වසර හතරක දිගු විරාමයකින් පසු බොලිවුඩයේ ආදරණීය නළු ෂාරුක් ඛාන්ගේ සිනමාපටයක් රස විඳීමේ අවස්ථාව දැන් ඔහුගේ රසික රසිකාවියන්ට හිමිව තිබේ. ඒ ඔහුගේ අලුත්ම සිනමාපටය ‘පතාන්’ පසුගිය 25 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කිරීමත් සමග ය. මේ නිසා ‘පතාන්’ ගැන මෙන්ම ෂාරුක් ගැන ද මේ දිනවල මාධ්‍ය තුළ විශාල වශයෙන් කතා බහට ලක් වෙමින් තිබෙනු දැකිය හැකි වේ.
මෙයට පෙර අවසන් වරට ෂාරුක්ගේ චිත්‍රපටයක් තිරගත වූයේ 2018 වසරේ යි. ඒ ‘සීරෝ’ නැමැති චිත්‍රපටය යි. එයින් පසු ඔහු ටික කලකට රඟපෑමෙන් ඉවත්ව සිටියේය. එම විරාමය තුළ ඔහු වැඩි වශයෙන් තම පවුලේ අය සමග කල් ගෙවූ බවක් ද සඳහන් විය.
‘පතාන්’ චිත්‍රපටයේ කතාපුවත ගැන චිත්‍රපටය තිරගත වීමට පෙර එතරම් පැහැදිලි විස්තරයක් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වූයේ නැත. නමුත් දැන් එය තවදුරටත් රහසක් නොවේ. මෙයට පසුබිම් වන්නේ ඉන්දියාවට ඉතා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන කල්ලියක් සහ ඔවුන් හඹා යන ඉන්දීය රහස් ඔත්තු නිලධාරියකු පිලිබඳ කතාවකි. ත්‍රස්ත කල්ලිය එල්ල කිරීමට සැලසුම් කරන ප්‍රහාරය ඉන්දියාවට සිතා ගැනීමටත් අපහසු මට්ටමේ එකකි. ඉන්දීය ආරක්ෂක අංශ මෙම ප්‍රහාරය වැලැක්වීමට උත්සාහ කළත් ඔවුන්ට කාලය සමග විශාල සටනක් කිරීමට සිදු වේ. ගතවන සෑම මොහොතක් පාසාම ඉන්දියාව බිහිසුණු අනතුරක් වෙත ළඟා වෙමින් තිබේ. අවසානයේ ඔවුහු මෙම ගැටලුව ජය ගැනීම සඳහා ඔවුන්ගේ හොඳම නිලධාරියාගේ සේවය ලබා ගැනීමට කටයුතු කරති. ‘පතාන්’ චිත්‍රපටයේ ෂාරුක් රඟපාන්නේ මෙම රහස් ඔත්තු නිලධාරියාගේ චරිතය යි.
ත්‍රස්තවාදී නායකයාගේ චරිතයට පණ දෙන්නේ තවත් දක්ෂ නළුවකු වන ජෝන් ඒබ්‍රහම් ය. ජනප්‍රිය නිළි දීපිකා පාදුකෝන් ද මෙහි තවත් ප්‍රධාන චරිතයක් නිරූපනය කරයි. ඒ ඉන්දීය රහස් ඔත්තු සේවයේ තවත් නිලධාරිනියක ලෙසිනි.
මෙය ෂාරුක් සහ දීපිකා රඟපාන සිව්වැනි චිත්‍රපටය යි. මෙයට පෙර ‘ඕම් ශාන්ති ඕම්’, ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ සහ ‘හැපි නිව් ඉයර්’ යන චිත්‍රපටවල ද ඔවුන් දෙදෙනා එකට රඟපෑ අතර මෙම සෑම සිනමාපටයක්ම ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය විය. දීපිකා සිනමාවට පිවිසියේ ද ‘ඕම් ශාන්ති ඕම්’ චිත්‍රපටයෙනි.
