බව සඳහන් කරන එතුමන් වරක් මේ ජලාශයට ආ ධීවරයකු පතුළට ඇදගත් බවටත් ඉන් පසුව ඔහු ගේ මළ සිරුර වත් සොයා ගත නොහැකි වූ බවටත් පවතින කතාවක් ගැනත් බ්‍රෝහියර් සූරීන් තමන් ගේ කෘතියේ සඳහන් කරනවා.
කොහොම නමුත් පොළව යට ඇති හුනු ගල් කුහර මඟින් මේ ජලාශයයි මුහුදයි සම්බන්ධ වී තිබිය හැකි බවටයි බ්‍රෝහියර් සූරීන් අනුමාන කරන්නේ. ජන වහරේ එන හැටියට මේ ගෙන්ගේ අල්ලි රාණි රැජින ජල ක්‍රීඩා කරපු රාජකීය පොකුණ කියලයි කියන්නේ.
ශ්‍රී ලංකාවේ මුතු කිමිදීමට අතිශයින් ප්‍රසිද්ධ මන්නාරමේ අරිප්පුවේ මුහුද පතුලේ මේ අල්ලි රාණි රැජින පාවිච්චි කරපු කරත්තයේ හෙවත් රාජකීය රථයේ කොටස් අදත් දකින්න පුළුවන්ය කියන කතාව දීර්ඝ කාලයක් තිස්සේ ඒ පළාත්වල පැතිරිලා තිබුණා.
කොහොම නමුත් මේ හෝඩුවාව මුල් කරගෙන ඒ ගැන උනන්දු වුණු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ නිලධාරීන් වන අසංක අබේකෝන් සහ ප්‍රසන්න වීරක්කොඩි කියන නිලධාරීන් දෙන්නා මුල් වරට එහි කිමිදීමක් කළා.
ඊට පස්සේ රසික මුතුකුමාරණ, සමීර ප්‍රසංග කරුණාරත්න, චමල් කේ. ගමගේ, රුක්ෂාන් ප්‍රියනන්දන, ඉන්දික උපුල් හේවගේ හා කමල් කුමාර ද සොයිසා යන පර්යේෂකයන් මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලියු. එම්. චන්ද්‍රරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මුහුද පතුලේ මීටර් අටහමාරක් ගැඹුරැති මේ අල්ලි රාණි රැජිනගේ කරත්තය ඇති ඉසව්ව පරීක්ෂාවට ලක් කළා.
නමුත් ඒ අයගේ නිගමනය වුණේ බැලූ බැල්මට කරත්ත රෝදයක් වගේ පෙනෙන මේ වස්තුව පුරාණ දැවමය නැවක කොටස් විය හැකි බවයි. දැව, යකඩ වගේම තඹ මිශ්‍ර ලෝහ කොටස් සහිත මේ නෞකාව අතීතයේ තිබූ දියුණු නාවික තාක්ෂණයක් පිළිබඳ වැදගත් පුරාවිද්‍යාත්මක සාක්ෂියක් විදිහට හඳුන්වන්න පුළුවන්.
කොහොම නමුත් මන්නාරම අරිප්පුව ආශ්‍රිතව අල්ලි රාණි කෝට්ටෙයි නමින් හැඳින්වෙන ස්ථානයේ අල්ලි රාණි රැජින ගේ පැරණි බලකොටුව තිබුණු බවට පවතින විශ්වාසය නම් එක්වර ඉවත දමන්න බැරි බවයි අපගේ වැටහීම.
රේණුකා ගමගේ