කලක් ලෝකයම භීතියට පත් කළ බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සැලකුණු අල් කයිඩා සංවිධානයේ නායක ආයිමාන් අල්-සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මරණයට පත්ව ඇති බව ඊයේ (02) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශයට පත් කළා. අල් -සවාහිරි මේ ආකාරයෙන් ඝාතනය කර තිබුණේ ඇෆ්ගනිස්තානයේ අගනුවර වන කාබුල් නගරයේ නිවසක සැඟවී සිටියදී යි. ඔහු පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් ද එම අවස්ථාවේ මෙම නිවසේ සිටි බව සඳහන් වෙනවා. අල්-සවාහිරි ගේ බිරිඳ සහ දියණිය ද, දියණියගේ දරුවන් ද එහි සිටි බවයි සඳහන් වන්නේ. නමුත් ඔවුන් කිසිවකුට මෙම ප්‍රහාරයෙන් හානියක් සිදුව නැති බව පැවසෙනවා. ඇමරිකානු නිලධාරීන් සඳහන් කර ඇති ආකාරයට මියගොස් ඇත්තේ අල්-සවාහිරි පමණයි.
ආයිමාන් අල්-සවාහිරි අල් කයිඩා සංවිධානයේ නායකත්වයට පත් වීමට පෙර එහි නායකත්වය දැරුවේ ඔසාමා බින් ලාඩ්න්. 2011 වසරේ බින් ලාඩ්න් ද ඇමරිකානු මෙහෙයුමකින් මරණයට පත් වුණා. අල්-සවාහිරි එම සංවිධානයේ නායකයා ලෙස පත් වූයේ එයින් පසුවයි. 2001 සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය සැලසුම් කළේ බින් ලාඩ්න් සහ අල්-සවාහිරි දෙදෙනා බවයි පැවසෙන්නේ. මගී ගුවන් යානා කිහිපයක් යොදා ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය මුළු ලෝකයම භීතියෙන් මුසපත් කිරීමට සමත් වුණා. 3,000 කට ආසන්න පිරිසක් මෙම ප්‍රහාරය නිසා මිය ගියා.
අල්-සවාහිරි කොටු කර ගැනීම සඳහා දිගු කාලයක සිටම ඇමරිකානු බුද්ධි අංශ ඇතුළු කණ්ඩායම් සැලසුම් කරමින් සිටි බව සඳහන්. ඔහු පාකිස්තානයේ හෝ ඇෆ්ගනිස්තානයේ සැඟවී සිටින්නට ඉඩ ඇති බවයි බොහෝ දෙනා සැක කළේ. අල්-සවාහිරි ගේ පවුලේ අය ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ආරක්ෂිත නිවසක් වෙත පැමිණ ඇති බවක් ඇමරිකානු බුද්ධි අංශවලට මේ වසර මුලදී දැනගන්නට ලැබුණු බැව් නම සඳහන් නොකළ නිලධාරියකු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුණා. පසුව අල්-සවාහිරි ද එම නිවසට පැමිණ ඇති බව බුද්ධි අංශවලට දැනගන්නට ලැබුණු බවයි පැවසෙන්නේ. කෙසේ නමුත්, ඒ නිශ්චිත වශයෙන්ම අල්-සවාහිරි බව තහවුරු කර ගැනීම සඳහා මාස කිහිපයක් ගත වුණු බව සඳහන් වෙනවා. ඔහු ඉලක්ක කිරීම සඳහා සැලසුම් සකස් කිරීම ආරම්භ වී තිබුණේ එයින් අනතුරුව යි.
