අලුත් අවුරුදු කිරිබතට වත් සහල් සපයා ගත හැකි වේද?  

නව වසරේ උදාවත් සමඟ අප බොහෝ දෙනකුගේ දෙසවන් පිරී ඉතිරී යන වදනක් තිබේ.එනම් “සුබ අලුත් අවුරුද්දක් වේවා!” යන්න ය.

මිනිස් සමාජයේ ඇති අනේක විධ උත්සව සැමරුම් අතරින් මානව සබඳතා යාවත් කාලීන කෙරන උත්සව සැමරුම් ද තිබේ.ජනේරුව නමින් ජන සම්මත නව වසරක උදාව ද එවැන්නකි.

එනිසාම අප සමාජයේ බොහෝ දෙනෙක් එළඹෙන නව වසර යහපත් වන ලෙසට එකි`නෙකාට සුබ පතමින් ගිළිහී ගිය මානව සබඳතා යළි තහවුරු කර ගනිති.එමෙන්ම ඒ ආශිංසන මඟින් තමන් තුළ පවත්නා මානසික පසුබෑම් දුරු කර ගනිමින් යළි මානසික පුනර්ජීවනයක් ද ලබති.

එහෙත්,සුබ අලුත් අවුරුද්දක් වේවා යනුවෙන් සුබ පැතූ පමණින්  එලෙස ලබන නව වසරේ යහපතක් ඉෂ්ඨාර්ථ සිද්ධියක් වනු ඇතැයි සිතන්නෝ අප සමාජයේ අතිශයින් විරල ය.නමුදු,යමකු එලෙස හෘදයාංගමව සුබ පැතීමෙන් යම් ගුප්ත බලපෑමක් සිදු වන වන බවට පොදු විශ්වාසයක් අප සමාජයේ තිබේ.

එහෙත්, අප සමාජයේ ව්‍යහාර වන මෙබඳු සුබ පැතුම් බොහොමයක් එවැනි හෘදයාංගම බවකින් තොර හුදෙක් සමාජ සම්මතයන් අනුව  සිදු කෙරෙන හුදු වචන මාත්‍රයන් පමණක් බව අප සාධාරණ ලෙස පිළිගත යුතු ය.                                                                                                                                                                                                                                    2020 වසසුබ නව වසරක් වේවා යනුයෙන් ජන සම්මතයට අනුව සුබ පැතු එක් කළ ද රටක් ජාතියක් වශයෙන් ඉදිරි වසර තුළ අප බරපත ආහාර හිඟයකට මුහුණ පාන බව විද්‍යාත්මක පුරෝකතන දැන් ලැබෙමින් පවතී.  ලබන වසරේ මුල් කාර්තුවේදීම ආහාර හිඟයක් අනිවාර්ය බව කෘෂිකර්ම විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් කෘෂි ආර්ථික විද්‍යා මහාචාර්ය උදික් කේ ජයසිංහ සහ ව්‍යහාරික විද්‍යා මහාචාර්ය මෙත්තිකා විතානගේ ආදී විද්වතුන් බොහෝ දෙනෙක් ද ලබන වසරේ අපේ රට බරපතල ආහාර හිඟයකට මුහුණ පාන බවට විද්‍යාත්මක අනාවැකි පළ කොට තිබේ.

ඒ අතර  ලබන වසරේ දී රටේ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  ප්‍රකාශ කරන අතර ඔහු පවසන්නේ කාබනික පොහොර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුළා කර දේශපාලන වාසි ගැනීමට  ඇතැමුන් මෙවැනි සාවද්‍ය ප්‍රකාශ කරන බවකි.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වන විට රටේ ආහාර හිඟයක් ඇති වන බවට ඇතැමුන් පතුරුවන කතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කරයි.එහෙත් රජයේ පාර්ශවය නියෝජනය කරමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා කළ කළ ඒ ප්‍රකාශයට පදනම් කරගත් විද්‍යාතමක දත්ත හා සංඛ්‍යා ලේඛන මොනවා දැයි ප්‍රකාශ වී නොමැත.

කිසියම් ජන සමාජයක් තුළින් පැන නඟින මෙබඳු සංසිද්ධීන් සමාජ විද්‍යා විෂය පථය තුළ දී විද්වත් මට්ටමේ සිට බිම් මට්ටම තෙක් නිකුත් වන  පුරෝකතන එක් කොට පුළුල් කතිකාවකට ලක් විය යුතු ය.

එම සංසිද්ධීන් තුළින් පැනනගින නිශේධනීය ප්‍රතිඵල දුරලීමට,අව ප්‍රමාණ කර ගැනීමට හෝ පාලනය කිරීමට හැකි වනුයේ එලෙස විද්වත් අවධානයකින් පසුව ය.එමෙන්ම මෙවන් සමජමය සංසිද්ධීන් පිළිබඳව විමැසීමේ දී දී ඒ  සඳහා හා වන තොරතුරු භා දත්ත බහු පාර්ශවීය වශයෙන් ලබා ගෙන ඒවා තුලනාත්මක ලෙස විමසා බැලිය යුතුය.