‘පතාන්’ ගැන කියැවෙන තවත් අපූරු තොරතුරක් වන්නේ මෙහි රඟපෑම සඳහා ෂාරුක් ඉන්දීය රුපියල් කෝටි 100 ක මුදලක් අය කළ බවය. එය ලංකා මුදලින් රුපියල් කෝටි 445 කට ආසන්න ය. කෙසේ හෝ වේවා, මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ පළවන වාර්තාවලින් පැවසෙන්නේ ‘පතාන්’ ආදායම් වාර්තා තබමින් තිරගත වන බවයි. පළමු දිනය තුළ එය ලොව පුරා ප්රදර්ශණයෙන් ඉන්දීය රුපියල් කෝටි 100 කට ආසන්න ආදායමක් උපයා තිබූ බව සඳහන් විය. ඉන්දියාව තුළ පමණක් එය එදින උපයා තිබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 57 කි.
පළමු දිනයේ ඉන්දියාව තුළ වැඩිම ආදායමක් ඉපැයූ ඉන්දියානු සිනමාපටය ලෙස ‘පතාන්’ මේ වනවිට වාර්තාවක් පිහිටුවා ඇත. මෙයට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ KGF: Chapter 2’ චිත්‍රපටය යි. පසුගිය වසරේ තිරගත වූ එය කන්නඩ බසින් නිශ්පාදනය වූවකි. එය ඉන්දියාව තුළ පළමු දිනයේ උපයා තිබූ ආදායම ඉන්දීය රුපියල් කෝටි 54 කට ආසන්න විය.
‘පතාන්’ තිරගත වීමට පෙර ඊට එරෙහිව ඇතැම් පාර්ශ්ව දැඩි ලෙස විරෝධතා දැක්වූ ආකාරයක් ද දැකිය හැකි විය. ඔවුහු ෂාරුක්ගේ සහ දීපිකාගේ පඹයන් ද, ඡායාරූප ද ගිනි තබමින් විරෝධතා දැක්වූහ. ඇතැමුන් පවසා සිටියේ චිත්‍රපටය තහනම් කළ යුතු බවයි. එමෙන්ම එය නැරඹීමෙන් වලකින ලෙස ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලමින් සමාජ මාධ්‍ය තුළ ද වර්ජන ව්‍යාපාර දියත් විය. මෙම විරෝධයට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේ චිත්‍රපටයේ එන ගීතයක් සම්බන්ධ කාරණයකි. එය සරාගී නර්තනයක් ද අඩංගු ගීතයකි. දීපිකා එහි රඟපාන්නේ ඇඟපත තරමක් නිරාවරණය වී පෙනෙන ආකාරයේ ඇඳුම්වලින් සැරසී ය. එහි එක් තැනක ඇය තද කහ පැහැති බිකිනියක් වැනි ඇඳුමක් හැඳ සිටියි. මෙම පැහැය හින්දු ආගමේ පූජනීය වර්ණයක් ලෙස සැලකෙන්නකි. අන්තවාදී හින්දු ආගමික කණ්ඩායම්වලින් ‘පතාන්’ ට එරෙහිව විරෝධයක් දියත් වූයේ එබැවිනි. නමුත් මේ වනවිට චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරවලින් පෙනෙන්නේ මෙම විරෝධයෙන් සිනමාපටයට බලපෑමක් එල්ල වී නොමැති බවයි.
ඉදිරියේ දී ‘පතාන්’ තව තවත් ආදායම් වාර්තා පිහිටුවනු ඇති බව සිනමා ලේඛකයන්ගේ අදහස වී තිබේ. ඇතැම් ප්‍රදේශවල රාත්‍රි 12.30 න් පසුව පවා අමතර දර්ශණ වාර පැවැත්වීමට සිනමා ශාලාවලට සිදුව තිබිණි. සමහර නගරවල පළමු දර්ශණ වාර ආරම්භ වන්නේ උදෑසන 6 ට බව ද සඳහන් ය. මේ වනවිට එය ලොව පුරා සිනමාශාලා 8,500 ක පමණ ප්‍රදර්ශණය වේ. රටවල් 100 කට වැඩි ගණනක එය ප්‍රදර්ශණය වන බව ද පැවසේ.
නිහාල් පීරිස්