අල්-සවාහිරි මෙම ආරක්ෂිත නිවසේ සඳළු තලයේ සිටින අන්දම බුද්ධි අංශ කිහිප අවස්ථාවකම නිරීක්ෂණය කර තිබූ බව පැවසෙනවා. අවසානයේ ඔහු වෙත ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කෙරුණේ ද මේ ආකාරයෙන් සඳළු තලයේ සිටි අවස්ථාවක යි. ඉහත නිවස පිහිටි ගොඩනැගිල්ල ඉදි කර තිබූ ආකාරය සහ එහි ස්වභාවය ගැන ද ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඇමරිකානු නිලධාරීන් පුළුල් ලෙස අධ්‍යයනය කර තිබුණා. ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලට විශාල හානියක් වීම වැලැක්වීමටත්, අල්- සවාහිරි හැරුණු කොට වෙනත් කිසිවකුට හානි සිදුවීම වැලක්වීමටත් නිලධාරීන්ට අවශ්‍යව තිබූ නිසයි මෙබඳු අධ්‍යයනයක් කර තිබුණේ. මේ සම්බන්ධයෙන් ඇමරිකානු නිලධාරීන් සහ ජනාධිපති ජෝ බයිඩ්න් අතර ද සාකච්ඡා කිහිපයක් ම සිදුව තිබූ බව පැවසෙනවා.
සියළු සැලසුම්වලින් පසු ඩ්‍රෝන යානා යොදාගනිමින් අල්-සවාහිරි වෙත ප්‍රහාරය එල්ල කර තිබුණේ පසුගිය ජුලි මස 30 වැනි දින යි. එදින ලංකාවේ වේලාවෙන් උදෑසන 7.20 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වූ බව සඳහන්. මෙහිදී මිසයිල දෙකක් ඔහු වෙත එල්ල කර තිබූ බවත් මාධ්‍ය ඔස්සේ අනාවරණය වුණා.
2001 වසරේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයට අමතරව තවත් බිහිසුණු ප්‍රහාර කිහිපයකම මහ මොළකරුවා වූයේ අල්-සවාහිරි බව පිලිගැනෙනවා. 1998 වසරේ කෙන්යාවේ සහ ටැන්සානියාවේ ඇමරිකානු තානාපති කාර්යාලවලට එල්ල කළ ප්‍රහාරයත්, 2000 වසරේ ඇමරිකානු නාවුක හමුදාවට අයත් යුද නැවක් වූ කෝල් නැමැති නෞකාවට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයත් ඒ අතරින් කැපී පෙනෙනවා. කෙන්යාවේ සහ ටැන්සානියාවේ ප්‍රහාරවලින් 223 දෙනෙක් මරණයට පත් වූ අතර කෝල් යුද නැවට එල්ල වූ ප්‍රහාරයෙන් ඇමරිකානු නාවුක සෙබළුන් 17 දෙනෙක් මිය ගියා.
කෙසේ හෝ වේවා, අල්-සවාහිරිගේ මරණය ගැන ජෝ බයිඩ්න් ප්‍රකාශයට පත් කිරීමෙන් ටික වේලාවකට පසු ඇෆ්ගනිස්තානයේ ඉහත කී ආරක්ෂිත නිවස ආසන්නයේ පිහිටි ගොඩනැගිලිවල විසූ ඇතැමුන් මාධ්‍යවේදීන් සමග පවසා තිබුණේ එම නිවසේ කිසිවකු නොවිසූ බවයි. නමුත් මෙය කිසිවකුගේ ඉගැන්නුම් බහක් අනුව කරන ප්‍රකාශයක් ද යන පැනය ඇතැමුන් මතු කර තිබෙනු දැකිය හැකි වුණා.
71 වැනි වියෙහි පසු වූ අල්-සවාහිරිට එල්ල වූ ප්‍රහාරය ඇෆ්ගනිස්තානය පාලනය කරන තලිබාන් සංවිධානය දැඩි ලෙස හෙලා දැක තිබුණා. ඔවුන් පවසා ඇත්තේ මෙය ජාත්‍යන්තර මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් බවයි. අල්-කයිඩා සංවිධානය සහ තලිබාන් සංවිධානය සැලකෙන්නේ දිගු කාලීන මිතුරන් හැටියට යි. අල්-සවාහිරි කාබුල් නුවර සිටි බව තලිබාන් සංවිධානය නොදැන සිටි කාරණයක් නොවන බව ද ඇමරිකානු නිලධාරීන් සඳහන් කර තිබෙනවා. අල්-සවාහිරි කාබුල් අගනුවර තුළ නිදහසේ කල් ගෙවූ බව ද ඔවුන් පවසා තිබුණා.
නිහාල් පීරිස්