එය සමාජ විද්‍යාවේ කාර්ය භාරයකි.ඉදිරියේ එළඹෙන ආහාර හිඟය සම්බන්ධයෙන් ඇලහැර-බකමූණ ආදී කෘෂිකාර්මික ප්‍රදේශවල ගොවීන් පවසන්නේ දැනට පසු වෙමින් පවතින මාස් කන්නයේ කෘෂි අස්වැන්න අනුව ලබන සිංහල අලුත් අවුරුදු සමය වන විට දැනට පවතින සහල් මිල දෙගුණයක් තරම් ඉහළ නඟිනු ඇති බව ය.

ඒ අනුව ලබන සිංහල අලුත් අවුරුදු සමයේ ඇති වන කැකුළු සහල් හිඟයක් මුල් කොට කැකුළු සහල් කිලෝව රුපියල් පන්සියයකට ආසන්න මිලක් තෙක් ඉහළ නඟින බවට එම ගොවීහු පුරෝකතනය කරති.ඒ අනුව දැනට පවත්නා ඩොලර් හිඟය එලෙසින්ම පැවතියහොත් එම කැකුළු සහල් හිඟය පියවීම පිණිස කැකුළු සහල් ආනයනයට ද රජයට නොහැකි වනු ඇත.

නමුදු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා  ප්‍රකාශ කරන අන්දමට එම බහු පාර්ශවීය පුරෝකතන  කාබනික පොහොර සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව මුල්කර ගනිමින් ජනතාව මුළා කර දේශපාලන වාසි ගැනීමට  ඇතැමුන් කරනු ලබන සාවද්‍ය ප්‍රකාශ වශයෙන් රජය  ද අර්ථකතනය කරන්නේ නම් ලක් ඉතිහාසයේ මුල් වරට කිරි බත් වෙනුවට ජනතාව කිරි අල ආදී අල වර්ග තම්බා කන සිංහල අලුත් අවුරුද්දක් ජනතාවට හිමි කර දීමේ ගෞරවය ද රජයට හිමි වනු ඇත.

ඒ ඩොලර් සංචිත පැවතිය ද පිටරට වලින් සහල් ආනයනය ක්ෂණිකව සිදු කළ හැක්කක් නොවන බැවිනි.

මේ අතර රජයට විශේෂ පක්ෂපාතී බවක් දක්වන ඇතැම් භික්ෂූන් ද බුදු සසුන තිරසාර ලෙස මුල් බැස ගත් රටක් වන ශ්‍රී ලංකාව තුළ කිසි සේත් එවැනි අවාසනාවන්ත තත්වයක් උද්ගත විය නොහැකි බව පවසමින් ඉපැරණි පූජක වෘත්තිය තුළ පැවති කපටි කයිරාටිකකම් නැවත සමාජ ගත කිරීමේ මුග්ධ උත්සාහයක යෙදී සිටිනු පෙනෙයි.

එහෙත්, වරක් වේරංඤාවේ වස් විසූ සමයෙක ඇති වූ සාගතයක දී බුදු වහන්සේ ප්‍රමුඛ මහ සඟ රුවනට අශ්ව ආහාරයක් වන යව සහල් වලින් යැපීමට සිදු වූ පුවත පාසල් දරුවෝ ද දනිති.

මීට අමතරව තිස් තුන් කෝටියක් දෙවි වරුන් සිටින රටේ ජනතාවට එවැනි අවාසනාවන්ත තත්වයකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි යන  ජන විශ්වාසයක් ද තිබේ.

එය ද හුදෙක් ලාමක සිතුවිලි දාමයක් සේ පෙනෙනුයේ වලගම්බා රජු දවස ඇති වූ බැමිනිටියා සාය ඇතුලු සාගත,දුර්භික්ෂ වසංගත ආදියෙන් එදා මෙදා තුර ලක් ඉතිහාසය පිරී පවතින බැවිනි.

ලෝකයේ සියළු ජන කොටස් අතුරින් ඉන්දියාව කේන්ද්‍ර කරගත් ආසියානු මහාද්වීපය ආධ්‍යාත්මික සංකල්ප වලින් පිරී පවතින බව නොරහසකි.එහෙත්, ජාතියක් වශයෙන් අප ඒ ආධ්‍යත්මික සංකල්ප සඳහා ද සීමාවක් තබා ගත යුතු ය.

ඔබගේ නිවසේ රූපවාහිනිය ක්‍රියා විරහිත වීම මත එය කාර්මිකයකු වෙතට යොමු කරනු මිස එය යථා තත්වයට පත් කරන ලෙස ඉල්ලා දෙවියන්ට බාර වන්නේ නැත.දැනට රට තුළ උද්ගත ව පවතින සමාජ,ආර්ථික දේශපාලන අර්බුදය දෙස අප බැලිය යුත්තේ ද ඒ ලෞකික දෘෂ්ඨි කෝණයෙනි.

සමාජ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර

එතෙර - මෙතෙර