දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යය සඳහා රැස් වූ ජනී ජනයාට කෘතඥතාව පළ කිරීම පිණිස රාජකීය පවුලේ සාමාජිකයන් ජනතාව හමුවට යන අන්දමත් වැඩවසම්වාදී මානසිකත්වයෙන් යුතු බොහෝ දෙනකු විශ්වාස කරන “රාජකීය ඌෂ්ණය” වෙනුවට පොදු මනුෂ්‍යත්වයේ සිසිලස උද්වහනය වන අන්දමින් රාජකීය පවුලේ සාමාජිකයන් සාමාන්‍ය ජනතාව හා අතිශය ලෙන්ගතු වන අන්දමත් ජනමාධ්‍ය මඟින් මේ දිනවල වරින් වර විකාශය කෙරේ.එමෙන්ම තමන් බෙහෙවින් සංවේදී වන අවමඟුලකට එක් සහභාගී වීමේ දී ඊට තම සමීපතමයන් ද එක් කර ගැනීමේ පොදු මානව ධර්මතාව අනුව එම රාජකීය අවමඟුලට එක්වූවන් ඒ සඳහා තම සුරතල් සුනඛයන් ද රැගෙන විත් සිටින ආකාරය ඒ හා සම්බන්ධ දර්ශන වලින් දක්නට ලැබේ.
එහෙත්, ඒ සම්බන්ධයෙන් වඩාත් සංවේදී දර්ශනයක් වූයේ දෙවන එලිසබෙත් රැජිනගේ මුනුපුරු වත්මන් චාල්ස් රජුගේ කනිටු පුත් හැරී කුමරු එසේ තම භාර කරුවන් සමඟ රාජකීය අවමඟුලට පැමිණි සුනඛයකු සමඟ ද වාචික නොවන පිළිසඳරක යෙදෙනු දක්නට ලැබීම ය. මෙය එක්තරා හුදකලා සිදුවීමක් නොවේ.ඉදිරි දශක සහ සියවස් කිහිපය තුළ වඩ වඩාත් සවිමත් වන මිනිස් සුනඛ ගිවිසුම පිළිබඳ සංකේතයකි.”බල්ලට ගියා” යන වදන තවමත් අප ජන වහරේ යෙදෙන්නකි.යමක විනාශය,පරිහානිය හායනය යන්න පැවසීම පිණිස යෙදෙන එම පිරුළ ඉංග්‍රීසි භාෂාවේ ද Go to the dogs යනුවෙන් එලෙසින්ම යෙදෙනු දක්නට පුළුවන.එහෙත් වසර පහලොස් දහසක් අඛණ්ඩව පැවැතෙන මිනිස් සුනඛ මිතු දම හා සළකා බලන විට පිරුළු මඟින් හෝ සුනඛයන් එලෙස පහත් තත්වයට ඇද දැමීමේ යම් පරස්පරතාවක් දක්නට පුළුවන.
සාමාන්‍යයෙන් තම හැඟීම් ආවේග එළිදැක්වීමේ දී ඉතා වටිනා දේට නොවටිනා බවක් ආරෝපණය කිරීමේ මිනිස් ස්වභාවයක් පවතී. අන්‍යයන්ට අපහාස කිරීම සඳහා ලිංගිකත්වය හා සම්බන්ධ අනේක විධ යෙදුම් භාවිතා කිරීම පොදු මිනිස් ස්වභාවයකි.එහෙත්, එසේ නිගරු කොට දක්වන ලිංගිකත්වය පිළිබඳ සැබෑ ආකල්පය එය නම් ඒ ඔස්සේ මේ මිහිතලය තුළ මානවයා ද වඳ වී යනු නියත ය.ඒ අනුව අපට ඉතා සාධාරණ ලෙස උපකල්පනය කළ හැක්කේ මිනිසුන් එදිනෙදා යොදන “බලු” ව්‍යවහාරය හුදෙක් තම ආවේග සහ ආතති මුදා හැරීම පිණිස යොදනු ලබන්නක් පමණක් බව ය.නිරන්තරයෙන් පරිනාමයට ලක් වන මානවයා අදහස් උදහස් සිතුම් පැතුම් ආකල්ප විකල්ප ආදියෙන් ද පරිනාමීය ලක්ෂණ පළ කරයි.ඊට හේතුව මිනිසාගේ එම ජෛවමය පරිනාමය තුළ බුද්ධිමය පරිනාමයක් ද දක්නට ලැබීම ය.නමුත් මිනිසුන්ට සාපේක්ෂව සෙසු සතුන් සේම සුනඛයෝ ද එලෙස බුද්ධිමය පරිනාමයක් පළ නොකරති.
පඳුරක් දුටු විට ඔවුන් මඳකට පාද තුනෙන් සිට ගනුයේ වසර හතලිස් දහසක් පමණ වන තම ජෛවමය ජානමය උරුමය එලෙසින්ම රැක ගනිමිනි.මේ තත්වය තුළ එදා පැවැති මිනිස් සුනඛ සබැඳියාව “නොව පැරැණිය- වන රමණිය” තත්වයට පත් වීම පිළිබඳව ලොව පුරා පාර්ශව කිහිපයක විද්වත්හු නිරතුරු අවධානයයෙන් පසු වෙති.ඒ අතර මෙම කරුණ සම්බන්ධයෙන් ජෛව විද්‍යාත්මක විමසුම් සිදු කොට ඇති විද්‍යාඥයන් ගේ පොදු මතය වී ඇත්තේ මිනිස් සුනඛ ඇසුරක දී ඒ දෙපාර්ශවය තුළම ක්‍රියාත්මක වන ඔක්සිටොසින්(Oxytocin) නම් “:ආදර හෝමෝනය”මෙම මිනිස් සුනඛ සබැඳියාවේ ජෛවමය රහස බව ය. මිනිස් ශිෂ්ඨාචාරයේ මූලිකම සමාජ ඒකකය වන න්‍යෂ්ඨික පවුල( Nuclear family) පවා විවිධ සමාජ ආර්ථික ව්‍යාකූලතා මත බිඳී යාමේ අවදානමක් පිළිබඳව අනතුරු අඟවන සමාජ විද්‍යාඥයෝ සුනඛයා යන සාධකය මුල් කොට ඒ ගැටළු අර්බුද අවම කර ගත හැකි බව පෙන්වා දී තිබේ.
එමෙන්ම පවුල්,ප්‍රජා සහ සමාජමය වශයෙන් හුදකලා වන පුද්ගලයන් ගේ මානසික ආතතිය දුරලීම පිණිස සුනඛ ඇසුරකින් ලැබෙන පිටිවහල ලොව පුරා විද්වත් අවධානයට පවා යොමු වී තිබේ.ඒ සම්බන්ධයෙන් ලොව පුරා සිදු කොට ඇති සමීක්ෂණ ගණනාවකින්ම එය දිවි නසා ගැනීම් නිවාරක යාන්ත්‍රණයක් බව ද සනාථ වී ඇත.මිනිස් සුනඛ ඇසුරක දී මිනිස් මොළයේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන පාරාසය මෙන් අති විශාල පාරාසයක් සුනඛ මොළය තුළ ක්‍රියාත්මක වන බව සත්ව චර්යාවේදීහු පවසති.ඒ අනුව ඔවුන් පවසනුයේ සුනඛයකු තුළ යම් කලකට පසු හාම්පුතකු දැකීමෙන් ඇතිවන සතුට මිනිසකුට තම ජීවිත කාලය තුළ ඉතා කලාතුරකින් අත්දකින්නට ලැබෙන්නක් බවකි.එහෙත්, මෙහි එක්තරා අනුවේදනීය තත්වයක් ද තිබේ.එනම් සුනඛයාගෙන් වෙන් වීම නිසා ඔබට දැනෙන දුකට දැනෙන වේදනාවට වඩා දහස් ගුණයක දුකක් වේදනාවක් ඔබගේ ආදරණීය සුනඛයාට දැනීමය.එනිසා ඔව්හු මිනිසුන්ට සාපේක්ෂව වියෝග කාන්සාව (Separation anxiety ) නම් තත්යට පත් වෙති.අන් සියළු කරුණු සේම එය ද ඔබගේ විශේෂ අවධානයට ලක් විය යුතුම ය.
https://www.thesun.co.uk/news/19783320/harry-dog-pet-windsor-queen-death/
තිලක් සේනාසිංහ